ඇමරිකානු සංස්කෘතිය සහ ගිනි අවි

American gunඇමරිකා එක්සත් ජනපදයේ නීතිය ගත් විට අවි ආයුධ ළඟ තබා ගැනීම සහ මිළ දී ගැනීම සම්බන්ධයෙන් ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ලැබේ. එරට ව්‍යවස්ථාව සඳහා ගෙන එන ලද දෙවැනි සංශෝධනයෙන් මෙම අයිතිය සපයන ලදී. දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලද්දේ 1791 වසරේ දෙසැම්බර් මස 15 වැනි දිනයි. අයිතීන් සම්බන්ධ පනත (Bill of Rights.)මැයෙන් පනතක් දෙවැනි සංශෝධනය යටතේ ගෙන එන ලද අතර ඒ යටතේ සාමාන්‍ය පුරවැසියන්ට වලංගු වන අයිතීන් 10ක් හඳුන්වා දෙන ලදී. මෙහිදී ගිනි අවි ළඟා තබා ගැනීම සහ මිළ දී ගැනීම සඳහා ලබා දුන් අයිතිය ද ආවරණය කෙරිණ.

මෙම පනත් සංශෝධනය ගෙන එන ලද්දේ 1689 වසරේ දී ඉංග‍්‍රීසි නීතියට ගෙන එන ලද සංශෝධනයක් පාදක කර ගනිමිනි. ආත්මාරාක්ෂාව සඳහා වන ස්වභාවික අයිතිය යටතේ 1689 වසරේ දී ඉංග‍්‍රීසි නීතිය සඳහා ගිනි අවි රඳවා තබා ගැනීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් සාමාන්‍ය ජනතාව වෙත හිමි කර දෙනු ලැබිණ. දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඇමරිකානු පුරවැසියන්ට ගිනි අවි ළග තබා ගැනීම සඳහා ලබා දී තිබූ නිදහස අභියෝගයට ලක් කරමින් 2008 සහ 2010 වසරවල දී උපරිමාධිකරණයේ නඩු දෙකක් පැවරුණු අතර මෙම නඩු දෙකෙන් ම දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය නිවැරදි බවට තහවුරු කෙරිණ.

ඇමරිකා එක්සත් ජනපදය ගත් විට එහි ඇති ඛේදය නම් මෙම ගිනි අවි නීතිය 21 වැනි සියවස දක්වා වලංගු ලෙස විහිදී තිබීමයි. මෙහිදී සැලකිය යුතු කරුණ නම් ඇමරිකා එක්සත් ජනපදය තුළ ගිනි අවි භාවිතය හේතුවෙන් වසරක දී අහිමි වන ජීවිත සංඛ්‍යාව තිස් දහසකි.

ගිනි අවි නීතිය සම්බන්ධයෙන් ඇමරිකානු සමාජය බෙදී තිබේ. එක් කොටසක් විසින් ගිනි අවි අවශ්‍ය යැයි හඩ නඟන අතර තවත් කොටසක් ගිනි අවි ළඟ තබා ගැනීම තහනම් කළ යුතු බවට හඩ නඟති. ඇමරිකානු දේශපාලනයේ කේන්ද්‍රීය කරුණක් බවට මේ වන විට තුවක්කු දේශපාලනය (Gun politics) පැමිණ තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය ජනතාව ගිනි අවි මිලියන 270ත් 310ත් අතර සංඛ්‍යාවක් නතු කර ගෙන ඇති බව සංඛ්‍යා ලේඛන අනුව පෙනී ගොස් ඇත. එරට නිවෙස්වලින් සියයට 37ත් 42ත් අතර සංඛ්‍යාවක ගිනි අවි ඇතැයි සලකනු ලැබේ. ඇමරිකානු සංස්කෘතිය සමඟ ගිනි අවි සංස්කෘතිය කොතෙක් බැඳී ඇත්දැයි පැවසුවොත් ඇතැම් පුද්ගලයන් උත්සව සමයන්හි දී සෙසු පුද්ගලයන්ට ගිනි අවි තෑගි වශයෙන් තිළිණ කරන තත්ත්වයක් තිබේ.

ගිනි අවි ප‍්‍රතිපත්තිය සහ පර්යේෂණ පිළිබඳ ජෝන්ස් හොප්කින්ස් මධ්‍යස්ථානයේ සම අධ්‍යක්ෂ ජෝන් වර්නික් පවසන පරිදි ඇමරිකා එක්සත් ජනපදය තුළ සිදු වන ගිනි අවි ගනුදෙනුවලින් සියයට 40ක් පමණ සිදු වන්නේ ලියාපදිංචි නොවූ වෙළෙන්දන් ඔස්සේ බවයි. එබැවින් සැබෑ සංඛ්‍යාන ලේඛන නිල සංඛ්‍යා ලේඛනවලට වඩා බොහෝ ඉහළ විය හැකි බව ඔහු කියා සිටී.

ගිනි අවි සංස්කෘතිය ඇමරිකානු සංස්කෘතිය සමඟම ගොඩනැගුණකැයි එක අතකින් පැවසිය හැකිය. නූතන ඇමරිකාව බිහි වුණු මුල් යුගයේ දී එය කෘෂිකර්මාන්තය පාදක කර ගත් සමාජයකි. මේ සමාජයේ දඩයම මූලිකාංගයක් විය. කැලෑබද පෙදෙස්වල පදිංචියට ගිය නව ජානපදිකයන් සතුන් දඩයම් කිරීම වැඩි උනන්දුවක් දැක් වූ බව ඉතිහාස වාර්තා පිරික්සා බලන විට පෙනී යයි. එවක ඇමරිකානු සංස්කෘතිය තුළ පිරිමියෙකු වීම සඳහා ගිනි අවියක් දැරිය යුතුය යන ආකාරයේ සංකේතාත්මක මතයක් ද පැවතිණ. අද ද ගම්බද ඇමරිකානු සංස්කෘතියේ කොටසක් ලෙස තුවක්කු සංස්කෘතිය පවතී. ඇමරිකානු විප්ලවයට ප‍්‍රථම එරට තුළ විධිමත් නිල හමුදාවක් නොතිබීම ද මෙම තුවක්කු සංස්කෘතිය පැතිර යෑමට තවත් හේතුවක් විය.

ඇමරිකා එක්සත් ජනපදය තුළ ගිනි අවි නීතිය තවදුරටත් ක‍්‍රියාත්මක කළ යුතු බවට බලපෑම් එල්ල කරන ප‍්‍රධාන කණ්ඩායමක් නම් ජාතික රයිෆල් සංගමයයි. එය ආරම්භ කරන ලද්දේ 1871 වසරේ දී ය. 1970 දශකයේ දී ඇමරිකාවේ ජාතික රයිෆල් සංගමය විසින් සිය ප‍්‍රතිපත්ති නව මඟකට ගෙන එමින් ගිනි අවි දැරීමේ නීතිය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින්නට විය. ජාතික රයිෆල් සංගමය යනු විශාල වත්කමකට හිමිකම් කියන ආයතනයක් වන අතර වසරක දී එය ඇමරිකානු ඩොලර් මිලියන 254ක් පමණ වැය කරයි. ඔවුන් විශාල මුදලක් ගිනි අවි අයිතිය තහවුරු කිරීම සඳහා යොදවයි. මාධ්‍ය ප‍්‍රචාර සඳහාත් තමන්ට හිතවත් උගතුන් හා මතවාදීන් බිලී බා ගැනීම සඳහාත් මෙම මුදල් යෙදවේ.

2008 වසරේ දී ඇමරිකානු ජනාධිපතිවරණයේ දී ජාතික රයිෆල් සංගමය විසින් වැය කරන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 40කි. එයින් මිලියන 10ක් පමණ වැය කර තිබුණේ එවක ජනාධිපතිධුර අපේක්ෂකයෙකු වශයෙන් ඩිමොක‍්‍රැටික් පක්ෂයෙන් ඉදිරිපත් වූ බැරැක් ඔබාමා පරාජය කිරීමයි.

දැන් නැවතත් ඔබාමා සහ ජාතික රයිෆල් සංගමය අතර කඹ ඇදීමක් 2016 වසරේ දී ඇති වී තිබේ. 2016 වසර එළැඹීමත් සමඟ ඔබාමා ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ඇමරිකානු ගිනි අවි නීතිය සංශෝධනය කිරීමට තමන් අපේක්ෂා කරන බවයි. එහෙත් ඔහුට කොංග‍්‍රසයෙන් සහායක් නොලැබිණ. ඊට හේතුව නම් රිපබ්ලික් පක්ෂයේ බලය වර්ධනය වී තිබීමයි. රිපබ්ලිකන් දේශපාලනඥයන් විශාල සංඛ්‍යාවකගේ විවේචනයට ඔබාමා ජනාධිපතිවරයා පත් විය. විවේචකයන් අතර රිපබ්ලිකන් ජනාධිපතිධුර අපේක්ෂත්වය සඳහා තරග කරමින් සිටින ඩොනල්ඞ් ට‍්‍රම්ප් වැන්නන් මෙන්ම හිටපු ජනාධිපතිවරයෙකු ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ද සිටී.

කොංග‍්‍රසයේ සහාය නොමැති බැවින් ඔබාමා ජනාධිපතිවරයාට සිදු වන්නේ සිය විධායක බලතල භාවිත කිරීමටයි. මෙම විධායක බලතලවලින් ඔහු දෙවැනි ව්‍යස්ථා සංශෝධනය වෙනස් කළහොත් එය නැවතත් තිබූ තැනටම ගෙන ඒමට අනාගතයේ දී තමන් කටයුතු කරන බව ඩොනල්ඞ් ට‍්‍රම්ප් සඳහන් කර තිබේ. රිපබ්ලිකන් දේශපාලනඥයන් පිටුපස ජාතික රයිෆල් සංගමය ඇති අතර ඔබාමා ජනාධිපතිවරයා විසින් රයිෆල් සංගමයට විවෘත චෝදනාවක් ද පසුගිය දා එල්ල කෙරිණ.

ඔබාමා ජනාධිපතිවරයා ගිනි අවි නීතිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්මින් පැවසුවේ නැවතත් 2012 වසරේ දී සැන්ඩි හූක් පෙරපාසලේ දී වූ ආකාරයේ ඛේදාවාචකයක් ඇති වීම සඳහා ඉඩ නොතැබිය හැකි බවයි. 2012 වසරේ දෙසැම්බර් මස 14 වැනි දින ගිනි අවියක් රැුගෙන ඇමරිකා එක්සත් ජනපදයේ නිව්ටවුන් ප‍්‍රදේශයේ සැන්ඩි හූක් නම් පෙර පාසලට කඩා වැදුණු ඇඩම් ලන්සා නමැති පුද්ගලයෙක් කුඩා දරුවන් 20 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළේය. ලන්සා නමැති මෙම පුද්ගලයා කිසියම් මානසික ව්‍යාධියකින් පෙළුණු අයෙකු බව පසුව කෙරුණු පරීක්ෂණවල දී පෙනී ගියේය. ඔහු වයස අවුරුදු 13 සිට මෙම මානසික තත්ත්වයට ප‍්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකි. කුඩා දරුවන්ට වෙඩි තැබූ සිද්ධියේ දී ඔහු සිය දිවි හානි කර ගත්තේය.

මෙවැනි මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන පුද්ගලයන්ගේ අතට ගිනි අවි පත් වීමෙන් සිදු විය හැකි විපත් නැවතත් සිදු නොවිය යුතු බව ඔබාමා ජනාධිපතිවරයා අවධාරණය කළේය. එවක We the People මැයෙන් ජනතා පෙත්සමක් අත්සන් තැබුණු අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් 2013 වසරේ ජනවාරි මස 16 වැනි දින විධායක නියෝග 23ක් සඳහා අත්සන් තැබුණු අතර කොංග‍්‍රසයේ අනුමැතියට ඒවා යටතේ කෙරිණ.

කෙසේවෙතත්, ඇමරිකා එක්සත් ජනපදය තුළ සැබෑ ජනමතයට වඩා විවිධ සැඟවුණු අරමුණු ඇති ප‍්‍රචාරකයන්ගේ (Lobbyists)මතය ප‍්‍රබල බව මෑත ඉතිහාසයේ විවිධ සිද්ධි ගණනාවක දී ම පෙනී ගියේය.

– දර්ශන අශෝක කුමාර –

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

© 2020 Voice of Ceylon - Web Development by Webplanus