“සාගරයක් මැද අමන රටක් ඇත!”

Sri lankaවසර බොහෝ ගණනකට පෙර මෙසේ ලිව්වේ සිසිර කුමාර මාණික්කආරච්චි නම් ලේඛකයා ය. අවුරුදු 2500ක ශිෂ්ටාචාරය, නිර්මල ථෙරවාද බුදු දහම, රාවණ දඬුමොනරය වැනි ගුවන් තොටිලි ගැස්සෙන වාක්‍යයක් වන මෙය ඔහු සිය සමාජ විවේචනාත්මක කෘතියක නමක් ලෙස යෙදුවේ ය. මානික්කආරච්චිගේ බෙහෝ ප්‍රකාශයන් සමඟ නොඑකඟතාවන් ඇති නමුදු මේ වාක්‍යය නම් ඇත්තට ම තවමත් වලංගු ය.

පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය (දැන් නම් මේ වැකිය කිසිවෙක් කියන්නේ නැත) වූ අප රට ගැන අපිට සතුටු වන්නට ඇත්තේ කුමන කරුණු ද?

පාරට බැස බලන්න. ජීවිතය බේරාගෙන වාහනයක් පදවා ගෙදර එනවා යනු ම මහා විශාල ජයග්‍රහණයකි. පදිකයෝ කහ ඉරි තිබෙද්දී සියලු ම තැන්වලින් පාර පනිති. රියැදුරෝ තම වාහන අනෙකට ඉස්සර කරන්නේ අනෙකා පත්වන අනතුර ගැන වගේ වගක් නැති ව ය. අශිෂ්ටත්වය පාරේ දෝරේ ගලා යයි.

වෙළඳසලකට යමක් මිලට ගන්නට ගොස් බලන්න. ඔබගේ ඉතිරි රුපියල් 5 වෙනුවට ලැබෙන්නේ ඔබට අවශ්‍ය නොවන චොක්ලට් කැබැල්ලකි. මේ රුපියල් 5 ක චොකලට් කැබැල්ලෙන් ලැබෙන සමහරවිට රුපියලක් තරම් වන ලාභයෙන් ඉන්දියාවේ රතන් ටාටා වැනි ව්‍යාපාරිකයෙක් වන්නට ඔහු සිතනවා ද? මේ පිළිබඳව පැමිණිලි කරන්නට ඔබ පාරිභෝගික සේවා අධිකාරියට අමතා බලන්න. ඔවුන් නැවත පැමිණිලි කරන්නැයි ඔබට ලබා දෙන කිසිදු දුරකතන අංකයක් ක්‍රියාත්මක තත්වයේ නොපවතිනු ඇත.

කිසියම් කටයුත්තක් කරගන්නට රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවකට ගොඩ නැගී බලන්න. පෝලිමක පාරිභෝගිකයන් ගණනක් සිටිය දී පොලිස් නිලධාරින් වැන්නන් ඍජුව ගොස් සිය කටයුතු කරගෙන පිටව යනු ඇත. නිතර එන පාරිභෝගිකයනගේ වැඩ පෝලිමට පිටින් බැංකු නිලධාරින් විසින් ම කර දෙනු ඇත.

කුසගින්නට කෑම ටිකක් කන්නට කඩයකට ගොඩ වී බලන්න. ඔබ ගෙවන මුදලට ඉවත නොදා කෑමට හැකි කෑමවේලක් දිය හැකි වුවද ඔහු ඔබට ලබා දෙන්නේ කටවල් කිහිපයක් කා අත සෝදා ගත යුතු ජාතියේ කෑම වේලකි.

රජයේ රැකියා ලබා ගැනීම සඳහා වෙහෙසෙන අයවලුන්ගෙන් ඒ වෙහෙසෙන ඇත්ත හේතු විමසා බලන්න. නිකං සිටීමට ලැබෙන ඉඩත්, විශ්‍රාම වැටුපත්, ලෙහෙසියෙන් ලැබෙන නිවාඩුත් ගැන ඔහු කියනු ඇත.

බස් රථයකට ගොඩ වී බලන්න. සතෙකුටවත් ඇසිය නොහැකි තාලයේ ගීත ශ්‍රවණය කරන්නට හෝ අසික්කිත වීඩියෝ අසමින්, විට කමින් මගින් මග කෙළ ගසමින්, මිනිසුන්ට බණිමින් රේස් යන බසය ඔබව තාවකාලික උන්මත්තකභාවයට පත් කරනු ඇත.

වාහනයකට ඉන්ධන ටිකක් ගසා ගැනීමට ඉන්ධන පිරවුම්හළකට ගොඩ වෙන්න. තමන් වාහනයට පුරවා ගන්නා තෙල් ප්‍රමාණයේ වටිනාකමට වඩා වැඩි මුදලක් සටහන් වූ බිල්පත් ලබා ගන්නා බොහෝ අය ඔබට හමු වනු ඇත.

ඔබේ නිවසේ ඉදිකිරීම් කටයුත්තකට මේසන්වරයෙක් සම්බන්ධ කරගෙන බලන්න. ඔහු වැඩය නියමිත කලට නොකරන අතර, ඔබේ ද්‍රව්‍ය විනාශ කර මුදල් වැඩියෙන් අය කරනු ඇත. එපමණක් නොව ඔබේ වැඩය ද ඔබට අවැසි ලෙසට නොකරනු ඇත.

මෙලෙස ලියන්නට ගියහොත් දවස් කිහිපයක් වුව ලියන්නට කරුණු තිබෙනා බව පෙනී යයි.

හැම විට ම මෙහෙම නොවන බවත් මෙය ඍණාත්මක ලියැවිල්ලක් බවත් කිසිවෙක්ට කියන්නට හැකි ය. නමුත් සාතිශය බහුතරයක් වන සිදුවීම් මෙසේ නොවේ ද? අප බොහෝ දෙනෙක් ජීවත් වන්නේ, රැවටීමට ලක් වීමේ අඳුරු හැඟීමට මුහුණ දෙන්නට බියෙනි.

අප ශිෂ්ටසම්පන්න ජාතියක් බවට පත් වන්නේ කවදා ද? රට පත්ව ඇති මේ තත්වය ගැන වගකිව යුතු දේශපාලන සංස්කෘතියක්/ පුද්ගලයන් සහ වෙනත් මූලයන් තිබිය දී ම පුද්ගලයන් හැටියට අප විසින් වෙනස් කරගත යුතු ආචාර ධාර්මික කොටසක් නැති ද ?

“මේ ජනතාව ඉවත් කර නව ජනතාවක් පත් කළ යුතු ය!” – බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්

සඳුන් ප්‍රියංකර විතානගේ

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *