ශ්‍රී ලංකාව යුරෝපයට ම දත නියවීම හොඳ ද? නරක ද?

EU_flag_SPIFයුරෝපය දෙසට මේ වන විට ශී‍්‍ර ලංකාවේ අවධානය යොමු වී තිබේ. මක් නිසාද යත් ජර්මනියත්, ඔස්ටි‍්‍රයාවත් සමඟ රාජ්‍ය තාන්ත‍්‍රික, වෙළෙඳ සහ ආයෝජන සම්බන්ධතා වර්ධනය කර ගැනීම අරමුණ ඇති ව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාත් තවත් කිහිප දෙනෙකුත් එම රටවල සංචාරය කරන බැවිනි. ලෝක ආර්ථික සැලැස්ම තුළ ශී‍්‍ර ලංකාව ස්ථාන ගත විය යුත්තේ කොතැන ද යි යන්න විචාරශීලී ලෙස විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.

පසුගිය සියවස් පහකට වැඩි කාලයක් ලෝකය ඍජුව හෝ වක‍්‍ර ව පාලනය කරනු ලැබූවේ බටහිර යුරෝපය මඟින් යැයි කීම සදොසක් නොවේ. බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය මැදිහත් වීමෙන් සිදු වූ ලෝක පාලනය තුළින් ලෝක ගමන් මගෙහි සියලූ දිශානති වෙනස් වූයේ යැයි කීවොත් නිවැරදි ය. විද්‍යාව, තාක්ෂණය, සාහිත්‍යය, කලාව මෙන්ම දේශපාලනය ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවල යුරෝපීය ලකුණ සහිත වර්ධනයක් පසුගිය සියවස් ගණන මුළුල්ලේ සිදු විය. එබැවින්, මෙම යුරෝපීය ශිෂ්ටාරයේ උණුසුම නොදැනුනු ලෝකයේ කිසිදු අස්සක් මුල්ලක් සොයා ගැනීමට නොහැකිය.

කෙසේවෙතත්, 21 වැනි සියවස ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයකි. යුරෝපය කඩා වැටෙමින් පවතී. ආයෙත් ගොඩනැගීමට නොහැකි වන පරිද්දෙන් ලෝකය කඩා වැටෙමින් පවතින බව අපගේ විශ්වාසයයි. ලෝකයට සංස්කෘතික, දාර්ශනික, ආචාර ධාර්මික ආලෝකය ලබා දුන් මහා පහන් කණුව දිරා පත් වෙමින් වැටෙමින් පවතී.

යුරෝපයට මේ වන විට බලපා ඇති විශාලතම ගැටලූව නම් ආර්ථික බිඳ වැටීමයි. ඊට අතිරේක වශයෙන් උග‍්‍ර වශයෙන් පවතින විරැකියාව, නීති විරෝධී සංක‍්‍රමණ නිසා පොදු ජනතාව තුළ ඇති වී තිබෙන හිස්ටීරියාකාරී මානසික තත්ත්වය මෙන්ම අන්ත දක්ෂිණාංශික බල කඳවුරුවල නැඟීම සහ අන්තවාදය පැතිරීමත් දැක ගැනීමට පුළුවන. බහු සංස්කෘතිකවාදය පිළිගත යුතු මූලික මූලධර්මයක් යැයි කී යුරෝපයේ බොහෝ රටවල් දැන් එසේ කියන්නේ නැත.

යුරෝපයට මෙවැනි ඉරණමක් අත්වීමට ප‍්‍රධාන හේතුවක් නම් අසල්වැසි කලාපයන්ගේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයයි. එසේම, යුරෝපා සංගමය නිර්මාණය ද තවත් අතකින් අයහපත් ලෙස බලපෑවේය. අසල්වැසි කලාපවල ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයන්, යුද්ධ හේතුවෙන් අති විශාල වශයෙන් මිනිසුන් නීති විරෝධී ලෙස සංක‍්‍රමණය වීම අරඹා තිබේ. මැද පෙරදිගින් ද අප‍්‍රිකාවෙන් ද මධ්‍යම සහ දකුණු ආසියාවෙන් ද බෝල්කන් ප‍්‍රදේශවලින් ද නීති විරෝධී ලෙස සංක‍්‍රමණිකයෝ ලක්ෂ ගණනින් යුරෝපයට ඇඳී එමින් සිටිති. 2015 වසරේ මෙම නීති විරෝධී සංක‍්‍රමණ ප‍්‍රශ්නය බෙහෙවින් උග‍්‍ර වන්නට විය. සිරියාව, ඇෆ්ගනිස්ථානය සහ ඉරාකයෙන් පමණක් 2015 වසරේ දී මධ්‍යධරණී මුහුද ඔස්සේ පැමිණි සරණාගතයන්ගේ සංඛ්‍යාව මිලියන ඉක්මවයි. එයිනුත් වැඩිම පිරිස සිරියානුවෝය. ඔවුන්ගේ ප‍්‍රතිශතය සියයට 49කි. ඇෆ්ගනිස්ථානයෙන් සියයට 21ක් ද ඉරාකයෙන් සියයට 8ක් සංක‍්‍රමණය වී තිබේ. මෙම සරණාගතයන්ගෙන් වැඩිම පිරිසක් බාර ගනු ලැබූවේ ජර්මනිය මඟිනි. ඒ අනුව, සරණාගත ප‍්‍රශ්නය හුදෙක් මැදපෙරදිගට, අප‍්‍රිකාවට හෝ ආසියාවේ ඇතැම් රටවල්වලට පමණක් බලපාන්නක් නොව එය කලාපයක් ලෙස යුරෝපයට ද බලපාන්නක් විය. යුරෝපය යනු, විශේෂයෙන් ප‍්‍රංශය වැනි රටවල්, සුරපුරයක් ය යන මතය වෙනස් කිරීමට හේතු වේ. තවදුරටත් යුරෝපය යනු අධිසුඛෝපභෝගී ජීවන රටාවන් හිමි මිනිසුන්ගේ දේශයක් ම නොවේ.

යුරෝපයේ ෂෙන්ගන් කලාපය යැයි ප‍්‍රදේශයක් පවතී. මෙම ෂෙන්ගන් කලාපයට රටවල් 26ක් ඇතුළත් වේ. එම රටවල් 26 අතර කිසිදු බාධාවකින් තොරව සංසරණය වීමේ හැකියාව ඇත. එනම් විදේශ ගමන් බලපත‍්‍ර අවශ්‍ය නොවේ. මෙම ෂෙන්ගන් කලාපය පිහිටුවනු ලැබූවේ ෂෙන්ගන් ගිවිසුම මහතා පිහිටායි. මෙම ගිවිසුම අත්සන් තබන ලද්දේ ලක්සම්බර්ග්හි ෂෙන්ගන් නගරයේ දී ය. යුරෝපා සංගමයේ රටවල් 28න් රටවල් 22ක් මෙම ෂෙන්ගන් කලාපයේ සාමාජිකයෝ වෙති. රටවල් 26න් ඉතිරි රටවල් 4 වන්නේ යුරෝපීය නිදහස් වෙළෙඳ සංගමයට අයත් වන රටවල් කිහිපයකි. යුරෝපා සංගමය පුළුල්වීමත් සමඟින් එම සංගමයට ඇතුළු වූ දිළිඳු රටවල ජනතාවට යුරෝපයේ පොහොසත් රටවල සංක‍්‍රමණය වීමේ අවස්ථාව ලැබිණ. මෙය තවත් අලූත් ප‍්‍රශ්නයක් නිර්මාණය කිරීමට හේතු විය. විශේෂයෙන් විරැුකියාව සම්බන්ධ ප‍්‍රශ්නය උග‍්‍ර කිරීමට එය හේතු විය. ඊට අමතර ව යුරෝපයේ ඇතැම් දිළිඳු රටවල ආර්ථිකයන් කඩා වැටීම යුරෝ කලාපය නිර්මාණය කර ගැනීම හේතු විය. යුරෝ කලාපය තුළ ක‍්‍රියාත්මක වන්නේ එක ම මුදලක් ඒකකයකි. එනම් යුරෝවයි. දිළිඳු රටවලට සිය ගනුදෙනු යුරෝ මුදල් ඒකකය යටතේ ම සිදු කිරීමෙන් විශාල ආර්ථික අවාසියක් සිදු විය. යුරෝව ශක්තිමත් මුදල් ඒකකයක් බැවින් දිළිඳු රටවල්වල නිෂ්පාදන අපනයනය කිරීමේ දී ගැටලූ මතු විය. මක් නිසාද යත්, ශක්තිමත් මුදල් ඒකකයක් යටතේ අපනයනය කිරීමේ දී අන්තර් ජාතික වෙළෙඳපොළේ දී අදාළ රටේ භාණ්ඩ මිළ සාපේක්ෂ් ව ඉහළ යයි. මේ හේතු ව නිසා චීනය වැනි රටවල් කරන්නේ තමන්ගේ මුදල්වල වටිනාකම හිතාමතා අඩු කරයි. ඇත්ත මිළට වඩා අඩුවෙන් සිය මුදල් ඒකකය පවත්වා ගෙන යෑම නිසා චීන බඩුවල මිළ අඩුය. මේ හේතුවෙන් චීන භාණ්ඩ අන්තර් ජාතික වෙළෙඳපොළේ අඩු මිළ ගත හැකිය. අවසාන වශයෙන්, මෙහි දී සිදු වන්නේ යුරෝ මුදල් ඒකකය භාවිත කරන යුරෝ කලාපයේ ඇති දුප්පත් රටවල ආර්ථිකයන් කඩා වැටීමයි. ඊට ඇති හොඳම නිදර්ශනය වන්නේ ග‍්‍රීසියයි. ග‍්‍රීක ආර්ථිකය කඩා වැඞීමට ප‍්‍රධාන හේතුවක් නම් යුරෝ කලාපයට ඇතුළු වීමයි. මෙම ක‍්‍රියාවලිය කාඞ් කුට්ටමක් මෙන් එකිනෙක පෙරළී යන්නකි. එනම් ග‍්‍රීක ආර්ථිකය කඩා වැටෙන විට එය පවත්වා ගැනීම සඳහා ණය දෙන්නට වෙයි. එම ණය සපයන්නට වෙන්නේ ජර්මනිය, ප‍්‍රංශය වැනි යුරෝපා සංගමයේ පොහොසත් රටවලටයි. නැවතත්, කලාපයේ පොඩි රටවල වැටීම ජර්මනිය, ප‍්‍රංශය වැනි රටවල පැවැත්මට අයහපත් ලෙස බලපායි.

මෙනයින්, යුරෝපා ආර්ථිකයත් යුරෝපා ශිෂ්ටාචාරයත් අද ඇත්තේ ඉතා සංකීර්ණ වූත් ලිහා ගැනීමට නොහැකි වූත් අර්බුදයකය. ජර්මනිය ගතහොත් සිය ආර්ථිකය අතිවිශාල වශයෙන් රඳා පවත්වා ගෙන සිටින්නේ යුරෝපා සංගමය තුළ කෙරෙන අපනයනවලිනි. ජර්මනියේ අපනයනවලින් සියයට 69ක් සිදු කෙරෙන්නේ යුරෝපා රටවලටයි. ඒ තුළින් යුරෝ බිලියන 54.6ක පමණ වෙළෙඳ අතිරික්තයක් පවත්වා ගැනීමට ජර්මනියට හැකි වී තිබේ. එහෙත්, ජර්මනිය විසින් රුසියාව, ලිබියාව, නෝර්වේ ආදී රටවල් සමඟ කරන ගනුදෙනුවල දී යුරෝ බිලියන 27ක පමණ හිඟයක් පෙන්වා ඇත. මෙම වෙළෙඳ හිඟය මූලික වශයෙන් ඇති වී තිබෙන්නේ බලශක්ති ක්ෂේත‍්‍රයේ ය. ජර්මනිය ජපානය සමඟ ද යුරෝ බිලියන 4.7ක වෙළෙඳ හිඟයක් ඇති අතර චීනය සමඟ තවත් යුරෝ බිලියන 11.1ක වෙළෙඳ හිඟයක් පවත්වා ගෙන තිබේ. යුරෝපය කලාපයක් වශයෙන් ආර්ථික ලෙස බිඳ වැටීමත් ජර්මනිය යුරෝපා සංගමය මත සිය ආර්ථිකය පවත්වා ගැනීමත් තුළ ජර්මනියේ ඉදිරි ආර්ථික සාධකයන් ඉතා හොඳින් ක‍්‍රියාත්මක වේ යැයි අපේක්ෂා කළ නොහැකිය.

මේ වන විට ලෝකයේ ආර්ථික බලය හැරෙමින් පවතින්නේ ආසියාව දෙසට ය. ඊට ප‍්‍රධාන හේතුවක් නම් චීනයේත් ඉන්දියාවේත් ආර්ථික නැඟීමයි. ලෝකයේ නිෂ්පාදන බලකඳවුර බවට චීනය පත් වී තිබේ. ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස අනුව 2050 වන විට ලෝකය අප හිතනවාට වඩා බොහෝ වෙනස් වනු ඇත. ලෝක ආර්ථික වර්ධනය මුළුමනින් ම පාහේ නැගෙනහිර ලෝකය පාදක කර ගනිමින් සිදු වනු ඇත. චීනය ලෝකයේ පළමු වැනි විශාලතම ආර්ථිකය වනු ඇති අතර ඉන්දියාව දෙවැනි විශාලතම ආර්ථිකය වනු ඇත. ඉන්දුනීසියාව වැනි රටවල ආර්ථිකය 2030 වන එක්සත් රාජධානියත් ප‍්‍රංශයත් ඉක්මවනු ඇත.

මීට සමගාමී ලෙස ආයතනික පද්ධතියේ ද මහා විශාල වෙනස්කම් රැසක් සිදු වනු ඇත. දැනටමත් AIIB හෙවත් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව නිර්මාණය කෙරී ඇත. ඊට නායකත්වය දෙන්නේ චීනයයි. එහි ව්‍යුහය බොහෝ දුරට ලෝක බැංකුවට සමාන වෙයි. ඉදිරියේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බටහිර ලෝකයේ මෘදු බලය සඳහා කියාත්මක වූ ආයතනවල පැවැත්ම ද අභියෝගයට ලක් වනු ඇත. ඒ වෙනුවට අලූත් ආයතනික පද්ධතියක් නිර්මාණය වනු ඇත.

කෙසේවෙතත්, අපගේ විශ්වාසය වන්නේ බටහිර ශිෂ්ටාචාරය විසින් ලොවට ඉගැන්වූ දෑ ලෙහෙසියෙන් වෙනස් වන්නේ නැති බවයි. වෛද්‍ය ක‍්‍රම, විද්‍යාවන්, ඉංග‍්‍රීසි වැනි භාෂාවන්, තාක්ෂණයන්, ආචාර ධර්ම ආදිය ඒ ලෙස ම පවතිනු ඇත. එහෙත් නිෂ්පාදනයත් වෙළෙඳාමත් වත්කම්වල හිමිකාරීත්වයේ විශාල වෙනස්කම් සිදු වනු ඇත.
අපගේ තක්සේරුව අනුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් ඉදිරියේ දී අවධානය යොමු කළ යුත්තේ බටහිර ලෝකය සමඟ සම්බන්ධතා තර කර ගැනීමට නොව නැගෙනහිර ලෝකය සමඟ සම්බන්ධතා තර කර ගැනීමටයි. රාජ්‍ය ප‍්‍රතිපත්ති නිර්ණයේ දී වසර 20-30ක් ඉදිරියට පෙනෙන දැක්මක් අවශ්‍ය වේ.

චීනයේ ආර්ථික නැඟීම පිටුපස විශාල දූෂණයක් පැවතිණ. පසුගිය කාලය තුළ බිහි වූ බොහෝ චීන ආයෝජකයෝ හොරුය. කොමිස්කාරයෝය. චීනය දුෂණ රහිත රාජ්‍යයන්ගේ ලයිස්තුවේ ඉන්නේ පහළ තැනකය. ඉතා දූෂිත ක‍්‍රම මඟින් මුදල් රැුස් කර ගත් චීන හොරු විදෙස් රටවල ආයෝජනය කිරීම එක්තරා ප‍්‍රවණතාවක් විය. නමුත් මෙය චීනයට ම ප‍්‍රශ්නයක් විය. දැන් චීනයට අවශ්‍ය වී ඇත්තේ දූෂිත මැඬීමේ යුගයකට එළැඹීමටයි. චීනයට ඇති එම අවශ්‍යතාව ෂී ජිංපිං ජනාධිපතිවරයාගේ පත් වීමෙන් පෙනී යයි. ඔහු දැඩි දූෂණ විරෝධියෙකි. චීනය එක්තරා යුගයක් පැමිණ අවසානය. දැන් චීනයට අවශ්‍ය වන්නේ ආචාර ධාර්මික මෙන්ම වඩාත් ශිෂ්ට සම්පන්න චීන සමාජයක් නිර්මාණය කර ගැනීමයි.

ශ‍්‍රී ලංකාවට ප‍්‍රයෝජන ගත හැක්කේ මේ අවස්ථාවෙන් බව අපගේ හැඟීමයි. ශ‍්‍රී ලංකාව යනු කළු සල්ලි සුදු කරන හොරුන්ගේ දූපතක් වෙනුවට ඉන්දියානු සාගරයේ ඇති පාරදෘශ්‍යභාවය ඉහළ දූපතක් බවට වන ප‍්‍රතිරූපය ගොඩනඟා ගැනීම ආචාර ධාර්මිකත්වය ගරු කරමින් නැඟී මීළඟ චීන ව්‍යාපාරික රැල්ල ග‍්‍රහණය කර ගැනීමට හේතුවක් වනු ඇත.

-දර්ශන අශෝක කුමාර-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *