බර්මියුඩා භීතියේ නවතම අනාවරණය

bermudaසියලු සත්ත්වයන් හට අනතුරක් පිළිබඳව භීතිය ඉවෙන් මෙන් දැනෙත්නම් මිනිසාට එසේ නොවෙනු ඇත්ද? සොබාදහම අපට ඒ ඉව දී නැත්ද?

බර්මියුඩාව. ඒ ඇසූ පමණින් ගුප්ත සන්ත්‍රාසය දනවන වචනයක් වී ඇත්තේ ඇයි? බර්මියුඩාව… අන්ධකාරයේ ත්‍රිකෝණය… යක්‍ෂයාගේ මුහුද…

මුහුදෙන් ගුවනින් නිතර ගමන් යන අයට මතු නොව ජීවිත කාලයකට නැවකට අහස් යානයකට පා නොතබන අයට පවා බර්මියුඩා ත්‍රිකෝණය යන තැන ගුප්ත හැඟීමක් ඇතිකරවන තැනක්.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා අර්ධද්වීපයේ මයාමි තුඩුව, පුවටෝ රීකෝ දිවයිනෙහි සැන් ජුවාන් තුඩුව සහ බර්මියුඩා දිවයින යාකෙරෙන කල්පිත ත්‍රිකෝණයයි බර්මියුඩා ත්‍රිකෝණය නමින් හැඳින්වෙන්නේ.

ඇත්තෙන්ම බර්මියුඩාව බිහිසුණු තැනක්ද?

බර්මියුඩා ත්‍රිකෝණය නමින් අප දන්නා මුහුදු ප්‍රදේශයේ නැව් යාත්‍රාකරනවා. ගුවන්යානා පියාසරනවා. බහමා දූපත් රාජ්‍ය පිහිටා ඇත්තේ බර්මියුඩා ත්‍රිකෝණය තුළ මයි. එහි ජනී ජනයා කිසි ආපදාවකින් තොරව යහතින් ජීවත් වනවා.

නමුත් අබිරහස් නිකරුනේ බිහිවන්නේ නැහැ.

bermuda 21945 දෙසැම්බර් 5 වැනිදා, ඇමෙරිකානු ගුවන් භටයන් දහ හතරදෙනෙක් දෛනික ගුවන් අභ්‍යාස වටයක් සඳහා ෆ්ලොරිඩාවෙන් ගුවන්ගතවුණා. “දහනවවැනි පියාසැරිය” ඒ ගමන් වාරය හැඳින්වූ නමයි. නමුත් ගුවන්ගතවී පැය එකයි මිනිත්තු හතළිස් පහකට ඉපසුව පියාසැරි නායක ලුතිනන් චාර්ල්ස් ටේලර් කලබලයට පත්ව පාලක මැදිරිය ඇමතුවා.

“බටහිර හොයාගන්න බැහැ… හැමදේම වැරදියි… මාළිමා තුනම අක්‍රීයයි…” ඔහුගේ පණිවිඩයේ කියවුණා. “මුහුද හරි අමුතුයි… වතුර සුදුපාටයි… වතුර කොළපාටයි…”

ඒ ලුතිනන් චාර්ල්ස් ටේලර් ගේ අවසන් වචනයි. ගුවන් යානා පහකින් සමන්විත වූ දහනවවැනි පියැසැරිය සලකුණක් නොතබා ම අතුරුදන්වුණා.

අතුරුදන් වූ ගුවන් නැවියන් සොයන අටියෙන් තවත් යානයක් එදින සැඳෑවේම බර්මියුඩා මුහුදු ප්‍රදේශය බලා ගුවන්ගතවුණා. ඔවුන්ට දකින්නට ලැබුණේ කුමක්ද?

ඇත්තෙන්ම ඔවුනට දකින්න ලැබුනේ කුමක්දැයි කිසිවෙක් දන්නේ නැහැ. දහනවවැනි පියාසැරිය සොයා ගුවන්ගත වූ යානයටත් අත්වූයේ එම ඉරණමමයි. ගුවන් ගතවී මිනිත්තු විසි හතක් ගතවෙත්දී තවත් ගුවන් භටයන් දහ තුන්දෙනෙකු සමග දෙවැනි ගුවන් යානයත් අතුරුදන් වූවා.

බර්මියුඩා මුහුදු තීරය එක් දිනක් තුළ ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ භටයන් විසි හත්දෙනෙකු සමග ගුවන් යානා හයක් බිලිගත්තේ එහෙමයි.

“බර්මියුඩා ත්‍රෝණය“ යන නම ඇත්තෙන්ම පිළිගත් නමක් නොවෙයි. එය මාධ්‍යයේ නිපැයුමක්. එහි නිර්මාතෘ වරයා වන්නේ වින්සන්ට් ගැඩිස් නම් ඇමෙරිකානු ලේඛකයායි. 1964 වසරේ ඇගෝසි නම් සඟරාවේ කවරයේ කතාවට ඔහු, අපට වස්තුවිෂය වී ඇති මුහුදු තීරයේ කාලාන්තරක් පුරාවට සිදුවූ නෞකා ගුවන්යානා අබිරහස් ලෙස අතුරුදන්වී යාම් ගැන කතා කළා. යක්‍ෂයාගේ ත්‍රිකෝණය නමින් අබිරහස් කලාපයක් මැව්වේ ඔහුයි.

නමුත් එහි සිදුවූ විනාශයන් අහිමිවී ගිය ජීවිත ගණනන මැවීමක් මැවීමක් නොව සත්‍යයක්. සියවස් ගණනාවක් පුරා බර්මියුඩා ත්‍රිකොණ ප්‍රදේශයේ සිදුවූ අනතුරු ගණන් තැබීමට බැහැ.

1918 වසරේ මාර්තු මාසයේදී, ඇමෙරිකා එක්සත්ජනපද නාවික හමුදාවට අයත් යූ.එස්.එස්. සයික්ලොප්ස් නෞකාව එහිගමන්ගත් 306 දෙනෙකුද සමග බර්මියුඩා ත්‍රිකෝණයේසී සදහට ම අතුරදහන් වුණා. ඒ සංග්‍රාමික ව්‍යාපාරයක දී නොවන කර්තව්‍යයක දී ඇමෙරිකානු නාවික හමුදාවට සිදුවූ වැඩිම ජීවිත හානිය යි.

බර්මියුඩාව මුහුද කිසියම් අමුතු තැනක් බව ඇමෙරිකාව සොයාගත් ක්‍රිස්ටෝෆර් කොලාම්බස් පවා සඳහන් කරනවා. ඔහු සිය නව ලොව සොයා යන ගමන පැමිණියේ මේ මුහුදු තීරය හරහායි. මාළිමා විපරීත වූ බව, මුහුදේ අමුතු එළි පෙනුනු බව, නිසලව තිබී මුහුද එක්වරම රළුවන්නට වූ බව කොලොම්බස් සිය වාර්තා වල කියනවා.

සුන් බුන් රහිතව ගුවන් නාවික යානා අතුරදහන් කරවන බර්මියුඩා ත්‍රිකෝණය කුමක් සිදුවන්නේදැයි යන්න පිලිබඳව ගෙතී ඇති පැහැදිලි කිරීම් ගණන බෙහෝයි, ඉන් එකක් හෝ නිරවුල් නොවෙතත්.

“පිටසක්වල ජීවීන් බර්මියුඩාව මුහුදු තීරයේ කිසියම් යමක් කරමින් සිටිනවා.” බර්මියුඩාව ගැන ඇති ජනප්‍රියම පැහැදිලි කිරීම එයයි. ඇත්තෙන් ඒ පැහැදිලිකිරීම සාධාරණයි. මන්දයත් හඳුනා නොගත් ආකාශ වස්තූන් දැකීම් වැඩිම ප්‍රමාණයක් වාර්තාවන්නේ බර්මියුඩා ත්‍රිකකෝණය ආශ්‍රිත ප්‍රදේශ වලිනුයි. ඉතින් පිටසක්වලයන්ගේ වැඩ ගැන අප කෙසේ නම් දනිමුද?

“වෙනත් මානයක සමාන්තර විශ්වයකට යන මාවතක් බර්මියුඩා වෙහි තිබෙනවා.” ඒ අනෙක් ප්‍රචලිතම මතයයි. කෙසේ වෙතත් සමාන්තර විශ්වයන් ගැන කතාව විද්‍යාවට දැන් අමුතු දෙයක් නොවෙයි. අප ජීවතත්වන සෑම සෙන්ටීමටරයකම ට්‍රිලියනයෙන් එකක කොටස ගානේ වෙනස් වෙනස් මානයන් පැවතිය හැකියි. නමුත් එවාට යන බලහත්කාරී මාවත් මහ මුහුද විකෘති කරගෙන අහස දෙබෑකරගෙන බර්මියුඩා ත්‍රිකෝණයෙන් මතුවනු ඇත්ද?

බර්මියුඩාව ආශ්‍රිත අහසේ විද්‍යුත් චුම්බක අසාමාන්‍යතා ක්‍රියාත්මක වෙමින් තිබියහැකි බවට විද්‍යාඥයෝ මත පළකරනවා. අතුරුදහන්වූ ඇතැම් ගුවන් යානාවල නියමුවන් අවසන් වරට කියා ඇත්තේ තමන් වටා ඝන මිහිදුමක් ඇතීවී ඇති බවයි. විද්‍යාඥයන්ට අනුව විද්‍යුත් චුම්බක අසාමාන්‍යතා නිසා එවැනි දෑ සිදුවිය හැකියි.

ප්ලේටෝ සිය ලියවිලිවල කියන අප නොදන්නා කාලයක එක් රැයකින් මුහුදු පතුලේ ගිලීගීය අත්ලාන්තික රාජ්‍ය, යනු බර්මියුඩා ත්‍රිකෝණයේ මුහුදු පතුලයි! පර්යේෂකයන් එහි සොයාගෙන ඇති මිනිසුන් විසින් නිමවූවාක් බඳු භූ ලක්‍ෂණ ඔවුන්ගේ මේ අතිශය කාල්පනික මතයට දෙස් දෙනවා. ගිලීගිය අත්ලාන්තිකය නැව් අහස්යානා ඇදගන්නේ ඇයි?

ඒ මතය දරන අයට අනුව ගිලී ගිය අත්ලාන්තික රාජ්‍යය අදටත් වඩා තාක්‍ෂණයෙන් පිරිපුන්. අප නොදන්නා පළිඟු වලින් බලය ගන්නා ක්‍රම ඔවුන් දැන සිටියා. අදටත් ගුවන් යානා නැව් සලකුණක් නොතබාම මුහුදු පතුලට ඇදගන්නේ බර්මියුඩා මුහුදේ ගැඹුරෙහි වසර දහස්ගණනක් තිස්සේ ක්‍රියාක්මක වන අත්ලාන්තීසයන්ගේ බල පළිඟුයි!

මිනිස්සුන්ට ජීවත් වන්න අබිරහස් කතා අවශ්‍යයි වාගේම සෑම දෙයකට ම විධිමත් පැහැදිලි කිරීමකුත් අවශ්‍යයි. නමුත් ගැටලුව එවැන්නක් නොවීමයි. ඇතැම් ඇමෙරිකානු පර්යේෂකයන් බැරිමරගාතයේ පෙන්වාදීමට උත්සාහ කරන්නේ බර්මියුඩාවෙහිත් ලොව අනෙත් ප්‍රදේශවලත් සිදුවන නෞකා ගුවන් යානා අනතුරු ගණනෙහි වැඩි වෙනසක් නැති බවයි. එමුත් බර්මියුඩා ත්‍රිකෝණය හා බැඳුනු අන්තරායක් පිළිබඳ ගුප්ත භීතිය කුමක්ද? පැහැදිලි කිරීම් වලින් නිම නොවී එය යළි යළිත් මතුවන්නේ ඇයි?

ඔබ නිල් කුහර ගැන අසා තිබෙනවාද?

විශ්වයේ ආලෝකය පවා ගිලගන්නා කළු කුහර තිබෙන්නා වාගේම මහ මුහුදේ සියළු දේ ඒ තුළට ඇදගත හැකි නිල් කුහර තිබෙනවා.

ඇත්තෙන්ම විද්‍යාඥයන් මේවා පිළිබඳව තවමත් හදාරා ඇති ප්‍රමාණය අල්පයි. මන්දයත් එවැන්නක කිමිදීම ලෝක ඉතිහාසයේ අබිරහස් අතරට එක්වන තවත් අතුරුදන්වීමකට අතවැනීමක් බඳුයි. නිල් කුහර තල මුහුදු පතුලක එක්වරම ගැඹුරට පිහිටා ඇති ආවාට විශේෂයක්. වැඩිදුර සෙවීමේදී ඒවා ආවාටවලට වඩා ගුහා සංකීරණ බව පෙනී ගියා. තවත් හැදෑරීමේ දී ඒවා ගුහා ඔස්සේ දිවෙන උමං සංකීරණ බව පෙනී ගියා. නිල් කුහරයකට ඇදගන්නා යමක් කොහේ ගමන් කොට කොහෙවන් මතුවනවාද නැත්දැයි කිසිවෙක් දන්නේ නැහැ. නිල් කුහර බාහාමා දිවයින් ආශ්‍රිත වැසියන්ට හුරු දෙයක්. මේවා හිටි හැටියේ දිය සුළි ඇති කර බිළිගන්නා බව පාරම්පරික ඥාණයෙන් ඔවුන් දන්නවා. ඒ අතරම ලස්කා නම් භයානක සමුද්‍ර මෘගයෙක් එහි කොහේ හෝ නිල් නිල් කුහරයක සැඟව සිටිමින් නෞකා ගිලන්නේ යැයි පුරාතනයේ පටන් කැරිබියානු නාවිකයන් විශ්වාස කරනවා. ඉතින් බර්මිඩා ත්‍රිකෝණයේ නැව් පිටින් ගිලගතහැකි නිල් කුහර ඇත්ද?

හිටි හැටියේ මුහුද රළුවීම අබිරහස් අතුරුදහන්වීම් වාර්තාවල සඳහන්වන තවත් පොදු කරුණක්. සමුද්‍රීය කාලගුණය පිළිබඳ විද්‍යාඥයන්ට අනුව, බර්මියුඩා ත්‍රිකෝණ මුහුදු ප්‍රදේශය අත්ලාත්තික් නිවර්තන චණ්ඩමාරුත පද්ධති සහ මෙක්සිකානු බොක්කේ හටගන්නා කුණාටු පද්ධති එකිනෙක හමුවන තැනක්. මේ අසුබ සංයෝගය හිටි හැටියේම ඇතිවන අඩි සියයක් වුවත් උස්ව නැගිය හැකි චණ්ඩරැල්ලි ඉපිදවීමට සමත්. 1918 වසරේ අතුරුදන්වූ යූ.එස්.එස්. සයික්ලෝප්ස් වැනි දැවැන්ත නෞකාවක ඉරණම ක්‍ෂණයකින් විසඳන්න මෙවැනි රැල්ලකට හැකියි.

තවත් වැදගත්ම කාරණා වලින් එකක් බර්මියුඩා හි මුහුදු පතුලේ සැඟව තිබෙනවා. එහි සැතපුම් ගණනාවක මුහුදු පතුලේ සුදු පැහැ ස්ථරයක් තැන්පත්ව තිබෙනවා. ඒ මීතේන් හයිඩොක්සයිඩ් අවක්‍ෂේපයක්. මුහුද මතුපිටට අමුතු පැහැයන් ගෙන එන්නත්, වායු ප්‍රවාහ ඇතිකරන්නත් මේවායින් හටගන්නා රසායනික ක්‍රියාවලීන්ට හැකියි.

සියල්ලගෙන්ම වඩාත් වැදගත්, වඩාත් බියජනක කාරණය..

අත්ලාන්තික් සයුරේ ගැඹුරුම ආගාධය පිහිටා තිබෙන්නේ බර්මියුඩා ත්‍රිකෝණ සාගර පතුළේයි. එහි ගැඹුරුම තැන සැතපුම් පහක් පමණ වනවා. මෙම ප්‍රදේශය බර්මියුඩා ආගාධය නමින් හැඳින්වෙනවා.

මහා උතුරු අත්ලාන්තික භූ තැටිය සහ කැරිබියානු භූතැටිය අතර මායිම බර්මියුඩා ආගාධයයි. උතුරු අත්ලාන්තික භූ තැටිය කැරිබියානු භූ තැටිය හා ඝර්ෂනයවෙමින් එයට යටින් ඇදෙමින් තිබෙනවා. කොයි මෙහොතක එහි එක්රැස්වන අපරිමිත ශක්තිය පිටතට මිදීයා හැකියි. එහි ප්‍රතිඵලය කුමක්ද?

2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා සුමාත්‍රා මුහුදු පතුලේත් සිදුවූයේත් එයමයි.

බර්මියුඩා ආගාධයෙහි සිදුවිය හැකි රික්ටර් මාපකාංක 9 ට වඩා ඉහල අති ප්‍රචණ්ඩ භූචලනයක් විද්‍යාඥයෝ කොයි මෙහොතක හෝ බලාපොරොත්තුවෙන් සිටිනවා. මතක තබාගන්න 2004 ඇති වූ 9.3 ප්‍රමාණයේ භූ චලනය පෘථිවි අක්‍ෂය අංශක ගණනකින් වෙනස් කළ බව. තවත් එවැනි මහා ශක්ති පිටවීමක ප්‍රබලතාව කෙසේ වනු ඇත්ද? සුමාත්‍රා භූචලනය තරමේ භූචලනයකින් ඇතිකරන සුනාමියක් ඇමෙරිකා එක්සත්ජනපදයේ නැගෙනහිර වෙරළ තීරය, දකුණු ඇමෙරිකාවේ උතුරු වෙරළ තීරය සහ බ්‍රිතාන්‍ය, අප්‍රිකාව දක්වා ගමන් කරත්දී කැරිබියානු කුඩා දූපත් රාජ්‍ය ගැන කතාකිරීමට යමක් ඉතිරි නොවනු ඇති.

සියලු සත්ත්වයන්හට අනතුර පිළිබඳව භීතිය ඉවෙන් මෙන් දැනෙත්නම් මිනිසාට එසේ නොවෙනු ඇත්ද? සොබාදහම අපට ඒ ඉව දී නැත්ද? බර්මියුඩාව පිළිබඳ ඇතිවන හැරනොයන ගුප්ත බිය කිසියම් නොදන්නා මහ විනාශයක් ගැන මිනිස් වර්ගයා තුළ ඇතිවන පෙර හැඟීමක්ද?

2011 වසරේදී ජපානයට ඇතිවූ ප්‍රබල භූචලනය නිසා ෆුකූෂීමා න්‍යෂ්ටික බලාගාරය කැළඹීමෙන් ඇතිවන්නට ගිය ලෝක ආපදාව ඔබට මතකද?

ඇමෙරිකානුවන්ගේ න්‍යෂ්ටික බලාගාර, න්‍යෂ්ටික ගබඩා සහ න්‍යෂ්ටික පරීක්‍ෂණාගාර රැසක්, කිසියම් දිනෙක බර්මියුඩා ආගාධයේ හටගන්නා දැවැන්ත භූචලනයකින් සෙලවී යාමට නියමිතව තිබෙනවා.

කීමට ඇත්තේ එපමණයි.
-අඛිල රන්සිරි මලලගේ-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *