READ SRI LANKA සතිඅග සළරුව: ෆ්‍රිඩා – Frida (2002)

fridaJulie Taymor විසින් අධ්‍යක්ෂණය කරන ලදුව 2002 ඇමරිකාවේ තිරගත කෙරුණු මේ සිනමාපටය මෙක්සිකානු චිත්‍ර ශිල්පිනියක වූ Frida Kahlo ගේ ජීවනාන්දරය ඇසුරින් නිපදවූවකි. ඇගේ චරිතය රඟන සල්මා හයික් ද (Salma Hayek) මෙක්සිකානු සම්භවයක් ඇත්තියකි.

1907 වසරේ දී මෙක්සිකෝවේ Coyocoán නගරයේ දී ඈ උපත ලැබුවා ය. කුඩා කල පෝලියෝ රෝගයට නතුව සිටින ඇය බස් අනතුරකින්ද ආබාධිත වෙයි. චිත්‍ර ශිල්පිනියක ලෙස නමක් දිනාගත්තීය. ඇගේ ස්වආලේඛ්‍ය චිත්‍ර (self-portrait) විශේෂ කොට සැලැකේ. තමාට වඩා වයසින් වැඩි කොමියුනිස්ට්වාදී චිත්‍ර ශිල්පියෙක් වන දියේගෝ රිවේරා හා සරණ බැඳෙන ඇය ඔහු හා සමගින් දේශපාලන ක්‍රියාකාරිත්වයකට ද මැදිහත් වන්නී ය. නිදහස් අදහස් ඇති දියේගෝගේ ඇවතුම් පැවතුම් ස්ත්‍රී සබඳතා සහ සිය කුස ඔත් දරුවා ගබ්සාවට ලක් වීම ආදිය ඈට නිබඳව සිත් පීඩා ගෙන දෙන්නේ වෙයි. ඈ ඒ සියලු හැඟීම් ආලේඛ්‍ය චිත්‍ර හරහා විදාරණය කරනු ලබයි. පසුකාලීනව ස්ත්‍රීවාදී දේශපාලනය ද සිය පූර්වගාමී චරිතයක් ලෙස ෆ්‍රිඩා කාලෝව සලකනු ලබයි. වාර්තාරූපී බවක් නොගෙන සිනමාපටය ගලා යෑම විස්මය ගෙන දෙන්නක් නමුත් ඇගේ දිවිය ගලා යන රළු පරළු මං පෙත් සිනමා කෘතියකට ම උචිත බව පෙනෙයි.

සිනමාපටයේ එන ආකාරයට ස්ටාලින්ගේ මරණ තර්ජන හමුවේ මෙක්සිකෝවට එන ලියොන් ට්‍රොට්ස්කි නවාතැන්ගන්නේ ද ෆ්‍රීඩා සහ දියේගෝ සමග ය. එහිදී ඈ සහ ට්‍රොට්ස්කි අතර පෙම් සබඳතාවක් ඇති වන අයුරු ද මෙහි දැක්වේ. කෙසේ වෙතත්, කේ.ජී.බී ඔත්තුකරු කෙටේරි පහරෙන් ට්‍රොට්ස්කි ඝාතනය කරන දර්ශනය මෙම සිනමාපටයේ අතිශය කලාත්මක අයුරින් නිමවා ඇත. ඒ හා පසුබිමින් ගැයෙන ස්පාඤ්ඤ ගීතය හද කම්පා කරන සුලු ය.

මේ සිනමාපටය නරඹන්නට පෙර කිවියර රත්න ශ්‍රී විජේසිංහයන් ෆ්‍රීඩා ගැන ලියූ සටහනක් මට කියවන්නට ලැබුණි. එය මේ සමඟ අමුණමි.

෴සිත්තර පරෙවි ධේනුව – ෆී‍්‍රඩා කාලෝ෴

හස්තියකුගේ අත ගෙන
පරෙවි ධේනුවකට
ඉගිල යා හැකි ද බෝ දුර
අම්මා කියූ විදියට ?

නිරාෂ ගුණසේකර නම් තුරුණු කවියා, ‘සුදු කතක් හා මධුවිතක්’ නමින් මෑතක දී ලියා පළකළ කාව්‍ය සංග‍්‍රහයෙහි ඇතුළත් නිර්මාණයකින් උපුටාගත් ඛණ්ඩයකි, ඒ. ඒ රචනයට වස්තුවිෂය වී ඇත්තේ විසිවන සියවසේ ජීවත් වූ ප‍්‍රකට චිත‍්‍ර ශිල්පිනියක වූ ෆී‍්‍රඩා කාලෝ : – 1907-1954 නම් සිත්තරාවගේ ජීවිතයයි. මෙක්සිකානු ජාතික කාන්තාවක වූ ඇය ජීවිතයේ අප‍්‍රමාණ දුක් පීඩාවලට මුහුණ දුන් තැනැත්තියකි. ‘හස්තියකුගේ අත ගෙන ඇයවන් පරෙවි ධේනුවකට කෙතෙක් දුර ඉගිල යා හැකි දැයි’ යනුවෙන් විමසනු ලබන්නී ෆී‍්‍රඩාගේ අම්මා ය. ඒ, ඇය දියේගෝ රිවේරා නම් සුප‍්‍රකට මැක්සිකානු චිත‍්‍ර ශිල්පියා, සමග විවාපත් දවසේ ය. නිරාෂ ගේ වදනින් ම, ඇය සිත්තරකම් අරඹන්නී මෙසේ ය.

ජීවිතේ කැන්වසය දිග හැර
වැරදි නැකතින් රැගෙන පින්සල
නුඹත් චිත‍්‍රයක් ඇන්ද ම
තවත් එවැනි ම හදක් සෙව්වෙ ද?

සැබැවින් ම ඕ වැරදි නැකතකින්, පින්සල මතු නොව ජීවිතය ද ස්පර්ශ කළා බඳු ය. ඇගේ දිවිය එතරම් අවුල් සහගත ඛේදවාචක වලින් ගහණ වූවකි. ගත වූ සියවසේ මුල දී මෙක්සිකෝවේ උපන් ෆී‍්‍රඩා, සවැනි වියේ දී පෝලියෝ රෝගයට ගොදුරු වන්නී ය. ඇගේ එක් පාදයක් සිහින් ව විකල් වන්නේ එබැවිනි.

වෛද්‍ය ශිෂ්‍යාවකව අධ්‍යාපනය ලබන ඇය සිය පෙම්වතා ද සමග බසයකින් ගමන් ගනිද්දී බරපතල රිය අනතුරකට ලක්වේ. අනතුරෙන් දරුණු තුවාල ලබන ඇය මුළු සිරුර ම පාහේ වෙලූම් පටි- පැලැස්තර වලින් වෙලනු ලැබ එක් තැන් වන්නී ය. ව්‍යාජ පෙම්වතා පවා ඉක්බිති ව ඇය හැර යයි. ‘නිල් නිවස’යනුවෙන් හඳුන්වන ඇගේ කඩා කාලය ද ගෙවුණු මහ ගෙදර එක්තැන් වන ඕ, කැටපතින් පිළිබිඹු වන තමාගේ ම ආලේඛ්‍ය රූපය පළමුවෙන් ම සිතුවමට නගන්නී ය. ඇගේ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ද එතැනින් අවසන් වේ.

කැඩපතක නිතැතින් මතුවුණ
මුහුණ ම ය නුඹේ සිතුවම
තෙවානා හැඳ නෙක සිනාවෙන්
කෙට්ටු දෙකකුල් ලොවෙන් සැංගුව

තෙවානා යනු මෙක්සිකානු කතුන් අඳින සාම්ප‍්‍රදායික දිගු ගවුම් විශේෂයකි. ෆී‍්‍රඩා ට එය ප‍්‍රයෝජනවත් වුයේ ඉන් තම සිහින් දුබල පා සඟවාගත හැකි වූ හෙයිනි.

කෙමෙන් සුවපත් වන ෆ‍්‍රීඩා සිත්තරාවක ලෙස අත්දැකීම් ලබනමින් ලොවට පිවිසෙන්නී ය. ඒ වන විටත් මහත් ප‍්‍රසිද්ධියක් හා කීර්තියක් අත්කරගෙන සිටි දියේගෝ රිවේරා නම් මෙක්සිකානු චිත‍්‍ර ශිල්පියා වෙත ඇය කෙමෙන් කෙමෙන් සමීප වන්නේ, ඉක්බිතිවය. දියේගෝ, අසම්මත – බොහිමියානු ජීවිතයකට උරුමකම් කීවෙකි. ශරීර ප‍්‍රමාණයෙන් ද ෆ‍්‍රීඩා ට වඩා උස්-මහත් වූ හෙතෙම ඒ වන විටත් සිවුවරක් ම විවාහ වී සිටියෙකි. කෙසේ වුව ෆී‍්‍රඩා ගේ හිත ගිය තැන මාලිගාව ඉදිවෙයි. ඔවුහු විවාපත් වෙති. පරෙවි ධේනුව සහ හස්තියා ගැන ෆ‍්‍රීඩාගේ මව සිහිපත් කරන්නේ ඒ විවාහයේ දී ය. සැබැවින් ම ඒ දීගය, හෙවණැල්ලත් ඇද, අත් ඇරෙන දීගයකි. දියේගෝ මාක්ස්වාදියකු සේ ම නිදහස්කාමී ලිංගික ජීවිතයක් ද පතන්නෙකි.

හෙතෙම විටෙක සළෙලකු සේ හැසිරෙයි. ෆ‍්‍රීඩාගේ ජීවිතය ම දිගුවක් සේ ගෙන තවත කවක් ලියන නිරාෂ මෙසේ පවසන්නේ එබැවිනි.

පෙනි පෙනී ඇස් ඉදිරිපිට
පොඩි දෙතොල් පැටලෙද්දී
අන් රසයක
අරන් හයියක් හිතට
රෝද පුටුවෙන් එසැවී
අනිත් කම්මුල අමතන්න
බැරි වුණේ ඇයි නිකමට

hqdefaultදියේගෝ සමග ගෙවන විවා දිවියේ දී, මවක වන්නට පතන ෆ‍්‍රීඩාගේ සිහින ද බිඳ වැටේ. ඒ ඇය, කීප වරක් ම ගබ්සාවට ලක් වීම නිසා ය. පෝලියෝ රෝගය පසුකාලීනව, ඇගේ මාතෘත්වයට ද බලපෑම් කළා වන. ෆී‍්‍රඩාගේ සංකීර්ණ ජීවිතය වස්තු කොට ගත් අගනා චිත‍්‍රපටයක් ද නිර්මාණය වී තිබේ. අර්ධ – වාර්තාරූපී වුව එය අතිශය ප‍්‍රසාදවන කෘතියකි. එහිද නිරූපණය වන පරිදි, පිටුවහල් ව දේශපාලන රැකවරණ පතා මෙක්සිකෝවට එන ලියොන් ට්‍රොට්ස්කි ද කලක් ෆ‍්‍රීඩාගේ පෙම්වතෙක් වෙයි.

ජීවිතයේ ගොරතර භාවය මේ යැයි පළකරන ථෙරිගාථාවක් බඳු ෆී‍්‍රඩාගේ ජීවිතය අවසානයේ රෝද පුටුවකට සීමා වී, ශ්වසන රෝගයිකින් නිමා වෙයි.

මිදුණා! මිදුණා! කෙලෙසුන්ගෙන්
හිමි නැති සැමියාගෙන් හා මොහොළෙන්
මිදුණා! මිදුණා! මනාව මිදුණා!

ඒ මාර්ටින් වික‍්‍රමසිංහයන් සිංහලට නැගූ, සුමංගල මාතා ථෙරි ගාථාවේ පද අෙැග් නික්මයෑම හා සැසඳිය හැකි ය. නිරාෂ ගුණසේකර ඈ ගැන නැගූ අවසන් පැනය ද වැදගත් ය.

දෙගුණයක් වයස
තුන් ගුණයක් මහත
හතර පාරක් බැන්ද
කොමියුනිස්ට් කාරයෙකුට
කොහොම පෙම් කෙරුවාද
මැරෙන කං
හෙවණැල්ල ඇද
තටු බිඳුණු සමනළියක

[youtube uOUzQYqba4Y]

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *