මොනවද මේ මානව හිමිකම්..?

Human-rights-pictureඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප‍්‍රධානී සෙයිද් රාද් අල් හුසේන් දින හතරක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කළේය. ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් විවිධ අදහස් පැතිරෙන්නට විය. අල් හුසේන් කුමරු ගැන මෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන් ද එක් එක් පුද්ගලයා තුළ ඇත්තේ විවිධ අදහස් ය.

මානව හිමිකම් යනු තොණ්ඩුවක් මර උගුලක් ආදී වශයෙන් වූ මතවාදයක් එක්තරා අතකින් පැතිරෙන්නට විය. මානව හිමිකම් යනු කිසිලෙසකත් අයහපත් වූ යමක් නොවේ. මානව හිමිකම් පිිළිිබඳ විශ්ව ප‍්‍රකාශනයේ පළමු වගන්තියේ ම සඳහන් වන කරුණක් වන්නේ සෑම මනුෂ්‍යයකු ම නිදහස් ව, අභිමානයෙන් සහ අයිතිවාසිකම් වලින් සමානව උපත ලබා ඇත (All human beings are born free and equal in dignity and rights) යන්නයි. අප ඉදිරියේ දී සාකච්ඡා කරන පරිදි මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ සිදු වූ ප‍්‍රගමනයේ ඉතා ප‍්‍රබල අවදියක් ලෙස මෙය දැකීමට හැකිය. ඒ මක් නිසාද යත් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය බිහි වීමට පෙර සෑම මිනිසෙකුම අභිමානය සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සමාන කොට සැලකීමක් සිදු නොවිණ.

කෙසේවෙතත්, ලියවිලි මත තිබෙන ආකාරයෙන් ම මානව හිමිකම් පිළිබඳ අන්තර් ජාතික නීතිය ක‍්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. නමුත්, මෙවැනි නීතියක් බලාත්මක ව පැවැතීම පීඩිතයාගේ වරප‍්‍රසාදයකි. අතැමෙක් සඳහන් කරන්නේ මානව හිමිකම් යනු බටහිර ලෝකය තුළ නිර්මාණය වූවක් බවයි. එබැවින් මානව හිමිකම් ලෝකයේ සෑම තැනකටම සමාන ලෙස යොදා ගැනීමට නොහැකි බව ඔවුන්ගේ අදහසයි. මෙවැනි විචාරකයන් නිදසුනක් ලෙස ෂරියා නීතිය ගනී. ෂරියා නීතිය සහ මානව හිමිකම් අතර විශාල ගැටුමක් පවතී. නමුත් ෂරියා නීතිය යනු සංස්කෘතික පදනමකි. බුදු දහම ගතහොත් ශාරීරික අඩුපාඩු කම් අති පුද්ගලයෙකුට භික්ෂුත්වයක් ලබා ගැනීමට නොහැකිය. මෙය මානව හිමිකම් උල්ලංඝනය වීමක් ලෙස අර්ථ දැක්විය හැකිය. එහෙත් එය ක‍්‍රියාත්මක වන්නේ යම් සංස්කෘතික පදනමක් මතයි. එබැවින් මානව හිමිකම් යනු සංස්කෘතික අධිරාජ්‍යවාදයක් ලෙස ද දකින පිරිසක් වේ. මානව හිමකම්වල පවතින අනාගමික බව,පුද්ගල නිදහස ආරක්ෂා කරන බව සහ තාර්කිකත්වය මත පදනම් වීම (secular, individualistic and rationalist components of human rights) මානව හිමිකම්වල බටහිර සංස්කෘතික ආභාසය පෙන්නුම් කරන්නක් ලෙස හඳුනා ගත හැකිය. ඇතැම් සමාජයන් කි‍්‍රයාත්මක වන්නේ සාමූහික පදනමකිනි. නිදසුනක් ලෙස ඇතැමි අප‍්‍රිකානු සමාජ ගත හැකිය. පුද්ගලයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සමූහයේ පැවැත්මට අභියෝගයක් ලෙස පිරිසක් දකිති.

මානව හිමිකම් යනු එක්තරා සදාචාරාත්මක මූලධර්ම පද්ධතියකි. නැතහොත් ප‍්‍රතිමාන පද්ධතියකි. මානව හිමිකම් සඳහා අන්තර් ජාතික නීතියේ ද එක් එක් ජාතීන්ගේ දේශීය නීති පද්ධති මගින් ද අඩු වැඩි වශයෙන් පිළිගැනීම් ලැබී තිබේ. මානව හිමිකම් කරළියට ගෙන ඒම සඳහා දෙවැනි ලෝක යුද්ධය ප‍්‍රධාන වශයෙන් හේතු විය.

ඉතිහාසය වෙත හැරී බැලූවොත් මානවහිමිකම් බිහි වීමට පෙර පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වූයේ ඔවුනොවුන් ජීවත් වූ කණ්ඩායම්වලට සාපේක්ෂ්වය. මෙම කණ්ඩායම් යනු එක්කෝ පවුල් විය හැකිය. නැතිනම් සිය ප‍්‍රජාව, ආගමික කණ්ඩාම, සමාජ පන්තිය ආදිය විය හැකිය.මානව හිමිකම් බිහි වීමට පෙර ලෝකයේ සෑම සමාජයක ම පාහේ ක‍්‍රියාත්මක වූ රීතියක් පවතී. එය ස්වර්ණමය රීතිය (Golden Rule) වශයෙන් හඳුන්වනු ලැබේ. විවිධ ආගම් සහ ඇදහීම් ඔස්සේ විවිධ සමාජයන් තුළ ව්‍යාප්ත වූ සදාචාර සංකල්පයක් ලෙස මෙය ගත හැකිය. ස්වර්ණමය රීතියේ සාරය පහත පරිදි වේ.

x යම් යහපත් දෙයක් කිරීම තුළින් තමන්ට යම් ප‍්‍රතිඵලයක් අත් වේද අනෙකාට එම ක‍්‍රියාවෙන් සමාන ප‍්‍රතිඵලයක් අත් වේ යැයි සිතා කටයුතුකිරීම (ආහාරයක් ගැනීමෙන් තමන්ගේ කුස පිරෙන්නේ නම් අනෙකාගෙ ද කුස එවැනි ආහාරයක් පිරෙන බව සිතීම.)
x යම් අයහපත් දෙයක් තමන්ට මෙන්ම අනෙකාට ද සම ව බලපාන බව දැනීම. ( උදාහරණ හිසට පහරක් වැදුනොත් තමන්ට රිදෙන්නාක් මෙන් අනෙකාට ද එලෙසම රිදෙන්නේ යැයි සැලකීම)

මෙම සංකල්පය සෑම ආගමක ම පාහේ දක්නට ලැබේ. එසේම සෑම ආචාර ධාර්මික පද්ධතියක ම පාහේ ද දක්නට ලැබේ. ස්වර්ණමය රීතිය පිළිබඳ සංකල්පය මුලින්ම අතීත ඊජිප්තුවේ ක‍්‍රියාත්මක වූ බවට සාධක තිබේ. අතීත චීනයේ ද අතීත ඉන්දියාවේ ද ස්වර්ණමය රීතිය ක‍්‍රියාත්මක වී තිබේ. තමන් අකමැති දෙය අනුන්ට නොකරන්න යැයි කොන්ෆියුසියස් දහමේ ඉගැන්වීමක් එයි. චීනයේ විසූ තවත් ඉපැරණි දාර්ශනිකයෙකු වූ ලා ඕස්තුමාණන් සඳහන් කොට ඇත්තේ ඔබගේ අසල්වැසියාට යමක් ලැබෙන්නේ ද එය ඔබගේ ලැබීමක් ලෙස සලකන්න. ඔබගේ අසල්වැසියාට යමක් අහිමි වන්නේ ද ඔබට සිදු වන අහිමි වීමක් ලෙස සලකන්න යැයි එතුමා සඳහන් කොට තිබේ.
මහාභාරතය නම් ඉන්දීය මහා වීර කාව්‍යයේ විදුර නම් පණ්ඩිත අමාත්‍යවරයා සිය රජුට උපදෙස් දෙන්නේ ආත්ම පාලනය, ධර්මයෙහි හැසිරීම සහ තමන් මෙන්ම අනෙකාට සමාන කොට සැලකීමෙන් යහපත උදාවන බවයි.

මෑත ඉතිහාසය දෙස බැලීමේ දී 1215 දී පමණ එංගලන්තය පාලනය කළ ජෝන් රජු විසින් අනුමත කරන ලද මැග්නා කාටර් හෙවත් මහා සම්මුතිය මගින් අයිතිවාසිකම් ආරක්ෂණය පිළිබඳ අදහසක් නිර්මාණය විය. ඉන්පසු 1689 වසරේ දී සම්මත වූ අයිතීන් පිළිබඳ ඉංග‍්‍රීසීන්ගේ පනත, 1789 දී සම්මත වූ මිනිසාගේ සහ පුරවැසියාගේ අයිතීන් පිළිබඳ ප‍්‍රංශ ප‍්‍රකාශනය සහ 1791 වසරේ දී සම්මත වූ ඇමරිකානු අයිතීන් පිළිබඳ පනත වත්මන් මානව හිමිකම් නිර්මාණය වීම කෙරෙහි විශේෂ බලපෑමක් ඇති කළේය. නමුත්, මෙම අණපනත් සර්ව සම්පූර්ණ මානව හිමිකම් ප‍්‍රකාශනයන් නොවූ අතර කාන්තාවන්ගේ, සුදු නොවන ජාතීන්ගේ මෙන්ම ඇතැම් සමාජ, සංස්කෘතික කණ්ඩායම්වල අයිතිවාසිකම් ආරක්ෂා වීමක් සිදු නොවිණ. 19 වැනි සියවසේ දී වහල් වෙළෙඳාම අත්හිටුවීම සහ 1919 වසරේ දී අන්තර්ජාතික කම්කරු සංවිධානය නිර්මාණය කර ගනිමින් කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරවීම ආදී කරුණු ඔස්සේ වර්තමාන මානව හිමිකම් සඳහා පාර කැපිණ. ඇතැම් සුලූතර කණ්ඩායම් ආරක්ෂා කර ගැනීම සම්බන්ධ අදහස මානව හිමිකම්වලට පෙරට පැමිණියේ පළමු ලෝක යුද්ධයෙන් පසුවයි.

කෙසේවෙතත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවීම මානව හිමිකම් සම්බන්ධයෙන් ඉතා වැදගත් හැරවුම් ලක්ෂයක් විය. හිට්ලර්ගේ නායකත්වය යටතේ නාසි ජර්මනිය විසින් මිලියන 6ක පමණ යුදෙව්වන් පිරිසක් මරා දමනු ලැබූහ. සින්ටි , රොමනි වැනි කුඩා ජන කණ්ඩායම් විනාශ කර දැමිණ. ඊට අතිරේක ලෙස සමලිංගිකයන් සහ ආබාධිත පුද්ගලයන් ලක්ෂ ගණනින් ඝාතනය කෙරෙනු බව දක්නට ලැබිණ. මෙම ඝාතන සම්බන්ධයෙන් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝක ප‍්‍රජාව තුළ විශාල කම්පාවක් ඇති විය. එනයින්, තවදුරටත් මෙවැනි සිදු වීම් ඉදිරියේ දී ඇති නොවීමට ඉඩ නොතැබිය යුතු බව ලෝක ප‍්‍රජාවගේ අදහස විය. අප පෙර කී ආකාරයේ සමූල ඝාතනය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ(crimes against humanity) වශයෙන් සලකනු ලැබිණ. එය අලුත් යෙදුමක් විය. මෙහි අවසාන අර්ථය වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විවිධ රාජ්‍යයන් ගණනාවක්ගේ දායකත්වය ඇති ව නිර්මාණය වූ අතර 1941 වසරේ දී ඇමරිකානු ජනාධිපති රූසෙවෙල්ට් මහතා කොංග‍්‍රසය අමතමින් සිය වාර්ෂික දේශනයේ දී පැවසුවේ ලෝකය අලූතින් නිදහසේ ප‍්‍රකාර 04ක් හඳුනාගත් බවයි. ඒවා නම් කථනයේ නිදහස, ආගම් ඇදහීමේ නිදහස, යහපත් ජීවිතයක් ගෙවීමේ නිදහස සහ බයෙන් නිදහස් ව සිටීමේ නිදහසයි.

මෙනයින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලූම සාමාජිකයන් මානවහිමිකම් කෙරෙහි ගෞරව කිරීමට එකග වූ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඒ වෙනුවෙන් පත් කර ගැණින. මූලික අයිතීන් පිළිබඳ නෛතික පදනම නිර්මාණය කිරීම මෙම කොමිසමට පැවරිණ. එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් 56 දෙනෙකු විසින් මානවහිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය 1948 වසරේ දෙසැම්බර් මස 10 වැනි දින සම්මත කර ගැණින. මෙම මානව හිමිකම් මනුෂ්‍යත්වයක් ලැබූ කිසිවෙකුගෙන් ඉවත් කිරීමට නොහැකිිය. ඕනෑම මනුෂ්‍යයෙකුට ඔහු හෝ ඇය මනුෂ්‍යයෙකු වීම නිසා අනුල්ලංඝනීය ලෙස මෙම අයිතිවාසිකම් ලැබේ. මානව හිමිකම් විශ්වීය වන අතර ඒවා සියලු තන්හි වලංගු වේ.

අප පෙර දී ද සාකච්ඡුා කළ පරිදි මානව හිමිකම්වල ඇති විශ්වීය බව පිළිබඳ වාද විවාද පවතී. ශෂී තරූර් වැනි විචාරකයෙකු සඳහන් කරන්නේ ඇතැම් සමාජයන්හි අයිතිවාසිකම් වෙනුවට යුතුකම් ප‍්‍රවර්ධනය කෙරෙන බවයි.කොන්ෆියුසියස් සහ වෛදික දහම් ආදියෙන් පෝෂණය වූ සමාජවල යුතුකම් කෙරෙහි ප‍්‍රමුඛත්වය දෙනු ලැබේ. අයිතිවාසිකම් සංකල්පය බටහිරට ප‍්‍රමුඛ වුව ද නැගෙනහිරට ප‍්‍රමුඛ වන්නේ යුතුකම් බව ඔහුගේ අදහසයි. බටහිර නොවන ඇතැම් සමාජවල විවාහය යනු හුදෙක් පුද්ගලයන් දෙදෙනකු අතර පමණක් සිදු වන බන්ධනයක් වශයෙන් සලකනු නොලැබේ. එය පවුල් සහ කණ්ඩායම් දෙකක් අතර ඇති වන බන්ධනයකි. මෙහිදී පුද්ගල අයිතීන් සහ ප‍්‍රමුඛත්වය දීම සංස්කෘතික පදනමට එල්ල කරන පහරක් ලෙස යම් විචාරකයෝ දකිති.

මෙනයින් මානව හිමිකම් සම්බන්ධයෙන් ලෝකයේ විවිධ පුද්ගලයන් අතර විවිධ මතවාද පවතී. මෙම මතවාද ඝට්ටනය ද පහසුවෙන් අවසන් වන්නක් නොවනු ඇත. කෙසේ වෙතත්, අපගේ හැගීම වන්නේ මානව හිමිකම් යනු කිසිවෙටකත් වරදක් නොවන බවයි. සියලූ මානව හිමිකම් බිහි ව ඇත්තේ සහනුභූතියත් අනුකම්පාවත් පාදක කර ගනිමිනි.

-දර්ශන අශෝක කුමාර-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *