“සිංහල ගීත සාහිත්‍යයේ ඉතිහාසවේදියා: ඇන්ටන් ජෝන්ස්”

Anton Jones

“උඹලාට ඉතිහාස පොත් කියවන්න බැරි නම්
අඩු ම තරමේ ඇන්ටන් ජෝන්ස් ගේ සින්දු වත් අහපල්ලා”

“ඉංගිරිසි ජාතික එල්ටන් ජෝන් වැනි ගායන ශිල්පියෙක් අපට නැද්ද?” යි වරක් රසඳුන පාඨකයෙක් සුනිල් මිහිඳුකුල ගෙන් ඇසුවේ ය. “ඇයි නැත්තේ! අර ඇන්ටන් ජෝන්ස් ඉන්නේ” යි සුනිල් මිහිඳුකුල සුපුරුදු මුඛරි භාවයෙන් පිළිතුරු දුන්නේ ය. ඔහු එ සේ විහිළුවට මෙන් කීව ද ඇන්ටන් ජෝන්ස් ගෙන් සිංහල ගීත සාහිත්‍යයට වූ සම්ප්‍රදානය මනා ශාස්ත්‍රීය විමර්ශනයකට ලක් විය යුතු ය. අද දින ගල්කිස්සේ පොදු සුසාන භූමියේ දී ස්වකීය ජීවන ගීතය නිමා කරන ඇන්ටන් ජෝන්ස්ට යම් හෝ සාධාරණයක් ඉටු වන්නේ එ විට ය.

බයිලා රජු වොලී බැස්ටියන් ගේ සම්මුඛ ශිෂ්‍යයකු වූ ඇන්ටන් ජෝන්ස් ගායන ක්‍ෂේත්‍රයට පිවිසුණේ බයිලා සක්විති එම්. එස්. ප්‍රනාන්දුටත් පළමුවෙනි. අප ගේ නිරීක්ෂණය අනුව ඇන්ටන් ජෝන්ස් ගේ බයිලා ආර වූකලි වොලී බැස්ටියන් ගේ බයිලා ආරෙහි ම අවිච්ඡින්න ක්‍රම විකාශයෙහි ප්‍රතිඵලයෙකි. එය එම්. එස්. ගේ බයිලා ආරෙන් නොයෙක් ලෙස වෙනස් ය. එම්. එස්. ගේ බයිලා ආර වඩාත් නෑකම් කියනුයේ මහනුවර මාතර යුගවල ජන කවි ආරට ය. එ බැවින් එම්. එස්. ගේ නිර්මාණවල තරම් ශබ්දාලංකාර බාහුල්‍යයක් ඇන්ටන් ජෝන්ස් ගේ නිර්මාණවල දක්නට නො ලැබේ.

ඇන්ටන් ජෝන්ස් ගේ බයිලා ආර වොලී බැස්ටියන් ගේ බයිලා ආරෙහි ම අවිච්ඡින්න ක්‍රම විකාශයෙහි ප්‍රතිඵලයෙකැ යි අප කියනුයේ ඔවුන් දෙදෙනා ගේ ගීතවල අන්තර්ගතය සහ වස්තු බීජ සලකා බැලීමෙනි. සත්‍ය සිදු වීම් නිමිති කොට-ගෙන බයිලා නිර්මාණය කිරීමේ සම්ප්‍රදායයෙහි පුරෝගාමියා වූයේ වොලී බැස්ටියන් ය. ඔහු ගැයූ ‘බිව්වා නේ ද වදකහ සුදිය’, ‘හායි හූයි බබී ආච්චි ගෙ බයිසිකල් එක’, ‘ගංටා නාදේ දසත ඇසෙන්නේ’ වැනි බයිලා ගීත ඊට දෘෂ්ටාන්ත පිණිස සිටී. එ හෙත් මේ සම්ප්‍රදායයෙහි මහා පුරුෂයා වූයේ ඇන්ටන් ජෝන්ස් ය. ‘ආසයි බයයි බෝට්ටුවේ නම යි’, ‘ඩී. සී. අට අහස් යන්තරේ’, ‘හාර ලක්සේ මංකොල්ලය’, ‘රුක්මණී දේවි’, ‘ප්‍රේමවතී මනපේරි තරුණිය’, ‘සේපාල ඒකනායක’, ‘පොලොන්නරුවේ පොඩි විජේ’, ‘අහෝ ජීසස් – මැතිව් පීරිස්’, ‘බුදුන් තුන් වරක් වැඩි සිරි ලංකා දීපය’, ‘කොංගෝ රටේ පළවෙනි අගමැතිඳු ලුමුම්බා’ වැනි ගීත බොහෝ ගණනක් ඔහු නිර්මාණය කෙළේ සත්‍ය සිදු වීම පිළිබඳ ව ය. එ වැනි ගීත බොහෝවක රචකයා ද ඇන්ටන් ජෝන්ස් ම විය.

අනුවේදනීය සිද්ධීන් පිළිබඳ ව ඛේම්ටෝ තාලයෙන් (6/8) බයිලා ගී ගැයීම නිසා ඇන්ටන් ජෝන්ස් ප්‍රබුද්ධ කුලකයේ සාහිත්‍ය විචාරකයන් ගේ බරපතළ විවේචනයට ලක් විය. සත්‍ය සිදු වීම් නිමිති කොට-ගෙන ඔහු නිර්මාණය කළ බොහෝ ගීත සාහිත්යික ගුණයෙන් හීන බව අපි දු පිළිගනුමු. එ නමුදු අප ඒ ගීත දෙස බැලිය යුත්තේ වෙනත් දෘෂ්ටි කෝණයකින් බව අප ගේ පෞද්ගලික විශ්වාසය යි. ඒ ගීත වූකලී ලංකා ඉතිහාසයේ නූතන අවධියට අයත් වෙසෙස් සිදු වීම් පිළිබඳ පරිපූර්ණ ඉතිහාස වාර්තා ය. යම් සිදු වීමක සමස්ත කතා පුවත දින වකවානු, සංඛ්‍යා ලේඛන මෙන් ම අදාළ පුද්ගලයන් ගේ නම් ගම් ද සහිත ව වාර්තා කිරීම ඇන්ටන් ජෝන්ස් ගේ ගීතවලින් සිදු වේ. කලකට ඉහත මීට සමාන කාර්ය භාරයක් ඉටු කළ කවි කොළයට වඩා ඇන්ටන් ජෝන්ස් ගේ ගීතය ප්‍රබලතර මාධ්‍යයකි.

ගීතයෙක කාර්ය භාරය ඉතිහාස වාර්තාවෙක කාර්ය භාරයෙන් වෙනස් බව සැබැවි. එ සේ වූ පමණින් මේ ගීතවලට දෙඤ්ඤං බැටේ විචාරකයන් එල්ල කරන කර්ණ කටුක විවේචන ද සාහසික බව කිය යුතු ය. ඇන්ටන් ජෝන්ස් ජනප්‍රියත්වයට ගෙනා මේ බයිලා ආරෙන් ඇන්ටන් රොද්‍රිගෝ, ධනපාල උඩවත්ත වැනි ගායන ශිල්පීන් ද යම් ආභාසය ලබා ඇති බව පෙනේ. ඇන්ටන් රොද්‍රිගෝ ගැයූ ‘වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ’, ‘සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා’ වැනි ගීත ද ධනපාල උඩවත්ත ගැයූ ‘සිතුවා ද සිතුණා ද වීරයා හසලක’, ‘සුනාමි’ වැනි ගීත ද ඇන්ටන් ජෝන්ස් ගේ උක්ත ගීත හා සසඳා බැලිය යුතු ය.

කැසිති පට තිස් හතකට ද සංයුක්ත තැටි අටකට ද ඇන්ටන් ජෝන්ස් ගැයූ ගීත හුදෙක් ම අවර ගණයේ බයිලා ලෙස ලඝු නො කොට ප්‍රාමාණික අධ්‍යයනයකට විෂය කොට-ගැනීමට තවත් පමා විය යුතු නැත. එය සිංහල ගීත සාහිත්‍යයේ නවමු ආරක් පිළිබඳ අධ්‍යයනයක් වනු ඇත. මේ සටහනේ සිරස ලෙස තබා ඇත්තේ සාමාන්‍ය පෙළ අවධියේ දී අපට ඉතිහාස විෂයය උගන්වා-ලූ ජී. ඒ. ලලිත් කුමාරසිරි මහතා වරෙක පංක්තියේ කොලු රැළට ගෝරනාඩු කොට කී බසෙකි. සාහිත්‍යඥයන් ඇන්ටන් ජෝන්ස් කෙරෙන් නුදුටු වටිනාකමක් ඉතිහාසඥයන් දුටු බවට ඒ බස ප්‍රත්‍යක්‍ෂ සාක්ෂ්‍ය යි.

ඇන්ටන් ජෝන්ස්ට නිවන් සුව ලැබේ වා!

– ක. ක. ගනුෂ්ක රන්දුල

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *