සිංහලේ – ගඩ්ඩරිකා ප්‍රවාහයකට නිදසුනක් ලෙස!

sinhaleගඩ්ඩරිකා ප්‍රවාහය යනුවෙන් සංස්කෘත භාෂා ව්‍යවහාරයේ දැක්වෙන්නේ, බැටළුදෙනක් පසුපස විචාරයකින් තොර ව ඔහේ ගමන් ගන්නා බැටළු රංචුව යි. මුලින් ගමන් ගන්නා එකී බැටළුදෙන ගමන් ගන්නේ කවර දෙසකට වුවත්, වෘකයන් රැළක් දෙසට වුවත් කොටින් ම විනාශයක් වෙත වුවත් පසුපස යන රංචුවට වගේ වගක් ඇත්තේ නැත.

සිංහලේ යනුවෙන් පසුගිය දිනවල පැන නගින ලද ජාතිවාදී ප්‍රචාරක ව්‍යාපාරය ද මූලික වශයෙන් එවැන්නකි. එයට සම්බන්ධ වෙමින් සිටින සාතිශය බහුතරයක් දෙනා ඔහේ විචාර බුද්ධියකින් තොරව පසුපස යන්නෝ වෙති.

එක් ජාතියක් තවත් ජාතියකට වඩා උසස් යැ යි වර නගමින් කටයුතු කිරීම ශිෂ්ට ලෝකය විසින් පිළිගනු ලබන්නක් නොවේ. වර්ණ භේදවාදය බරපතළ ලෙස විවේචනය කරන අය පවා ජාතිවාදය වපුරුවන්නේ කිසිදු හිරිකතයකින් තොරව ය. හමෙහි පාට අනුව මිනිසුන් උස් හෝ පහත් ලෙස සැලැකීම වැරදි දෙයක් නම් කතා කරන භාෂාව අනුව හෝ උපත ලද රට හෝ ප්‍රදේශය අනුව මිනිසුන් උස් පහත් වන්නේ කෙලෙස දැ යි පිළිගත හැකි තර්කයක් නැත.

ලොව පුරා ජාතිවාදී ගැටුම්වලින් මිය ගිය ගණන නිමක් නැත. විනාශ වූ දේපළ ද සම්පත් ද නිමක් නැත. ජාතිවාදය පදනම්ව ලොව මනුෂ්‍යත්වයට එරෙහිව බිහිසුණු ම අපරාධ කළේ නට්සි නායක ඇඩෝල්ෆ් හිට්ලර් ය. ජර්මන් ජාතිය ආර්ය ජාතිය යැ යි කිවූ ඔහු යුදෙව්වන් මැරවූයේ අතිශය කෘරත්වයකිනි. එනමුත් හේ ඔස්ට්‍රියානු ජාතිකයෙකි.

කෙසේ වෙතත් අප රටේ ජාතිභේදවාදී අරගල කිහිපයක් කිහිප විටක් ම ඇවිළ ගොස් ඇත. එයිනුත්, රටට මහත් විනාශයක් සහිත යුද්ධයකට ඉන්ධන සැපයූ ප්‍රබලත ම අවස්ථාව දෙමළ ජාතිකයන් වෙත ක්‍රෑරත්වය මුදාහළ 1983 වසරේ ඇති වූ කලු ජූලිය යි. එය නැගී එමින් පැවති දෙමළ සන්නද්ධ බෙදුම්වාදී ව්‍යාපාරය කෙරෙහි එල්ල කළ බලපෑම අතිශය ප්‍රබල ය. ජාතිකත්වයන් අතර විරසකභාවය ඇති කරන්නට එය බරපතළ ලෙස හේතු සාධක විය.

දැන් මේ සිංහලේ ව්‍යාපාරය වැන්නක් පැන නැග ඇත්තේ ය. මෙවැනි ව්‍යාපාර ඉතා ලෙහෙසියෙන් මිනිසුන් තුළ පවත්නා අතිශය ප්‍රාථමික හැඟීම් සහ ආවේගයන් වෙත අමතන්නේ වෙයි. එනම්, ගෝත්‍රික යුගයේ සිට මිනිස් සන්තානයේ අඳුරු අහුමුළුවල පවතින අනෙකා කෙරෙහිවන සැකය වැනි ප්‍රාථමික ආශයන්ට ය, මේ දුෂ්ට ජාතිවාදී ව්‍යාපාර ආමන්ත්‍රණය කරන්නේ. මිනිසුන් ශිෂ්ටවීම යනු මේ ප්‍රාථමික ආශයන් මර්ධනය කරමින් අනෙකා සහෝදරත්වයෙන් පිලිගැනීම යි.

අතිශය පටු දේශපාලන හෝ බල වුවමනාවන් වෙනුවෙන් මෙලෙස අවුස්සාලන ජාතිවාදී ව්‍යාපාර කිසිවෙක්ට හෝ මර්ධනය කරදැමීමට නොහැකි ලෙස ස්වයංසිද්ධව වර්ධනය වන බව ඉතිහාසය අපට කියා දෙන පාඩමකි. ඉතා අහිංසක ලෙස ඇරඹෙන මෙවැනි ව්‍යාපාර නවතින්නේ ජීවිත මිලියන ගණන් බිලි ගැනීමෙනි.

අනෙක් අතට ලොව අතිශය නිරනුකම්පීය, ලෝක සාමයට සතුරු දුෂ්ටම බලවේගය ලෙස මේ මොහොතේ සඳහන් කළ යුත්තේ ඉස්ලාම් අන්තවාදී ව්‍යාපාරය යි. අල්-කුර්ආනයේ එවක සන්දර්භයන් යටතේ සඳහන් කෙරුණු සියලු කරුණු මත තවදුරටත් එල්බ සිටින මොවුන් ලොව කිසිදු මානව ධර්මයක් පිළිගන්නෝ නොවෙති. එවැන්නක් සම්බන්ධයෙන් ලෝක මට්ටමින් පියවර ගත යුතු බව සැබෑ මුත් සියලු දේවල් තීරණය වන්නේ ලෝක බල දේශපාලනය මතින් බවට සැකයක් නැත.

ඉස්ලාම් අන්තවාදයේ දරුණුකම කියා එයට පිළියම් ලෙස අන්තවාදයට එරෙහිවනවා වෙනුවට, අන්තවාදී නොවන සාමාන්‍ය ජනයින් වෙත පහර‍දීමෙන් සිදුවන්නේ තව දුරටත් අන්තවාදය ශක්තිමත් වීම මිස අනෙකක් නොවේ.

මේ සිංහලේ ව්‍යාපාරය ද පෙර සඳහන් කළ තාලේ එවැනි අන්ත මූඪ ගඩ්ඩරිකා ප්‍රවාහයක් මිස අනෙකක් නොවේ. එවැනි පැන නැගීම් ගැන ඉතා සවිඥානකව ඉක්මන් පියවර ගැනීම ශිෂ්ට සම්පන්න රටක වගකීම ය.

– සඳුන් ප්‍රියංකර විතානගේ –

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *