මඩු වලිගයට ඇයි බය..?

madu-waligayaගරු ජනාධිපතිතුමන් අම්පාරේදී පැවති උත්සවයකදී සිදුකරන ලද කතාවක් ඇසුරින් ඉංග්‍රීසි කතා කරන මධ්‍යම පාන්තික නිදහස් මතධාරින් අතර හා තරුණ නිදහස්කාමීන් අතර ආන්දෝලනාත්මක වතාවරණයක් උද්ගතවී තිබේ. ඒ නිසාම සයිබර් අවකාශය පුරා ජනාධිපතිතුමන්ගේ අභාසයට, විවේචන එල්ල වෙමින් තිබේ. එලෙස එල්ල කරනු ලබන විවේචන මේවන විට විවිධ දෘෂ්ටීන් පදනම් කරගෙන ඉදිරිපත් කරමින් සිටී. පළමුව මෙහිලා පැවසිය යුතුව ඇත්තේ ජනාධිපතිවරයා විසින් සිදුකෙරුණ ප්‍රකාශය, යම් සංස්කෘතිත හැසිරීමක් පිළිබඳ විවේචනයක් පමණක් වූ බවයි. ඒ තුළ නීතියක්, ප්‍රතිපත්තියක්, දඬුවමක්, භෞතිකව හඳුන්වාදීමක් හෝ එලෙසට අනාගතය තුළ සිදුකරන්නට යන්නේය යන ප්‍රකාශයක් ඒ තුළ අඩංගු නොවූ බව අවිවාදිතය. අප අද භුක්ති විඳින සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ මිම්ම මොනවට කියාපාමින් ජනාධිපතිවරයා දරනු ලැබූ හුදු මතයක්, අද පුළුල් ලෙස විවේචනයට පාත්‍රවෙමින් පවතී. ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස සැලකූ ප්‍රංශ ජාතික දාර්ශනිකයෙකු වූ වෝල්ටයර් වරෙක ප්‍රකාශ කොට තිබුනේ

“මා ඔබගේ අදහසට සපුරා විරුද්ධය. නමුත් ඒ අදහස දැරීමට ඔබට ඇති අයිතිය මා විසින් දිවි හිමියෙන් සුරැකීමට කටයුතු කරමි” යනුවෙනි.

ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඉදිරිපත්වන ලක් කෙරෙන විසම්මුතිය යන සංකල්පය වර නැගෙන්නේ එලෙසටය. එමනිසා පළමුව අප ජනපතිවරයාට සිය මතයක් දැරීමට ඇති අයිතියට ගරු කළ යුතුව තිබේ. ජනාධිපතිවරයා කියන්නේ අසංවර සංගීත ප්‍රසංග පවත්වන අයට මඩු වලිගයෙන් තලන්න ඕනෑ කියාය. දෙවනුව එකී ප්‍රකාශය වෙත සමාජයේ ඇතැම් පිරිසකගේ අවධානය යොමුවී ඇත්තේ මෙම ප්‍රකාශය නිකුත් වන්නේ රටේ ඉහළම නිලධාරියාගේ මුවින් නිසා ඒ තුළින් අදාළ ප්‍රකාශය බලාත්මක වීමේ අවධානමක් තිබේද යන පදනමකිනි. සැබවින්ම 21 වන සියවසේ දී, වරදක් කළත් මිනිසුන්ට මඩු වලිගයෙන් ගහන්නේ නැති බව සමාජය හොඳින් දනිති. එසේම දඬුවමක් ලෙස බලාත්මක කිරීමට නම් දණ්ඩ නීතියක් අවශ්‍යය. එය අවසානයේ පොලීසියකින් පරීක්ෂණ පවත්වා අධිකරණයකින් ක්‍රියාත්මක කළ යුතුය. මේ කිසිවක් ජනාධිපතිවරයා සිය ප්‍රකාශය සිදුකරන විට අරමුණු කරන්නට ඇතැයි කිසිවෙකුට පූර්ව නිගමනය කළ නොහැකිය. මෙවැනි ප්‍රකාශවලට වාග් විද්‍යාත්මකව කියන්නේ උපමා රූපක (Metaphor) යනුවෙනි. ඉන් අරමුණු කරන්නේ සංකේතාත්මක භාෂාවක් භාවිත කරමින් වක්‍ර අදහසක් තවකෙකුට ඉදිරිපත් කිරීමයි. ඒ අනුව සැබවින්ම ජනාධිපතිවරයා තම ප්‍රකාශය තුළින් සමාජයට ලබාදීමට උත්සහ දරනු ලැබූ පණිවුඩය වන්නේ මෙවැනි ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව වැනි රටකට උචිත නොවන බවකි.

ජනාධිපතිවරයා මෙසේ කියන විට ශ්‍රී ලාංකික සමාජයේ බහුතරය එතුමන් සමග උරණ නොවෙති. ඒ බව මනා ලෙස පෙන්නුම් කරනු ලැබූ සාධකය වන්නේ බොහෝ පුවත්පත් සිය කතුවැකිය මගින්ම ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ධනාත්මක විවරණයකට ලක් කොට තිබීමය. නමුත් මේ ප්‍රකාශය පිළිබඳව බියවූවන් මෙන්ම උරණ වූවන් ද සිටින්නේය. බියවන්නේ දේශපාලඥයින්ය. උරණ වන්නේ නිදහස්කාමින්ය. සදාචාරවාදී දේශපාලනයේ ඒකාධිකාරිය මෙතෙක් පවත්වාගෙන ගියේ මහින්ද රාජපක්ෂවාදී දේශපාලනයයි. ඔවුන්ට අනුව ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සිය දේශපාලන භූමිය ආක්‍රමණය කිරීමකි. ඒ නිසාම ඔවුහු ඉදිරියට නොපැමිණ, මේ වනවිට බළලුන් ලවා කොස් ඇට බාවමින් සිටිති. ඒ සඳහා ඔවුන් භාවිත කරන්නේ නිදහස්කාමී මතයයි. නමුත් ඒ මතයට පෙර කලකදී ඔවුන් බැට දුන්නේ නිදහස්කාමීන් රටෙන් තුරන් කරන්නටය. අද මේ අයට කබරයා තලගොයා වී තිබේ. කෙසේ නමුත් තවමත් සක්‍රීය නිදහස්කාමීන් මේ රට තුළ සිටින බව අප පිළිගත යුතුය. ඔවුන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට බියවී සිටින්නේ නැවතත්, රාජ්‍ය පෙර පරිදිම තමන්ගේ ඇඟේ වැදීමට උත්සහයක් මෙම ප්‍රකාශයට පසුව සිදුවිය හැකි බවට යෙදෙන උපකල්පනයක් තුළිනි. එසේම ඔවුන්ට අනුව සංකල්පිකාව ද මෙම ක්ෂේත්‍රය සම්බන්ධවන්නේ පෞද්ගලික නිදහස (Privacy) යන්නටය. ඒ නිසා මෙය පෞද්ගලික නිදහසට එරෙහිව සිදුකරන්නට යෙදෙන ආක්‍රමණයක පෙරනිමිත්තක් ලෙසද ඔවුන් මෙම ප්‍රකාශය සලකති. අප ගෝලීයකරණය වූ සමාජයක කොටස්කරුවන් බව සැබෑවකි.

එසේම සංස්කෘතිය යනු ස්වභාව ධර්මයට එරෙහිව ගොඩනගනු ලබන සියල්ල බවට ‘ලියොන් ට්‍රොට්ස්කි’ කළ ප්‍රකාශයට අනුව සංස්කෘතිය යනු ප්‍රකෘතියට එරෙහිව යාමකි. එසේ නම් නිරුවත අපගේ සංස්කෘතිය නොවේ. නමුත් ඇඳුම සංස්කෘතියේ කොටසකි. එසේ නම් ඇඳුම ගලවා දැමීම ගොඩනගාගත් සංස්කෘතියට එරෙහිව යාමකි. ඇත්ත එය වුවද නිදහස්කාමීන් තම වෙබ් අඩෙවි මගින් තර්ක කරන්නේ, සීගිරි ලලනාවන් උඩුකය නිරාවරණය කරගෙන සිටින්නට තරම් සංස්කෘතියක් එදා තිබුනේන නම් සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් පෙනෙන සිටින වර්තමානය තුළ බ්‍රෙසියර් (තනපට) ගැලවීමට අද අපට එරෙහි විය නොහැකි බවකි. මෙය සැබවින්ම ගර්හිත තත්තවයකි. ශ්‍රී ලංකාවට අද ලෝකය තුළ අනන්‍යතාවයක් තිබේ. ඒ අනන්‍යතාවය ශ්‍රී ලංකාවටම සුවිශේෂය. එකී අනන්‍යතාවය තුළ දේශීය බවක් රැදී තිබේ. ඒ දේශීයභාවය ගොඩනගන්නේ අපගේ සංස්කෘතියයි. ලෝකයේ රටවල බලය තීරණය කරන්නේ ඒ ඒ රට සතු විවිධ ශක්තීන් අනුවය. එහිලා දෘඩ බලයන් (Hard Power) ලෙස සලකන්නේ ආර්ථිකය, ජනගහනය, මිලිටරි බලය යනාදියයි. මෘදු බලයන් (Soft Power) ලෙස සලකන්නේ ඒ ඒ රටවලට සම්බන්ධවන්නා වූ සුවිශේෂී අනන්‍යතාවයන්ය. ඒ යටතට සංස්කෘතික අනන්‍යතාවයන් ද වැටෙති. අප වැනි කුඩා රටකට වැදගත් වන්නේ ඉහතින් සඳහන් මෘදු බලයන්ය. එසේ නම් අපගේ සංස්කෘතිය රැක ගැනීම ශ්‍රී ලංකාව නැමති රාශ්ඨයට සුවිශේෂි වන්නකි. අවශ්‍යතාවය එය නම් ජනාධිපතිවරයා තම රටෙහි අනන්‍යතාවය රැකගැනීම වෙනුවෙන් අදහසක් ප්‍රකාශ කිරීම වරදක් වන්නේ නැත. එසේම එසේ කී පමණින්, පුරවැසියකුගේ නිදහස එනයින්ම සීමා වන්නේ ද නැත. පුරවැසියෙකුට‍ සිය පෞද්ගලික නිදහස භුක්ති විඳීමට ද සිය සංස්කෘතිය එකලාම හෝ සාමූහිකව භුක්ති විඳීමට විශ්වීය සහ අනුලංකනීය අයිතියක් ද ඇත. නමුත් ශ්‍රී ලංකාව තුළ එය ක්‍රියාත්මක කළ හැකි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදය තුල සඳහන් 15(5) හා (7) වගන්තියට යටත්ව ය. එනමුදු මතුවටත් එන්රිකේ වැනි විදේශ ගායකයන් මෙරටට පැමිණිය යුතුය. ඒ අපගේ සංස්කෘතිය තව තවත් දියුණු කිරීමට මිස, එයට අකුල් හෙලන්නට නොවේ. එලෙසින්ම අපට සංස්කෘතික පොලිසියක් ද අනවශ්‍ය බව කිව යුතුය. අද අප සිදු කළ යුත්තේ ගෝලීයකරණය සහ දේශියකරණය හා මුසු කොට, අපගේ අනන්‍යතාවයට නව ජීවයක් ලබා දීමටය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මේ කිසිවකට එරෙහි වන්නක් නොවන බව අපගේ විශ්වාසයයි. එය වතුර වීදුරුවේ කිඹුලන් නොදකින්නවුන්ගේ විශ්වාසයකි.

-ශිරාල් ලක්තිලක-
slakthilaka@gmail.com

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *