කච්චතිවු අයිති ශ්‍රී ලංකාවට ද ඉන්දියාවට ද?

kachchthiu

කච්චතීවු යනු කන්කසන්තුරේ සිට නාවික සැතපුම් 40ක පමණ දුරින් පිහිටි අක්කර 285 ක පමණ වූ කුඩා දිවයිනකි. මෙම භූමියේ පානීය ජලය බිංදුවක් හෝ නොමැත. එය ශුද්ධ භූමියක් වශයෙන් ශ‍්‍රී ලංකාව ද ඉන්දියාව ද සලකයි. කච්චතිවූ දුපතේ ඇති ශාන්ත අන්තෝනි දූපතට ඉන්දියාවෙන් ද ශ‍්‍රී ලංකාවෙන් ද බෝට්ටු මඟින් දහස් ගණනක් බැතිමත්හු සෑම වසරක දී පැවැත්වෙන වාර්ෂික වතාවත් සඳහා සහභාගී වීමට පැමිණෙති. සෑම මාර්තු මාසයක දී ම මෙම වතාවත් පැවැත්වේ. 2016 වසරේ වතාවත් පසුගිය දා පැවැත්විණ. ඊට ද දෙරටින් ම දහස් ගණනක් ඉන්දියානුවෝ ද ශී‍්‍ර ලාංකිකයෝ ද සහභාගී වූහ. එය සතියක කාලයක් පමණ කාලයක් පැවැත්වේ. ශාන්ත අන්තෝනි කිතුනු දේවස්ථානයේ ඉතිහාසය වසර 100කට වඩා වැඩිය. එය නිර්මාණය කරන ලද්දේ දකුණු ඉන්දියාවේ දෙමළ කතෝලික බැතිමතෙකු වූ ශී‍්‍රනිවාස පදෛයියාචි විසිනි. කච්චතිවු දූපතේ ආගමික වතාවත් සඳහා සහභාගී වීමට කිසිවෙකුටත් පාස්පෝට් අවශ්‍ය වන්නේ නැත. ආගමික වතාවත් ශී‍්‍ර ලංකාවේ සහ ඉන්දියාවේ පූජකවරුන් විසින් පවත්වනු ලැබේ. මෙම දේවස්ථානයේ පරිපාලන කටයුතු සිදු කරනු ලබන්නේ යාපනයේ රදගුරු ජස්ටින් ඥානප‍්‍රගාසම් පියතුමායි. මෙම දූපතේ විදුලිය බලය, ආහාර ආරක්ෂාව ආදී සියලු කටයුතු බලා ගැනෙන්නේ ශී‍්‍ර ලංකා නාවික හමුදාව මඟිනි.

භූ තලවල සිදු වූ වෙනසක් හේතුවෙන් මෙම දූපත 14 වැනි සියවසේ දී පමණ නිර්මාණය වූයේ යැයි සලකනු ලැබේ. කච්චතිවු දූපතට අමතර ව මෙම භූගෝලීය වෙනස්කම නිසා තවත් දූපත් කිහිපයක් නිර්මාණය වී තිබේ. ඒවා නම් රාමේස්වරම්, කුතුකල්, පුනවාසල්, මුයල්තීවු, පුමාරිසන් තීවු, මුෙලෙතීවු, මනල් තීවු, අප්පා තීවු, නලතනි තීවු, උප්පු තනී තීවු, කුඩිසාඩිතීවු ය.

මෙම දූපත ඉන්දියාවට ද ශ‍්‍රී ලංකාවට ද එකසේ උපාය මාර්ගික ලෙස වැදගත් වන්නකි. තමිල්නාඩුවේ රාමනාතපුරම් දිස්ති‍්‍රක්කයේ රාමනාද් රාජධානියට එම දූපත කලක් තිස්සේ අයිතිව තිබිණ. රාමනාද් පාලකවරුන්ට කච්චතිවූ පාලනය පැවරුනේ 1802 වසරේ දී සමින්දාර් කමය හඳුන්වා දීමෙන් පසු ය. සමින්දාර්වරුන් ප‍්‍රාදේශීය පාලකයෝ පිරිසක් වූහ. ඔවුහු බදු එකතු කිරීමේ නිරත වූහ. දිළිඳු ගොවියන්, ධීවරයන් පාලනය කිරීමේ විශාල බලයක් ඔවුන් සතු විය. ලන්දේසීන්ගේ නැගෙනහිර ඉන්දියා වෙළෙඳ සමාගම සහ සමින්දාර්වරුන් අතර 1822 වසරේ දී අත්සන් තැබුණු ගිවිසුම අනුව පෙනී යන්නේ එම කාලය වන විට සමින්දාර්වරුන් විසින් කච්චතිවූ දූපත පාලනය කරන ලද බවයි.

මත්ස්‍ය සම්පත ඇතුළු සාගර සම්පත් සම්බන්ධ කාරණයේ දී කච්චතිවු ආශි‍්‍රත භූමිය සම්බන්ධයෙන් ඉන්දියාවත් ශී‍්‍ර ලංකාවත් අතර යම් මතභේදකාරී තත්ත්වයන් එදත් අදත් පවතී. විශේෂයෙන් දකුණු ඉන්දීය දේශපාලනයේ එය ප‍්‍රධාන මාතෘකාවක් බවට පත් විය. මහා බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනය අවසන් වීමට පෙර සිට ම පාහේ කච්චතිවූ පාලනය සම්බන්ධ අර්බුදය නිර්මාණය වෙමින් පැවතිණ. ශී‍්‍ර ලංකාව කච්චතිවුහි හිමිකාරීත්වය ඉල්ලා සිටියේ 1921 වසරේ පටන් ය. නමුත් මෙහි හිමිකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු 1974 වසර දක්වා ඇඳී ගියේය. මෙම දූපතේ අයිතිය ශී‍්‍ර ලංකාව සතු බව 1974 වසරේ දී ඉන්දියාව පිළිගත්තේය. මෙම අයිතිය පිළිගැනීම සිදු වූයේ නඩු කීමකින් නොවේ. අවි ගැටුමකින් නොවේ. වෙනත් ආකාර බල ඝට්ටනයකින් නොවේ. හුදෙක් මිත‍්‍රත්වය මතයි. එනම් ඉන්දියාවේ අගමැති ධුරය දැරූ ඉන්දිරා ගාන්ධිත් ශ්‍රී ලංකාවේ අගමැති ධුරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මතත් අතර තිබූ මිතත්වය ප‍්‍රතිඵලයක් ලෙසයි. 1973 වසරේ දී ඉන්දිරා ගාන්ධි ශ‍්‍රී ලංකාවේ සංචාරය කළ අතර 1974 වසරේ සිරිමාවෝ බණ්ඩාරනායක ඉන්දියාවේ සංචාරය කිරීම කච්චතිවූ ගැටලුව විසදා ගැනීමට ඉඩක් සලසා දුන්නේය. 1974 වසරේ දී කච්චිතීවු ආසන්නයේ ධීවර කටයුතු සඳහා ඉන්දියානු ධීවරයන්ට අවස්ථාව සලසා දෙනු ලැබූමුත් 1976 වසරේ දී මුහුදු සීමා සම්බන්ධයෙන් අත්සන් තැබුණු ගිවිසුමෙන් ධීවර කටයුතු සම්බන්ධ අයිතීන් ද ශී‍්‍ර ලංකාවට පැවරිණ.

ඉන්දිරා සහ සිරිමාවෝ දෙපළගේ පවුල් අතර ද ඉතා සමීප සම්බන්ධයක් පැවති අතර අදහස් අතින් ද සමාන කමක් විය. ඔවුන් ඒ වන විට සමාජවාදී අදහස් මතින් පෝෂණය වූ අතර දෙරට ම පාලනය එම මතයන් කෙරෙහි වූ නැමියාවකිනි. එනම් ඇමරිකානු විරෝධී ආකල්පයක් ඉන්දියාවෙත් ශ‍්‍රී ලංකාවේත් පැවතිණ. කච්චතිවු දූපත ශ‍්‍රී ලංකාවට පැවරීමේ දී ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට ඉන්දියාවට සිදු වුව ද අදාළ වගන්තියේ දෙරටට බලපාන දේශසීමා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අද දක්වා නොමැත.

පාර්තා එස්. ගෝෂ් විසින් රචිත Ethnicity Versus Nationalism නම් කෘතියේ දී රචකයා පෙන්වා දෙන්නේ කච්චතිවූ යනු රාජ්‍ය තාන්තික භූමිකාව තුළ පුද්ගල සමීකර්ණය කි‍්‍රයාත්මක වීම සම්බන්ධ ඉතා වැදගත් වූත් ඉතා අනන්‍ය වූත් සිද්ධියක් බවයි (the most typical case of a personal equation playing the role of diplomacy). කච්චතිවු සම්බන්ධ සාකච්ඡා අසාර්ථක වන මොහොතේ දී ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිස ඉන්දිරා ගාන්ධිට බල කළේ දූපත ශ‍්‍රී ලංකාවට ලබා දීම සිදු නොකරන ලෙසයි. එහෙත් ඒ වන විට තම මිතුරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප‍්‍රතිරූපය වර්ධනය කිරීමේ වුවමනාව ඉන්දිරා ගාන්ධිට පැවතිණ. ඇයගේ ප්‍රතිරූපය වර්ධනය කිරීමේ ඇයගේ දේශපාලන ආයු කාලය වැඩි කිරීමට හේතු වෙතැයි ඉන්දිරා ගාන්ධි සිතුවා විය හැකිය. ඒ අනුව ඉන්දිරා ගාන්ධි විසින් සිරිමාවෝ බණ්ඩාරනායක සමඟ පැවති පෞද්ගලික සම්බන්ධයේ ප‍්‍රතිඵලයක් වශයෙන් කච්චතීවු පැවරීම සිදු විය. පසුකාලයක දී 1990 දශකයේ දී ද සිරිමාවෝ බණ්ඩාරනායක මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ස්තුතියක් ඉන්දිරා ගාන්ධි වෙනුවෙන් පළ කළාය.

කච්චතිවූ සිද්ධිය සෑම අතකින් ම පාහේ රාජ්‍ය තාන්ති‍්‍රක වශයෙන් ද අන්තර් ජාතික දේශපාලනය සම්බන්ධයෙන් ද අනන්‍ය වූ හා විශේෂිත වූ සිද්ධියකි. කච්චතීවු යනු කිසිසේත් ඉන්දියාවට නොවැදගත් භූමියක් නොවේ. එය අංශ ගණනාවකින් දකුණු ඉන්දියවේ ජන ජීවිතයට වැදගත් වන්නකි. මෙම කලාපය මුහුදු සම්පත් අතින් සැලකූ විට ද ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් කමක් ගනී. ඊට අමතර ව දකුණු ඉන්දීය කතෝලික ජනතාවගේ ශුද්ධ භූමියකි. එසේම, දකුණු ඉන්දීය ධීවරයන් තමන්ගේ ධීවර ආම්පන්න වේලා ගැනීම, අලුත්වැඩියා කර ගැනීම ආදිය සඳහා මෙම දූපත ඉතිහාසයේ පටන් භාවිත කර තිබේ. එවැනි, වැදගත්කමක් ඇති භූමි ප‍්‍රදේශයක අයිතිය ලේ බිඳුවක් හෝ නොවැගිරීමකින් තොරව හුවමාරු කර ගැනීම ඉතා වැදගත් කරුණකි.

මෙම රාජ්‍යතාන්ති‍්‍රක ගනුදෙනුවේ වැදගත්කම වඩ වඩා පෙනී යන්නේ චීන මුහුදු සීමාවේ පිහිටි සෙන්කාකු නම් කුඩා ¥පත් පිළිබඳ සැලකීමේ දීය. ජපානයත් චීනයත් අතර අතිවිශාල මතභේදයකට මෙම කුඩා දිවයින හේතු වී තිබේ. ඇතැම් විට මේ කුඩා දිවයින නිසා තුන් වැනි ලෝක යුද්ධයක් ද ඇති වීමට පුළුවන. චීනය සඳහන් කරන්නේ තමන් 14 වැනි සියවසේ සිට මෙම දූපතේ හිමිකාරීත්වය දරන බවයි. ජපානය සඳහන් කරන්නේ 1895 වසරේ සිට දෙවැනි ලෝක යුද්ධය දක්වා තමන් මෙම දූපතේ හිමිකාරීත්වය දරූ බවත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය විසින් තමන්ට එහි හිමිකාරීත්වය පැවරූ බවත් ය.

ඒ අනුව ගැටුමකින් හෝ ලේ වැගිරීමකින් තොරව ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා වූ මනා උදාහරණයක් ලෙස කච්චතීවු සිද්ධිය පෙන්වා දීමට පුළුවන. ලෝක දේශපාලනය තුළ මිත‍්‍රත්වය තුළින් ලබා ගත හැකි ජයග්‍රහණ සම්බන්ධ දෘෂ්ටාන්තයකි. මෙනයින්, සිරිමාවෝ බණ්ඩාරනායකගේ පාලනයේ තිබූ දුර්වලතා කෙසේ වුවත් ඇය ලැබූ මෙවැනි රාජ්‍යතාන්තික ජයග‍්‍රහණ අඩුකොට තැකිය නොහැකිය. බලහත්කාරයෙන් සහ ගැටීමෙන් පමණක් නොව මිත‍්‍රත්වයෙන් ද විශාල ජයගහණ ලැබිය හැකිය. එය අනාගත ලෝකයට ද අධ්‍යයනය කළ යුතු සිද්ධියක් යැයි විශ්වාස කරන්නෙමු.

-දර්ශන අශෝක කුමාර-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *