නව ඉන්දු-ලංකා ගිවිසුම යකෙක් ද? රකුසෙක් ද? හිස් පඹයෙක් ද?

India flagලෝකයෙන් හතරෙන් එකක් පමණ ජීවත් වන්නේ දකුණු ආසියාවේය. ඒ කියන්නේ අප ජීවත් වන කලාපයේය. ආසියාවේ ජනගහනයෙන් සියයට 39.49ක් ද ජීවත් වන්නේ දකුණු ආසියානු කලාපයේය. එසේම, ලෝක ආර්ථිකය සහ පරිභෝජනය සැලකූ විට මෙම කලාපය ඉතා වැදගත් ස්ථානයකි. මෙම කලාපයේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ටි‍්‍රලියනවලින් ගතහොත් එය 9.9කි. එනම් ඩොලර් බිලියන 9,900කි. මෙය අතිවිශාල ධනස්කන්ධයකි.

දකුණු ආසියානු කලාපයේ විශාලතම සහ වේගවත් ම ආර්ථිකය වන්නේ ඉන්දියාවයි. එහි දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 2.18කි. එනම් සමස්ත දකුණු ආසියාවේ ම ආර්ථිකයෙන් සියයට 82ක් වශයෙන් එය සැලකිය හැකිය. ලෝකයේ 7 වැනි විශාලතම ආර්ථිකය වශයෙන් සැලකීමට පුළුවන. ක‍්‍රය ශක්තිය අතින් බැලුවහොත් තුන් වැනි ස්ථානයේ පසුවෙයි. ජී- 20 කණ්ඩායම නියෝජනය දකුණු අසියානු කලාපයේ සිටින එකම රට වන්නේ ද ඉන්දියාවයි. චීනයේ ආර්ථික වර්ධන වේගය අඩාල වීමත් සමඟ ලෝකයේ ම වැඩියෙන් ම වර්ධනය වන ආර්ථිකයක් බවට ඉන්දියාව පත් වී ඇත. 2014-15 මූල්‍ය වර්ෂයේ දී ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය සියයට 7.3ක් පමණ විය. ශ‍්‍රී ලංකාව ගත් විට පසු වන්නේ දකුණු ආසියාවේ සිව් වැනි විශාලතම ආර්ථිකය ලෙසයි. ඉන්දියාවේ මහාරාස්ත‍්‍ර ප‍්‍රාන්තය වඩාත් පොහොසත් ම ප‍්‍රාන්තය වේ. එහි නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් මිලියන 220කි. මහාරාස්ත‍්‍ර ප‍්‍රාන්තයේ නිෂ්පාදනය පාකිස්ථානයේ සහ පෘතුගාලයේ දළ දේශීය නිෂ්පාදිතයට සමාන වේ. මීළඟට විශාල වශයෙන් නිෂ්පාදනයක් ඇති ප‍්‍රාන්ත වන්නේ තමිල්නාඩුව සහ උත්තර ප‍්‍රදේශ්ය.

ඉදිරි දශකය තුළ දී ඉන්දියාවට ලෝකයේ තුන්වැනි විශාලතම ආර්ථිකය බවට පත් වීමේ හැකියාව ඇතැයි ඇතැම් ආර්ථික විශ්ලේෂකයෝ පවසති. අන්තර් ජාතික මූල්‍ය අරමුදල සඳහන් කරන ආකාරයට ඉදිරි වසර 15ක කාලය තුළ දී ඉන්දියාවේ ආර්ථිකයේ දීප්තිමත් ම යුගය එළැඹෙයි. ඊට හේතුව නම් ඉදිරි වසර 15 දී ලොව විශාලතම ශ‍්‍රම හමුදාව හිමි වන්නේ ඉන්දියාවටයි. මෙහිදී දැනට සංවර්ධිත වශයෙන් පවතින රටවල් රැුසකට පහර වදිනු ඇත. ඊට හේතුව නම් ජපානය වැනි රටවල එම කාලය වන විට සිය ශ‍්‍රම හමුදාවන් වයස්ගතභාවයට පැමිණ සිටීමයි. 2030 වසර වන විට ජපන් ආර්ථිකය දැනට සිටින ස්ථානයෙන් පහතට වැටෙනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියා සිිටී.

ශ‍්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පාකිස්ථානය සහ බංග්ලාදේශය සිටී. පාකිස්ථානය දෙවැනි ස්ථානයේ ද බංග්ලාදේශය තුන්වැනි ස්ථානයේ ද වේ.
දකුණු ආසියාවේ සෑම වසරක දී ම මිලියන 12ක රැුකියා සංඛ්‍යාවක් නිර්මාණය කළ යුතු වේ. එසේත් නොමැති නම් එහි තිරසායි බව පවත්වා ගෙන යා නොහැකි වනු ඇත.

මෙනයින් කලාපයට නව ආයෝජන අවස්ථා අවශ්‍ය වේ. නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය විය යුතුය. නැගෙනහිර සහ අග්නිදිග ආසියානු කලාපයන්ට සාපේක්ෂ ලෙස දකුණු ආසියාවේ නිෂ්පාදන ආර්ථිකය ඇත්තේ අඩු මට්ටමක බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

මෑතක දී සාකච්ඡුාවකට බඳුන් වූ ශ‍්‍රී ලංකා – ආන්ද්‍රා ප‍්‍රදේශ් ආර්ථික කොරිඩොර් සංකල්පය පිළිබඳ යම් විචාරත්මක සහ තුලනාත්මක විමර්ශනයක් කිරීම වැදගත් වේ. ආර්ථික කොරිඩෝවක් යනු සාර්ථක ලෙස ක‍්‍රියාත්මක වුවහොත් නිෂ්පාදන ක්ෂේත‍්‍රය දිරි ගන්වන්නක් සහ රැකියා නිර්මාණය කරන්නක් වෙයි. ඩාවෝස් නුවර ලෝක ආර්ථික සමුළුවට සහභාගී වූ ශ‍්‍රී ලංකා අගමැති රනිල් වික‍්‍රසිංහ සහ ආන්ද්‍රා ප‍්‍රදේශ් මහ ඇමති අතර ඇති වූ සාකච්ඡාවේ දී ආන්ද්‍රා ප‍්‍රදේශ් සහ ශ‍්‍රී ලංකාව අතර ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැණින.

ආර්ථික කොරිඩෝවක් යනු කිසියම් නිශ්චිත භූගෝලීය කලාපයක බහුමාදිලි වූ ප‍්‍රවාහන ජාලයක් මත ( multimodal transport networ) පාදක වී සිදු වන ප‍්‍රාග්ධනීකරණයකි. මේ ඔස්සේ නිෂ්පාදන කලාප, නාගරික පද්ධති, අන්තර්ජාතික ද්වාරමාලක (gateway) ආදිය සම්බන්ධ වනු ඇත.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික සම්බන්ධතා පිළිබඳ සැලකුවහොත් දැනටමත් ක‍්‍රියාත්මක වන නිදහස් වෙළෙඳ ගිවිසුමක් පවතී. 2001 වසරේ දී එම ගිවිසුම අත්සන් කරන සමයේ දී ශ‍්‍රී ලංකාව විසින් ඉන්දියාවට අපනයනය කළ ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලයන 55කි. 2013 වසරේ දී අපනයන ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 544ක් දක්වා ඉහළ ගොස් තිබිණ. ඊට සාපේක්ෂ වශයෙන් 2000 වසරේ දී ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට කෙරුණු ආනයන ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 568ක් වූ අතර එය 2013 වසර වන විට බිලියන 3.2ක් දක්වා ඉහළ ගොස් තිබිණ. මෙනයින් නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් තැබීමෙන් පසු ඉන්දියාව ශ‍්‍රී ලංකාව අතර වෙළෙඳ පරතරය විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවක් පෙනෙයි. එහෙත් මෙම සරල සංඛ්‍යා දත්ත මඟින් පමණක් මෙම ආර්ථික ක‍්‍රියාව පැහැදිලි කිරීමට නොහැකිය. දකුණු ඉන්දියාවේ බොහෝ ප‍්‍රාන්ත විශාල ආර්ථික දියුණුවක් දැන් ලබමින් සිටී. එබැවින් සැතපුම් 20ක් පමණ දුරින් පිහිටි මෙම කලාපය සමඟ උපායමාර්ගික ලෙස වෙළෙඳාමට එළැඹීමෙන් ශ‍්‍රී ලංකාවට ලබා ගත හැකි වාසි බොහෝය.

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය කාලයේ දී ලැබූ යම් සාර්ථකත්වයක් වෙතොත් ඒ කෙරෙහි ඉන්දියාව ද චීනය ලැබූ ආර්ථිකය විභවය සැලකිය යුතු ප‍්‍රමාණයකින් ඉවහල් වූ බව අපගේ විශ්වාසයයි. අතිවිශාල දළ දේශීය නිෂ්පාදිතයක් සහ ආර්ථික වර්ධන වේගයක් ඇති ලෝක ආර්ථික බලවතුන් දෙදෙනකු වන චීනය සහ ඉන්දියාව සමීපයේ භූගෝලීය වශයෙන් ශ‍්‍රී ලංකාව පැවතීම මෙරට ආර්ථිකය එක තැන පල් වීම ඉවත ලන්නකි. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය යම් ආකාරයකින් උද්දීපනය වීමට (vibrant) මෙම ලෝක ආර්ථික බලවතුන්ගේ ක‍්‍රියාකාරීත්වය අපගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලැබෙයි.

ආසියානු කලාපයේ ඇති වී තිබෙන ආර්ථික ප‍්‍රබෝධයෙන් නිවැරදි පරිදි ප‍්‍රයෝජන ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකි වෙතැයි ද යන්න ගැටලූවකි. එසේ ප‍්‍රයෝජන ගැනීමට නම් නිවැරදි දේශපාලන නායකත්වයක් තිබිය යුතුය. මෙතෙක් එවැනි දේශපාලන නායකත්වයක් ශ‍්‍රී ලංකාවේ තිබූ බවට අපට දැක ගැනීමට ලැබී නැත. කලාපීය ආර්ථිකයන් නැඟීම් සහ බැසීම්වලින් වඩා හොදින් ප‍්‍රයෝජනය ගත්තෙකි සිංගප්පූරුව නිර්මාණය කළ ලී ක්වාන් යූ.

ලී ක්වාන් යූ සිංගප්පූරුව නිර්මාණය කිරීමේ දී සිංගප්පූරුව වසා ගැනීම වෙනුවට විවෘත කිරීම සිදු කළේය. ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව ඇති කර ගැනීමට නියමිත ගිවිසුම් මඟින් ඉන්දියානුවන් මෙරට රැකියා සඳහා පැමිණෙනු ඇතැයි ද මෙරට ආර්ථිකය හානි සිදු වෙතැයි ද යන් මර බයක් ඇතැම් පිරිසක් අතර ඇති වී තිබේ. මෙහි දී වගකීම ඇත්තේ දේශපාලන නායකත්වය මතය. ලී ක්වාන් යූ දොර ජනෙල් ඇරියේ තමන්ගේ ආර්ථිකය ශක්තිමත් වන අතට මිස විනාශ වන අතට නොවේ. සිංගප්පූරුවේ බොහෝ විදේශිකයෝ සේවය කරති. එරට ජනගහනය මිලියන 5.47කි. ජනගහනයෙන් සියයට 30කට සමාන විදේශිකයෝ පිරිසක් එරට සිටිති. එය සංඛ්‍යාත්මක ව මිලියන 1.6ක් පමණ වේ. කිසියම් අයෙකු සිංගප්පූරුවේ සේවය කරනවා නම් තමන්ගේ උපරිම වෘත්තීය කුසලතා පෙන්නුම් කළ යුතුය. දක්ෂයන් පමණක් ආකර්ෂණය කර ගැනීමට සිංගප්පූරු බලධාරීන් ප‍්‍රතිපත්ති සකස් කර ඇත.

ඇමරිකානු ඩොලර් බිලියන 453ක ආසන්න අතිවිශාල දළ දේශීය නිෂ්පාදිතය නිපැදවීම සඳහා මෙම විදෙස්වලින් පැමිණෙන පිරිසගෙන් ලැබෙන්නේ විශාල දායකත්වයකි. ඊට අතිරේක ලෙස සිංගප්පූරුව සිය මිනිසුන්ට උගන්වයි. ලොව වැඩිම මුදලක් අධ්‍යාපනයට වෙන් කරන රටක් වන්නේ සිංගප්පූරුවයි. වසරකට සිංගප්පූරු ඩොලර් බිලියන 12.1ක් එරට අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරේ. මෙහිදී සැබෑ දක්ෂයන්ටම තැන ලැබේ. පන්දම්කාරයන්ට ඉඩ නැත. සිංගප්පූරුවේ හොරකමට ඇති ඉඩ ඉතා අඩුය. ලී ක්වාන් යූ සිය මුළු ජීවිතය සිංගප්පූරුව වෙනුවෙන් කැප කැළේය. එහෙත්, සතයක් හෝ හොරකම් නොකළේය.

ලී ක්වාන් යූ වරක් චීනයේ සීසීටීවී රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවක දී කියා සිටියේ මගේ කාර්යය වූයේ මගේ අනුප‍්‍රාප්තිකයන් සොයා ගැනීම (My job really was to find my successors) බවයි. අපේ වගේ රටක බොහෝ විට සිදු වන්නේ අනුප‍්‍රාප්තිකයන් සොයා ගැනීම නොව ඉදිරියට එයි යැයි සිතෙන එකෙක් දුටුවොත් විනාශ කිරීමයි. මෙම කුහකහත්වය රජ කරන තුරු රටක් ගොඩනැඟීමට නොහැකිය. කලාපීය රටවල් සමඟ තරඟ කළ නොහැකිය.

ශ‍්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර මේ වසරේ මැද භාගයේ දී අත්සන් තැබීමට යන ඉන්දු ශී‍්‍ර ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (Indo-Lanka Economic and Technical Cooperation Agreement) සම්බන්ධයෙන් ඇතැම් අය පාරට බැස උද්ඝෝෂණ සිදු කරති. අනෙකා කෙරෙහි වූ පරාර්ථයකින් කිසිවෙකුත් ගිවිසුම් අත්සන් තබන්නේ නැත. ඉන්දියාව ගිවිසුම අත්සන් තබන්නේ ඉන්දියාවට වාසි ලැබීමටය. ඉන්දියාව සමඟ උරින් උර ගැටී ගිවිසුමෙන් වාසි ලබා ගැනීමට ශ‍්‍රී ලංකාවේ නායකයන් ඉටා ගත යුතුය. එහිදී අවංකභාවයත්, පාරදෘශ්‍යභාවයත් අවැසි වේ. රටේ වෘත්තිකයන්, පොදු ජනතාව දැනුමින් සන්නද්ධ කළ යුතුය. හුදු ආරක්ෂණවාදී පිළිවෙතට (protectionism) යෑම ගෝලීයකෘත ලෝකයකට නොගැළපේ. රටේ විශාලත්වය ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු සඳහා බලපෑමක් නොමැති බව සිංගප්පූරුව ප‍්‍රායෝගික ව පෙන්වා තිබේ.

මෙනයින්, ජාත්‍යන්තර ගිවිසුම්වලට එරෙහිව බෝඞ්ලෑලි එල්ලා ගෙන කෑගැසීම වෙනුවට එවැනි ගිවිසුම් සාර්ථක කර ගත හැකි මඟ යෑම සඳහා බලකරමින් බලධාරීන්ට එරෙහිව උද්ඝෝෂණ කිරීම වඩා සාර්ථක යැ යි හැඟේ.

-දර්ශන අශෝක කුමාර-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *