ඇත්තට ම වෙනස සැප ද? සනීප ද?

MP-Mahindaජනවාරි 08 වැනි දා මෑත කාලීන ඉතිහාසයේ රටට ජනතාවට වැදගත් දිනයක් වූ බව සැවොම පාහේ දන්නා කරුණකි. ඒ අතිශය වික්‍රමාන්විත ව වරනැගුණු සිවිල් යුද්ධයක් අවසානයේ කිකලෙකවත් පෙරළා දමන්නට අපහසු යැයි පෙනුණු රෙජිමයක් පෙරලා දැමීමේ දිනයක වන නිසා ය. එය එකී පාලන මාරුවට හිතවත් අහිතවත් සෑම සියලු දෙනා පිළිගනිති.

කොයි හැටි වුවත් මේ වෙනසට පක්ෂ විපක්ෂ සියලු දෙනා එම වෙනස පිලිබඳව විවිධ අන්දමේ මැදිහත් වීම් කරති. එයට පක්ෂ පිරිස යහපාලන ආණ්ඩුව මූලිකව එය මහත් උත්කර්ෂයෙන් සමරන අතර, එයට විපක්ෂ පිරිස එනම් විමල්, ගම්මන්පිළ ආදීන් ප්‍රමුඛව එයට මහත් උපහාස පරිහාස එල්ල කරමින් කලු ඇඳ ගනිමින් ඔය කොළා දැයි විමසති.

මේ කරුණු කාරණා දෙස මධ්‍යස්ථ ව බලන කල්හි කාරණා දෙකක් ඉස්මතු කරන්නට අප කැමති ය‍.

01. ජනවාරි 08 වැනි දා සිදු වුණු වෙනස සත්‍ය වශයෙන් ම අතිශය ප්‍රගතිශීලී සිදුවිය යුතුව තිබූ වෙනසකි.

02. එසේ ද වුවත් වත්මන් ආණ්ඩුව ගෙන යන පාලනය 100%ක් ම හොඳ, පැතූ යහපාලයනය ද නොවේ.

පළමු කරුණ ගැන මුලින් ම අවධානය යොමු කරන විට පෙනෙන දෙය නම්, ජනවාරි 08 ට පෙර පැවති තත්වය ගැන කතා කරන බොහෝ දෙනා එය අන්තිම සරල මතික කරන බව යි. එතෙක් රටේ ජනයා ජීවත් වූයේ රජකෙනෙකු විසින් යටත් වැසියන් පාලනය කරන තාලේ ක්‍රමයක බව දැන් බොහෝ දෙනා ට අමතක ය. එකී රජුට හෝ කුමාරවරුන්ට විරුද්ධවන්නන්ට අතිශය භයානක ඉරණමකට ගොදුරු වන්නට සිදු වුණු බව සත්‍යවශයෙන් ම අමතක ය. පාරවල් වසා මිනිසුන් බල්ලන් මෙන් කැලේ රිංගවමින් කාර් රේස් තැබූ යුගයක් බව ද එසේ ම ය. අන්තිම දරුණු වැඩවසම් ලක්ෂණ සහිත ඒකාධිපතිවාදයකට රට ගමන් කරමින් තිබුණු බව අමතක ය. ජනතා මුදල් තුප්පහි ලෙස අවභාවිතයේ යෙදැවුණු බව ගසා කෑ බව ද එසේ මය. අමතක ය. නීතිය පාලකයන්ගේ අතෙහි වෛශ්‍යා වෘත්තියෙහි යෙදවුණු බව පවා අමතක ය. මේ සියල්ලෙහි ප්‍රධාන වගඋත්තරකරු අපේ කාලයෙ නම් එහෙම නැහැ හාමුදුරුවනේ කියා ලජ්ජා නැතිව කියද්දී එය පිලිගන්නට මෙන් සමහරු ඔළුව වනති. අපට කියන්නට ඇත්තේ මෙයයි. එදා ඒ තිබුණු දුර්දාන්ත පාලනයට වඩා නම් වෙනස ඉතා ම සැප බව යි.

අනෙක් කරුණ නම් නම් මේ ලැබෙන්නේ පැතූ වෙනස නම් නොවන බව ය. එසේ ද වුවත්, අපේ විවේචනය පදනම් වන්නේ මේ පාලනය යහපාලනයේ දිශාවට හැරවීමට මිසක නැවත එළවා දැමූ දුර්දාන්ත පවුල් පාලනය නැවත ඔසවන්නට නොවන බව දත යුතු ය. යහපාලන ආණ්ඩුව එකී බලලෝභි කෙළ හළන සිඟාලයන් අතට සටන් පාඨ දෙන අයුරු මේ දක්වා යස රඟට අපට දක්නට ලැබුණි. මේ ජනවරම යහපාලන ආණ්ඩුවේ නායක කාරකාදීන්ගේ ජනවරමක් පමණක් නොවන බව සිතට ගත යුතු ය. මන්ද යත් මෙය ජනතාව සතු ජයග්‍රහණයක් ද වන බැවිනි. සමහර යහපාලන රජයේ මැති ඇමතිවරුන්ගේ හැසිරීම යහපාලනයට කිසිසේත් ම තරම් නොවේ. කුඩා මට්ටමේ පවුල් ගසක් ගොඩනගන්නට සැරසෙන රණතුංග පවුල, වගකීම් විරහිත කැබිනට් ප්‍රකාශකයෙකු වන රාජිත සේනාරත්න, විශ්වාසය පළුදු කරගත් විජයදාස රාජපක්ෂ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැනි අය අමාරුවෙන් දොවාගත් කිරි කලයට ගොම එකතු කළ බැව් කිව යුතු ය. එපමණක් නොව පෙර පාලකයන්ට එල්ල කළ බරපතළ චෝදනා කිසිවක් සම්බන්ධයෙන් තවමත් කිසිදු ඔප්පු කිරීමක් හෝ නීතිය ඉදිරියට පැමිණවීමක් කර නැත. එසේ කර නැතුවා පමණක් නොව, එකී සමහර චෝදනා ලද්දවුන්ට වරප්‍රසාද හා වරදාන පවා පිරිනමා තිබෙනු දැක්ක හැකි ය. යහපාලනයෙන් ගෙනා අයවැය රට සංවර්ධනයේ දිශාවට මඳක් වත් යොමු කරන තාලේ එකක් නොවුණා පමණක් නොව ලෝක වෙළෙඳපොලේ තෙල් මිල වාර්තාගත ලෙස අඩු වී තිබිය දී එහි වාසිය ජනතාවට ලබා දී නැත. අගමැතිවරයා පැවසූ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ඇරඹීම වැන්නක් සමාජයේ විසුළු සහගත ලෙස කතාබහට ලක්වන තැනට වැටී තිබීම පෙනී යන්නේ, ජනයා කෙරෙන් යහපාලනය කෙරෙහි වූ විශ්වාසය බිඳෙන් බිඳ ඉකුත් වන බව ය.

අවසාන වශයෙන් කිව යුත්තේ, තිබුණාට වඩා වෙනස සැප මුත් බලාපොරොත්තු වූ යහපාලනය ද මෙය නම් නොවන බව ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *