ධනේශ්වරයේ ලේ තැවරී ඇත

Bloodධනවාදය යනු සරල ව කීවොත් ආර්ථික ක‍්‍රමයකි. එහිදී පෞද්ගලික දේපොළ පිළිබඳ තැබෙන්නේ දැඩි විශ්වාසයකි. නිෂ්පාදන මාදිලිය වශයෙන් පෞද්ගලික හිමිකාරීත්වය සඳහා විශාල ඉඩක් ධනවාදයේ දී සැපයේ. නිෂ්පාදන මාදිලිය යනු ආර්ථික වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා පහසුකම්, යන්ත‍්‍ර සූත‍්‍ර, උපකරණ සහ ප‍්‍රාග්ධනය මානව නොවන භෞතික දෑ යෙදවීමයි. ධනවාදයේ දී භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කෙරෙන්නේ ලාභයක් අරමුණු කර ගනිමිනි.

පෞද්ගලික දේපොළ, ප‍්‍රාග්ධන සමුච්ඡුනය, කුලී ශ‍්‍රමය, තරගකාරී වෙළෙඳපොළ ධනවාදයේ මූලික ලක්ෂණයි. ධනවාදී වෙළෙඳපොළ ආර්ථිකයක් තුළ දී ආයෝජන පිළිබඳ තීරණය ගැනෙන්නේ පෞද්ගලික තීරණ මතයි. අදාළ ගනුදෙනුවල දී හුවමාරු වන වත්කම්, භාණ්ඩ සහ සේවා සම්බන්ධ වටිනාකම් තීරණය කරනු ලබන්නේ ඊට සම්බන්ධ වන පාර්ශ්ව මඟිනි.

ධනවාදය සම්බන්ධයෙන් එල්ල වන ප‍්‍රධානතම චෝදනාව නම් සමාජය තුළ ප‍්‍රචලිත කෙරෙන අසමානාත්මතාවයි. එනම් එක්තරා සමාජ කණ්ඩායමක් බැහැර කිරීමයි. මෙම සමාජ කණ්ඩායම නම් නිර්ධන සමාජ කණ්ඩායමයි. ධනවාදය තදින් ස්ථාපිත වූ සමාජයක මුදලට ඇත්තේ අසීමිත බලයකි. මෙනයින් මුදල් වෙනුවෙන් මිනිසුන් නොකරන දෙයක් නැත. ධනවාදයේ අනෙක් ලක්ෂණය වූ ද්‍රව්‍යමූලික වාදය සමඟ මෙම තත්ත්වය හොඳින් ගැළපේ. ධනේෂ්වර ක‍්‍රමයක් යටතේ මනුෂ්‍ය සම්බන්ධතා ද්‍රව්‍ය මූලික වූ සම්බන්ධතාවලට ඌනනය වේ. පිං පවු වශයෙන් තිබූ සදාචාර සහ ආගමික අර්ථයන් සඳහා ධනේෂ්වර සමාජයක දී ප‍්‍රමුඛත්වයක් නොලැබේ.

මෙම ද්‍රව්‍ය මූලවාදී දර්ශනය කොතරම් ධනේශ්වර න්‍යායික පද්ධතිය තුළ මුල් බැස ගෙන ඇත්තේ ද යත් මිලිටරි කෙනීසියානුවාදය (Military Keynesianism) එවැනි අන්තයකි. මෙම සංකල්පය ප‍්‍රචලිත වන්නට ගන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවයි. මිලිටරි කෙනීසියානුවාදයේ මූලික අදහස නම් ආර්ථික වර්ධනය ඇති කිරීමට නම් කිසියම් රජයක් විසින් හමුදා කටයුතු සඳහා දරන වැය ඉහළ නැංවිය යුතු බවයි. කෙනීසියානුවාදයේ මූලික ලක්ෂණය නම් කිසියම් ආර්ථිකයක් අර්බුදයට ගෙය විට ගත යුතු ක‍්‍රියාමාර්ග සඳහන් වන්නකි. ජෝන් කෙනීස් විසින් The General Theory of Employment, Interest and Money මැයෙන් රචනා කෙරුණු කෘතිය මඟින් මෙම සංකල්පය ඉදිරිපත් කෙරිණ. කෙනීසියානු දර්ශනය අනුව ආර්ථික අර්බුදයක් ඇති වූ වහා ඉන් මිදීම සඳහා නිර්දේශ කෙරෙන ප‍්‍රධාන උපායක් වන්නේ රජය විසින් යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත‍්‍රයේ ආයෝජනය කිරීමයි. ඒ ඔස්සේ රැුකියා නිර්මාණය කිරීමටත් ආර්ථිකය යළි පණ ගැන්වීමටත් අපේක්ෂා කරනු ලැබේ.

මිලිටරි කෙනීසියානුවාදය යටතේ අදහස් කෙරෙන්නේ හමුදා ක්ෂේත‍්‍රයේ ආයෝජනය කිරීමයි. යුද්ධයක් නිර්මාණය කර ගනිමින් පවත්වා ගෙන යෑම ද මිලිටරි කෙනීසියානුවාදයට ගත හැකිය. ඇතැම් ධනේශ්වර න්‍යායාචාරීහු යුද්ධය විසින් ආර්ථික සංවර්ධනය තීව‍්‍ර කරනු ලබන බවත් ඒ ඔස්සේ ආර්ථික ක‍්‍රියාවලිය වඩ වඩාත් සක‍්‍රීය කෙරෙන බවටත් මත දක්වති.

යුද්ධවල නියැලීමෙන් නව තාක්ෂණයන් නිර්මාණය වන බව ඔවුන්ගේ එක් අදහසකි. සමාජය අලූත් යුගයකට ගෙන යා හැකි ආකාරයේ තාක්ෂණික නවෝත්පාදන ඒ ඔස්සේ බිහි වන බව මෙම න්‍යායාචාරීන්ගේ අදහසයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය තුළ සිදු වූ තාක්ෂණික දියුණුව ඊට නිදසුනක් ලෙස ඔවුහු ගනිති.

සුප‍්‍රසිද්ධ ඇමරිකානු ආර්ථික විද්‍යාඥයෙකු වන පෝල් කෲග්මන් ද යුද්ධ ඇති කිරීම තුළින් ආර්ථික වර්ධනය කළ හැකි යැයි තදින් විශ්වාස කරන පුද්ගලයෙකි. දෙවැනි ලෝක යුද්ධයෙන් ලැබූ ආභාසය අනුව යමින් ඔහු තර්ක කළේ සැප්තැම්බර් 11 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කළ ප‍්‍රහාරයෙන් පසු ඇමරිකානු ආර්ථිකයේ සාධනීය ලක්ෂණ ඇති විය හැකි බවයි. මේ ආකාරයෙන් ගෝලීය ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා තුන්වැනි ලෝක යුද්ධයක් ආරම්භ කළ යුතු යැයි තර්ක කරන ඇතැම් ආර්ථික විද්‍යාඥයෝ ද සිටිති. මතුපිටින් නොපෙනුන ද ඇතැම් විට මේ අදහස් රාජ්‍ය තන්ත‍්‍රයන් කෙරෙහි අඩු හෝ වැඩි වශයෙන් බලපා තිබේ. මෙයින් පෙනී යන්නේ ධනේශ්වරයේ ඇති අන්ධභාවයයි; අමනෝඥ ස්වභාවයයි.

විනාශකාරී මෙම සංකල්පයේ මුල ගොඩනැගෙන්නේ ජෝෂප් ෂුම්පෙටර් (Joseph Schumpeter) විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්මාණාත්මක විනාශය (creative destruction) නම් සංකල්පයත් සමඟිනි. නව දෑ නිර්මාණය වන්නේ ම විනාශය තුළින් යැයි මෙම ගුරුකුලයන්ට සම්බන්ධ විද්වත්හු කල්පනා කරති. ධනේශ්වරයේ බිහි වීම තුළ ම යුද්ධයත් විනාශයත් එක්තරා අතකින් පවතී. අධිරාජ්‍යවාදය කරණ කොට ධනවාදය බිහි වීය. අධිරාජ්‍යවාදය යන සංකල්පය තුළ ම ගැප් ව තිබුණේ යුදකාමයයි. අධිරාජ්‍යවාදීහු යුද්ධයෙන් ප‍්‍රතිලාභ ලැබූහ.

ධනේශ්වරයේ ඇති ස්වභාවයක් නම් ආදායම් බෙදී යෑමේ ඇති විසමතාවයි. සම්පත් බෙදී යන්නේ ද විසම ලෙසයි. කිසියම් පිරිසකට සම්පත් වැඩි වශයෙන් ඇති අතර තවත් පිරිසකට සම්පත් අඩු වශයෙන් පවතී. සම්පත් වැඩි වශයෙන් ඇති පිරිස ඉතා සීමිතය. වර්තමාන ලෝකය ගත් විට ජනගහනයෙන් සියයට 1කට පමණ ලෝකයේ සියලූ සම්පත්වලින් සියයට 50කට ආසන්න සම්පත් ප‍්‍රමාණයක හිමිකාරීත්වය ඇත. එවිට මෙම සම්පත් ඇත්තේ වියදම් නොවුනු (underspent) තත්ත්වයක් යටතේ ය. එසේම නරක ලෙස බෙදා හැරුණු තත්ත්වයක් (maldistributed) යටතේ ය. මේ අනුව ධනේශ්වර ක‍්‍රමය සඳහා යුද්ධය යනු නෛසර්ගික දෙයකි. කොයි මොහොතක හෝ ධනේශ්වර ක‍්‍රමයක් තුළ යුද්ධයක් නිර්මාණය වනු ඇත. මෙම යුද්ධය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මාවතක් යැයි සිතීම ඛේදයකි.

මීට අතිරේක වශයෙන් යුද්ධයෙන් නැගෙන ව්‍යාපාරික පන්තියක් ද ඇත. ඔවුන් යුද්ධයෙන් ලාභගන්නන් (war profiteers) වශයෙන් හඳුන්වනු ලැබේ. හමුදාවලට ආයුධ, ඇඳුම්, ආහාර ආදිය සම්පාදනය කිරීමෙන් ඔවුහු මුදල් උපාය ගනිති. ඔවුන් කඩමාලූ කෝටිපතියන් (shoddy millionaires) ලෙස ද හඳුන්වනු ලැබේ. ඇමරිකා එක්සත් ජනපදයේ හැලීබර්ටන් මෙවැනි එක් සමාගමකි. එම සමාගම ඉරාක යුද්ධයෙන් ඇමරිකානු ඩොලර් කෝටි ගණනක ආදායමක් උපයා ගත්තේය.

මෙනයින් ධනේශ්වරය තුළ අප හිතනවාට වඩා ලේ තැවරී ඇතැයි පෙනී යයි. ධනේශ්වරයේ පැවැත්ම සඳහා ලේ හැලීම ද අවශ්‍ය බව පෙනේ. මෙනයින් ලෝකය යනු මිනිසාට ආරක්ෂිත තැනක් නොවන බව වඩ වඩාත් තහවුරු වෙයි.

-දර්ශන අශෝක කුමාර-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *