ඔෂෝ කල්ලිය ඇති කළ ජෛව ත්‍රස්ත ප්‍රහාර භීතිය!

osho

දිග රැවුල් ඇති අය ඇමෙරිකානුවන්හට සැකයි. දිග රැවුල් ඇති ජටා බැඳි අයට ඇමෙරිකානුවෝ බියයි. ඔෂෝට මේ දෙකම තිබුණා පමණක් නොව ඔහු ලෝගුවත් ඇන්දා.

ඔහු වයස විසි එකේදී “ඥානාවබෝධය” ලැබූ බව කියනවා. ඔෂෝ යන්නෙන් අර්ථවත් වන්නේ ජපන් බසින් “නායක හිමි” යන්නයි. ඔෂෝ 1971 වසරේ පටන් තමන්ව “භග්වාන් ශ්‍රී රාජ්නීෂ්” යනුවෙන් හඳුන්වාගත්තා. ඔහු දර්ශනවාදය පිළිබඳ මහාචාර්වය වරයෙක්. ඔෂෝ ගේ නව සන්‍යාසීය ඉගැන්වීම් වල හරය මිනිසාව පරම සන්තෘෂ්ටිය කරා ගෙනයාමයි. භාවනාව, එළඹ සිටි සිහිය, ප්‍රේමය, සැමරීම, ධෛර්යය, නිරිමාණාත්මකභාවය, උපහාසය ඔහුගේ ඉගැන්වීම්වල කැපී පෙනෙන අංග වී තිබුණා. ඔෂෝ සමාජවාදය සහ මහත්මා ගාන්ධිව දැඩි ලෙස විවේචනයට ලක් කළ අයෙක්. ගාන්ධිව ඔහු හැඳින්වූයේ දරිද්‍රතාවයට වන්දනාමාන කරන පසුගාමී පුද්ගලයෙකු ලෙසයි. සමාජවාදය දුප්පත්කම සමානව සමාජගත කරනවා හැර වෙන යමක් නොකරන බව ඔහු කීවා. ඉන්දියාවට සමාජයක් වශයෙන් නැගීසිටීමට නම් අත්‍යාවශ්‍ය අංගය ධනවාදය බව ඔහු පෙනවා දුන්නා. කෙසේ වෙතත් ඉන්දියානුවෝ බොහෝ ගණනක් ඔහු වටා අනුගාමිකයන් ලෙස එක්රැස්වුණා. ඔහු පූනම්හි ආශ්‍රමයක් පිහිටුවාගත්තා.

osho2

ඔෂෝගේ ජනප්‍රියත්වයත් සමගම ඔහු කෙරෙහි එල්ලවූ විවේචන වැඩිවුණා. පූනම්හි ආශ්‍රමයේ ගැටලු මතුවුණා. ආශ්‍රමය ඇමෙරිකා එක්සත් ජනපදයට ගෙනයන්න තීරණය කෙරුණා. ඔෂෝ ගේ අග්‍රශ්‍රාවිකාව ලෙස කටයුතු කළේ “ශීලා සිල්වර්මෑන්” හෙවත් “මා ආනන්ද් ශීලා” නැමැත්තියයි.

1981 වසරේ ජූනි මාසයේදී ඔෂෝ ඇමෙරිකා එක්සත්ජනපදය බලා ගියේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහායි. මා ආනන්ද් ශීලා ගේ සැමියා වූ “මාර්ක් හැරිස් සිල්වර්මෑන්” හෙවත් “ස්වාමි ප්‍රේම් චින්මයා” නැමැත්තා ඇමෙරිකානු ඩොලර් මිලියන 5 කට අධික මුදලක් ගෙවා ඔරිගන් හි අක්කර 6000 ක පමණ භූමි භාගයක් ඔවුන් වෙනුවෙන් මිලදී ගත්තා. ඔෂෝ අනුගාමිකයන් දහස් ගණනින් එහි පදිංචි වුණා. පාසල්, රෝහල්, තැපැල් කාර්යාල ආදී සියලු ප්‍රජා ගොඩනැගිලි එහි ඉදි වුණා. “රජ්නීෂ්පුරම්” ලෙස නම් කෙරුණු එහි නගරාධිපතිවරයෙකුද පත්කර ගැණුනා. කෙසේ වෙතත් අසල්වැසි ප්‍රදේශ වල උදවිය තැඹිලි පාට වස්ත්‍ර අඳිමින් ආවේසයෙන් මෙන් නටන ගයන මේ කල්ලියට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඇමෙරිකාවේ විවිධ ප්‍රදේශ වලින් නිවාස අහිමි ජනතාව ගෙන්වාගෙන රාජ්නීෂ්පුරම් හි පදිංචිකරවාගෙනද තිබුණා.

ඔෂෝ කීවේ අනූගනන් වන විට ලෝකය න්‍යෂ්ටික යුද්ධයකින් විනාශවන බවයි. ඒඩ්ස් රෝගය නිසා මිනිස් වර්ගයාගෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් මියයන බවද ඔහු කියා සිටියා. සිය සන්‍යාසි අනුගාමිකයන්ට ලිංගික ක්‍රියාකාරකම් වලදී උපත් පාලන කොපු සහ රබර් අත්වැසුම් පැළඳීම ඔහු අනිවාර්ය කළා. ඒ වනවිට ලෝකයේ සෞඛ්‍ය බලධාරීන් පවා ඒඩ්ස් නිවාරණ ක්‍රමයක් ලෙස උපත්පාලන කොපු භාවිතය ප්‍රවර්ධනය කරමින් සිටියේ නැහැ.

osho3

ඔය අතරවාරයේ ඔෂෝ හුදෙකළා ව්‍රතයකට පිවිසියා. ඔහු අනුගාමිනයන්ට දේශනා කිරීම සඳහා ආවේ නැහැ. අනුගාමියනක්ට ඔහුව දැකගන්න ලැබුණේ ඔහු සිය රොල්ස්-රෝයී වර්ගයේ මෝටර් රථ 93 න් එකක නැගී උදෑසන සංචාරයේ නිරතවන විට පමණයි. ඔහු සියලු බලතල මා ආනනද් ශීලා වෙත පැවරුවා. තමන් ගෙන එන්නේ ඔෂෝ ගේම වචනය බව ශීලා කියා සිටියා. ඔෂෝව සතුටින් තැබීම සඳහා කුමන මිලක් ගෙවීමට සිදුවුණත් කළ යුතු දේ අනිවාර්යෙන්ම කළ යුතු බව ඈ කියා සිටියා.

1984 වසරේ සැප්තැම්බර් 25 වැනිදා, ඔරිගන්හි ඩේල්ස් නම් කුඩා නගරයේ අයට කටුක අප්‍රසන්න අත්දැකීමකට මුහුණ දීමට සිදුවුණ කිසිදා අමතක කළ නොහැකි දවසක්. උණත් සමග උදරාබාධ ඇතිවුණා. මිනිස්සු වමනය කරන්න පටන්ගත්තා. ඔවුන්ගේ හිස් බමන්නට වුණා. ප්‍රතිකාර සඳහා රෝහල් වෙත දිව ගිය අයට මේ හිටිහැටියේ ඇතිවූ රෝග තත්ත්වයට ගොදුරුව සිටින්නේ තමන් පමණක් නොවන බව පෙනීගියා. රෝහලේ ඇඳන් වල, බිම, කොරිඩෝර වල, ආලින්දයේ සෑමතැනකම ජනතාව සමාන රෝග ලක්‍ෂණ සහිතව වැටී සිටියා. ක්‍ෂුද්‍රජීව විද්‍යාඥයන් යුහුව රෝගී තත්ත්වයට හේතුකාරකය සොයාගත්තා. ඒ සැල්මනෙල්ලා නම් බැකිටීරියාවයි. එය බිත්තර, මස්, කිරි ආදී සත්ත්ව ආහාර වර්ග වලත් උරග ගනයේ සත්ත්ව විශේෂයන් තුළත් හටගන්නවා. සැල්මනෙල්ලා බැක්ටීරියාව මිනිසාට මාරාන්තික නැහැ. නමුත් එය බිළිඳු දරුවන්ට සහ වයෝවෘද්ධ අයට මරණය ගෙන ආ හැකියි.

දින දහයක් ගතවෙත්දී සැල්මනෙල්ලා බැක්ටීරියාව යළිත් වතාවක් ඩේල්ස් නගරවාසීන්ට පහර දුන්නා. මෙවර ආසාදිතයින් ගණන සියගණනක් බවට පත් වුණා. රෝහල් වල සියලු ඇඳන් පිරීගියා.

සැල්මනෙල්ලා බැක්ටීරියාව වසංගතයක් ලෙස පැතිරයාමට හේතුව සොයාගැනීම ලෙහෙසි වුණේ නැහැ. ආපනශාලා සේවකයන් වැසිකිළි යාමෙන් පසු හරි හැටි අත් නොසේදීම නිසා සැල්මනෙල්ලා බැක්ටීරියාව ආහාර වලට එක්විය හැකියි. නමුත් යෝගී වූ සියගණනක් දෙනා එකම ආපන ශාලාවෙන් හෝ ආපනශාලගා දාමයෙන් ආහාරගත් අය නොවෙයි. පානීය ජල පරිවහණ පද්ධතියේවත් සැල්මනෙල්ලා බැක්ටීරියාව තිබුණේ නැහැ. සැල්මනෙල්ලා බැක්ටීරියාවට තටු ලැබීම ස්හභාවික සිදුවීමක්ද නැතහොත් කිසියම් කෙනෙකු හෝ පිරිසක් විසින් හිතාමතා කරන ලද්දක්ද යන්න පිළිබඳව සොයාබැලීමට ඇට්ලැන්ටා හි මධ්‍යම රෝග මර්දන ඒකකය කටයුතු ඇරඹුවේ ඒ සමගයි.

වසංගතවේදියෝ පර්යේෂණ ඇරඹුවා. අසනීපකාරකය බව පෙනෙන පොදු සාධක නොමැතිවීම පර්යේෂණ වලට මහත් බාධාවක් වුණා. එක් යුවලකට තමන් අසනීපවීමට පෙර ආපන ශාලාවකින් එළවළු සලාදයක් කෑ බව මතක තිබුණා. රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රතිකාර ලද සියලුදෙනාගෙන්ම යළි තොරතුරු වාර්තාකර ගත්තා. ඔවුන් නගරයේ දහයක් පමණ වන ආපන ශාලා වලින් කුමන හෝ එකකින් සලාද වර්ගයක් ආහාරයට ගෙන තිබුණා. නමුත් පොදු ආහාර ද්‍රව්‍ය සපයන්නෙකු ගැන හොඩුවාවක් තිබුණේ නැහැ. ඔය අතරවාරයේ ක්‍ෂුද්‍රජීව විද්‍යාඥයන් සොයාගත්තේ සියලු රෝගී වූවන් තුල වූ සැල්මනෙල්ලා බැක්ටීරියා වර්ගය එහි අතිශය දුර්ලභ ප්‍රභේදයක් බවයි. එය වෙනත් බැක්ටීරියාවන් මෙන් නොව ප්‍රතිජීවක මගින් මැඩපැවැත්විය නොහැකියි. මේ වන විට නගරයේ රෝගී වූවන්ගේ ගණන 750 ක්. එයින් 10%ක් ආපනශාලා සේවකයන්.

මාස දෙකක් ගතවෙද්දී සැල්මනෙල්ලා ආසාදනයට හේතුව ආපනශාලාවල අපිරිසිදු බව යැයි ඔරිගන් බලධාරීන් ප්‍රකාශයට පත්කළා. කිසිවෙකුටත් එය සෑහීමකට පත්විය හැකි එකක් වූයේ නැහැ. බලධාරීන්ගේ කුකුස ඔවුන් රාජ්නීෂ් කල්ලිය නමින් හැඳින්වූ ඔෂෝ අනුගාමික ප්‍රජාව වෙත යොමුවෙන්න පටන්ගත්තේ සාක්‍ෂියක් ඇතිව නොවේ. නිතැතින්මයි. මන්දයත් ඔෂෝ අනුගාමික ප්‍රධානීන් හා ප්‍රදේශයේ දේශපාලන බලවතුන් අතර නිතර මත.ගැටුම් හටගැනෙමින් තිබුණා.

ඔෂෝව සතුටින් තැබීම සඳහා කුමන මිලක් ගෙවීමට සිදුවුණත් කළ යුතු දේ අනිවාර්යෙන්ම කළ යුතු බව මා ආනන්ද් ශීලා කී හැටි මෙන්ම, “අප මෙහි ආවේ නවතින්නයි. ඒ වෙනුවෙන් ලේ හලන්න සිදුවුනොත්, ඒ මිල වුනත් ගෙවන්න අපට බැරි නැහැ” යැයි ඈ ප්‍රසිද්ධ මාධ්‍යට වරක් කී හැටිත් බොහෝ දෙනාගේ මතයේ හොල්මන් කළා.

රාජ්නීෂ් අනුගාමිකයන් අතර භේදබින්නතා හටගැනෙමින් තිබුණා. ශීලා ප්‍රමුඛ පිරිසක් එහි එක් පාර්ශවයක්. වඩා ධනවත් හොලිවුඩ් කණ්ඩායම නමින් හැඳින්වූ පිරිස අනෙක් පාර්ශවයයි. සියලු කලබල අතරතුර ශීලා සහ මා ආනන්ද් පූජා නමින් හැඳින්වූ “ඩයෑන් ඉවෝන් ඕනෑං” නැමැත්තිය යුරෝපය බලා ගියා. පූජා රාජ්නීෂ්පුරම් හි සෞඛ්‍යමධ්‍යස්ථානයේ ප්‍රධානියායි.

සිය සිව් අවුරුදු හුදෙකලා ව්‍රතය නිමාකරමින් ඔෂෝ ප්‍රජාව හමුවට පැමිණියා. ඔහු කීවේ ශීලා සහ පූජා තවදුරටත් තමන්ගේ පිරිසක් නොවන බවයි. ඔවුන් සිය ආශ්‍රමය ඒකාධිපතිවාදී වධ කඳවුරක තත්ත්වයකට පත්කර ඇති බව ඔහු වැඩිදුරටත් කීවා. ඔවුන් ආහාර විෂ කිරීම ජලයට විෂ එකතුකිරීම දිස්ත්‍රික් නීතිවේදියාව මරාදැමීම ඇතුළු බොහෝ භයානක දෑ කිරීමට සැලසුම්කර ඇති බව ඔෂෝ හෙලිකළා. වැඩිදුර සොයාබලන්න රාජ්නිෂීපුරම් වෙත එන ලෙස ඔහු බලධාරීන්ට ආරාධනා කළා.

රාජ්නීෂිපුරම් හි කළ ගවේෂණ වලින් හෙළිකරගත් තොරතුරු ඕනෑම අමෙරිකානුවෙකු භීතියෙන් මුසපත්කරවන්න සමත්. එහි සෑම බිම් අඟලක්ම ආවරණය වන පරිදි ආරක්‍ෂක කැමරා සවිකර තිබුණා. සියලුම දුරකථනවල සංවාද රහසේ පටිගතවෙමින් තිබුණා. එවැනි කැසට් පට ඇතුලත් විශාල කැසට්පට ගබඩාවක් ඔවුන් සතුව තිබුණා. එපමණක් නොව ආහාර විෂකිරීමේ සිට බෝම්බ සෑදීම දක්වා බොහෝ භයානක ක්‍රියා ශීලා ඇතුළු පිරිස සැළසුම් කර තිබුණා. නගරයේ වෛද්‍ය පරීක්‍ෂණාගාරයේ තිබී සැල්මනෙල්ලා විෂබීජය හමුවුණා. එය ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී වන ලෙස වැඩිදියුණු කර ඇත්තේ ශීලා සමග පලාගිය පූජායි.

ඇත්තෙන්ම ඔෂෝ මේ කිසිවක් දැන සිටියේ නැහැ. ගුවන් මගින් රටින් පිටවීමට උත්සාහ කරමින් සිටි ඔෂෝ උතුරු කැරොලයිනාවේ දී අත් අඩංගුවට ගැණුනා. ඔහුට එරෙහිව අනවසර සංක්‍රමණය පිළිබඳව චෝදනා ගොනු කෙරුණා. චෝදනා පිළිගත් ඔෂෝව ඉන්දියාවට පිටුවහල් කෙරුණා.

ඇත්තෙන්ම සිදුවූයේ කුමක්ද?

ඔෂෝව සතුටින් තැබීම අරමුණු කරගත් ශීලා ප්‍රමුඛ ප්‍රධානීන්ගේ වැඩ සැලැස්ම අවසානයේ නගරයේ දේශපාලන බලය අල්ලාගැනීමේ සැලැස්මක් බවට පත්ව තිබුණා.

ඩේල්ස් නාගරික මැතිවරණයට ඔෂෝ අනුගාමිකයෙකුව ඉදිරිපත් කරනවා.

ඔහුට ඡන්ද අවශ්‍ය පමණ නොලැබෙන බව සැබෑවෙතත් කෙසේ හෝ ඔහුව දිනවිය යුතුයි.

කළ හැකි හොඳම දෙය බහුතර ජනතාව ඡන්දය දැමීමට යාම වැළැක්වීමයි.

ශීලා සහ පූජා සැල්මනෙල්ලා බැක්ටීරියාව අවිය කරගන්නට මාන බැලුවේ ඒ සඳහායි.

වැඩපිළිවෙළ, නොවැම්බර් මාසයේ ඡන්දය පැවැත්වෙන දිනයට පෙර දිනයේ නගරයේ ජල සැපයුමට බැක්ටීරියාව මුසු කිරීමයි.

සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවල සියගණනක් නගරවැසියන්ව රෝහල් ගතකරවමින් ශීලා ඇතුලු පිරිස සිදුකළේ ඒ සඳහා පෙරහුරුවක්. මුලින් අගෝස්තු මාසයේදී ඔවුන් සැල්මනෙල්ලා බැක්ටීරියාව ඩේල්ස් නගරයේ ප්‍රජාගොඩනැගිලි වල දොරවල් වල තවරා බැලුවා. එය සාර්ථක වුණේ නැහැ. නමුත් ඉන්පසු කළ දෙවැනි හා තෙවැනි අත්හදාබැලීම් සාර්ථකවුණා. ඒ වතාවල ඔවුන් සැල්මනෙල්ලා බැක්ටීරියාව කුඩා දිය විදින ආධාරයෙන් විසුරුවා හැරියේ නගරයේ අවන්හල් දහයක එළවළු සලාද වලටයි.

මේ සිදුවීම ඇමෙරිකා එක්සත් ජනපදය මුහුණදුන් පළමු ජෛව ත්‍රස්ත ප්‍රහාරය ලෙස ගැනෙනවා. එයට මුල් වූ ආපනශාලා සියල්ලම පාහේ වසා දමන්න හිමිකරුවන්ට සිදුවුණා. එයට හේතුව සිදුවීමෙන් පසුත්, තවදුරටත් බියවන්නට රාජ්නීෂ්වරු ප්‍රදේශයේ නොමැතිවූවත් ජනතාව ඒ තැන්වලින් ආහාර ගන්න දැකවූ අහේතුක බියයි.

1990 වසරේ ජනවාරි 19 වැනිදා භග්වාන් ශ්‍රී රාජ්නීෂ් හෙවත් ඔෂෝ ඉන්දියාවේ දී මියගියා.

“ඔෂෝ මිය ගියේ නැහැ. ඔෂෝ ඉපදුනේද නැහැ. ඔෂෝ මේ ලෝකයට විත් මෙහි වැඩ නිමකොට ආපසු ගියා පමණයි” ඔෂෝ ගේ අනුගාමිකයන් පවනස්නේ එහෙමයි.

ශීලා සහ පූජා බටහිර ජර්මනියේදී අත්අඩංගුවට ගැණුනා. ආහාර විශකිරීම, මිනීමැරීමට තැත් කිරීම සහ ඒවාට අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම ආදී චෝදනා මත දෙදෙනාට අවුරුදු 23 සහ 15 බැගින් සිරදඬුවම් නියමවුණා. ඒ නමුත් යහපත් කල්ක්‍රියාව මත දෙදෙනාම මාස විසි නවයක කාලයකින් නිදහස ලැබුවා.

ශීලා ස්විට්සර්ලන්තයට ගොස් යළි විවාහවුනා. ඈ තවමත් එහි ජීවත් වනවා. ඒ අතර රෝගීන්ට සත්කාර කරන සාත්තු නිවාස දෙකක්ද පවත්වාගෙන යනවා.

අඛිල රන්සිරි මලලගේ

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *