මාවෝගේ කක්කා සහ තනිරටේ සමාජවාදය

Mao

සමාජවාදී ලෝකය තුළ මහා බලකණු දෙකක් වූ මා ඕ සේතුං පිළිබඳවත් ජෝසප් ස්ටාලින් පිළිබඳවත් විශේෂ හෙළිදරව්වක් පසුගියදා ලෝක මාධ්‍යය ඔස්සේ සිදු විය. මාවෝ සේතුං යනු මහජන චීන ජනරජයේ නිර්මාතෘවරයාය. මාක්ස් ලෙනින්වාදී අදහස් තවදුරටත් ඉදිරියට ගෙන ගිය මාවෝගේ විප්ලවීය ව්‍යාපාරය ඇතැම් දෙනෙක් මාක්ස්-ලෙනින්-මාවෝවාදය වශයෙන් ද හඳුන්වනු ලැබේ. ස්ටාලින් යනු ලෙනින්ගෙන් පසු සෝවියට් දේශය පාලනය බාර ගත් පුද්ගලයා ය.

අලූතින් කෙරුණු මාධ්‍ය හෙළිදරව්ව අනුව පෙනී ගියේ ජෝසප් ස්ටාලින් විසින් මාවෝ සේතුං පිළිබඳ සැකයකින් පසු වී ඇති අතර ඔහු පිළිබඳ තොරතුරු සෙවීම සඳහා අපූරු ක‍්‍රමවේදයක් යොදා ගෙන ඇති බවයි. ස්ටාලින් සිදු කර ඇත්තේ සිය රහස් ඔත්තු සේවාවන් යොදා ගෙන මාවෝගේ අශූචි පරීක්ෂා කිරීමයි. වැසිකිළිවලින් මාවෝගේ අශූචි රහසේ ලබා ගෙන ඒවා රුසියානු විද්‍යාඥයන් මගින් පරීක්ෂා කරවීම මෙම වැඩපිළිවෙළ යටතේ සිදු විය.

මෙයින් ප‍්‍රත්‍යක්ෂ වන එක් කරුණක් ඇත. එනම් ලෝක සමාජවාදය බිහි කිරීමේ ව්‍යාපෘතිය එතරම් පහසු කාර්යයක් නොවන බවය. මිනිසුන් අතර සැකය, අවිශ්වාසය, තරගය වැනි තත්ත්වයන් අභිමුව සමාජවාදය විසින් අභිපේ‍්‍රරිත පරමාර්ථ එකින් එක බිඳ වැටෙන බවට එක්තරා පිළිබිඹුවක් ලෙස මෙම සිද්ධිය ගැනීමට මම කමැත්තෙමි. එනයින් ලෝක කොමියුනිස්ට් සමාජයක් හෙවත් උත්තර සමාජයක් බිහි කර ගැනීම සඳහා අප විසින් මෙතෙක් අතහදා බලා ඇති සමාජවාදය යෝග්‍ය වන්නක්දැයි සැක සහිතය.

ලෝක කොමියුනිස්ට් තත්ත්වයක් හෙවත් උත්තර වූ සමාජයක් (රාම රාජ්‍යයක්) පිළිබඳ සංකල්පය ලෝකය තුළ දීර්ඝ කාලයක් මුළුල්ලේ සාකච්ඡුාවට බඳුන් වන්නකි. එහෙත්, ලෝක කොමියුනිස්ට් සංකල්පය (World communism) එදා මෙදා තුර සංකල්පයක් ලෙස පැවතියක් මිස මෙතෙක් සාර්ථක නොවූවකි. ලෝක කොමියුනිස්ට්වාදය, අන්තර්ජාතික කොමියුනිස්ට්වාදය හෝ ගෝලීය කොමියුනිස්ට්වාදය වශයෙන් එකම වූ සංකල්පයක් හැඳින්වෙයි. මෙයින් අදහස් කෙරෙන්නේ සමස්ත ලෝකයම කොමියුනිස්ට්වාදය නතු කර ගැනීමයි. ලෝක කොමියුනිස්ට් තත්ත්වය පහළ වූ පසු රාජ්‍ය පිළිබඳ සංකල්පය අහිමි වී යන බව කොමියුනිස්ට්වාදීහු විශ්වාස කරති. එනම් ලෝක කොමියුනිස්ට් තත්ත්වය නිර්මාණය වූ කිසිදු රාජ්‍යයක් සඳහා ඉඩ නොමැත.

ලෝක කොමියුනිස්ට් තත්ත්වය නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අවස්ථා ගණනාවක දී උත්සාහයන් ගැණින. ඒවා පළමු ජාත්‍යන්තරය, දෙවැනි ජාත්‍යන්තරය, සිව්වැනි ජාත්‍යන්තරය වශයෙන් හඳුන්වනු ලැබේ. පළමු වැනි ජාත්‍යන්තරය කියාත්මක වූයේ 1864 – 1876 කාල පරාසයේ දී ය. මෙහි දී අපේක්ෂා කෙරුණේ විවිධ වූ වාමාංශික පදනමකින්යුක්ත වූත් පන්ති අරගලයේ නිරත වන්නාවූත් කණ්ඩායම් ඒකරාශි කිරීමයි. ලංඩනයේ ශාන්ත මාර්ටින් ශාලාවේ දී පළමු ජාත්‍යන්තරය 1864 වසරේ දී කම්කරුවන් පිරිසක් ඇසුරින් නිර්මාණය විය. එහි පළමු කොංගසය පැවතුණේ 1866 වසරේ දී ජිනීවා නුවර දී යි.

පළමු ජාත්‍යන්තරයේ දී කාල් මාක්ස් ද මහා මණ්ඩලයේ සාමාජිකයන් තිස් දෙදෙනා අතරට පත් කර ගැණින. පොදු කොංග‍්‍රසයක නායකත්වය යටතේ කලාපීය වශයෙන් පැතිරුණු ව්‍යාපාරයක් ලෙස අන්තර් ජාතික වැඩකරන ජනතාවගේ සංගමය පවත්වා ගෙන යෑමට මෙහි දී සැලසුම් කෙරිණ. පළමු ජාත්‍යන්තරය තුළට සමාජවාදය සම්බන්ධයෙන් විවිධ වූ මත දක්වන්නෝ එක් ව සිටියහ. මාක්ස්වාදය, පියරේ යූසුෆ් පෲදෝන් විසින් ඉදිරිපත් කරන ලද පෲදෝන්වාදය, ඔගස්ටේ බ්ලැන්කි විසින් ඉදිරිපත් කරන ලද බ්ලැන්කිවාදය, මිකායිල් බකුනින්ගේ අරාජිකවාදය වැනි මත පළමු ජාත්‍යන්තරයේ දී නියෝජනය විය. පෲදෝන්වාදයේ මූලික අදහස වූයේ ධනවාදය ප‍්‍රතිසංස්කරණය කිරීමයි. එය සුළු ධනේෂ්වර සමාජවාදයක් වශයෙන් හැඳින්වීමට පුළුවන. එබැවින්, ධනවාදයේ පාදම්වලට කිසිදු අභියෝගයක් නොකර ඒවා ඒ ආකාරයෙන් පැවතීමට ඉඩ හැර ප‍්‍රතිසංස්කරණ පමණක් සිදු කිරීමට පී.ජේ. පෲදෝන් යෝජනා කළේය.

මහා පරිමාණ වශයෙන් පවතින ධනේෂ්වර දේපොළ ක‍්‍රමය පෲදෝන්වාදයේ දී සැලකුණේ කොල්ලකෑමක් ලෙසිනි. තවත් අයෙකුගේ ශ‍්‍රමය සූරා නොකන ආකාරයේ පෞද්ගලික දේපොළ ක‍්‍රමයක් පිළිබඳ අදහස පෲදෝන්වාදීහු දැරූහ. පෲදෝන්වාදයේ මූලික සංකල්පයක් වූයේ බුර්ෂ්වා සමාජය තුළ අසමාන වූ පණ්‍ය හුවමාරුවක් සිදු වන බවයි.

පොළී රහිත ණය ක‍්‍රම, භාණ්ඩ හුවමාරුවේ සිදු වන අසාධාරණය ආර්ථික වශයෙන් පියැවීම, මුදල් නොමැති භාණ්ඩ හුවමාරුව ආදී ක‍්‍රම මඟින් පන්ති සූරාකෑම වැළැක්විය හැකි බවට පෲදෝන්වාදීහු විශ්වාස කළහ. සියලූ වැඩ කරන ජනතාව ස්වාධීන නිෂ්පාදකයන් බවට පත් කළ යුතු බව පී. ජේ. පෲදෝන් විශ්වාස කළේය. නිර්ධන පාන්තිකයන් සහ බුර්ෂ්වා පන්තිය අතර ඇති කර ගැනෙන අන්‍යෝන්‍ය අවබෝධය තුළින් සාමකාමී ලෙස සමාජ විප්ලවය සිදු කළ හැකියැයි පෲදෝන්වාදයේ දී ඉගැන්වේ.

ලූවී ඔගස්ටේ බ්ලැන්කි විසින් ඉදිරිපත් කරන ලද බ්ලැන්කිවාදය තුළින් ඉදිරිපත් කරන ලද්දේ රහසිගත සහ සංවිධිත කුඩා කණ්ඩායම් මඟින් විප්ලවය සිදු කළ හැකි බවයි. පූච්වාදය (Putschism) පිළිබඳ බ්ලැන්කිවාදීන්ගේ අදහසක් විය. පූච්වාදය යනු රහසිගත කුමන්ත‍්‍රණ මඟින් දේශපාලනය බලය අල්ලා ගැනීමයි. මාක්ස් මෙන් නොව බ්ලැන්කි නිර්ධන පාංතික ආඥාදායකත්වයක් පිළිබඳ විශ්වාසයක් නොතැබීය. එසේම, ජනප‍්‍රිය දේශපාලනික ව්‍යාපාර සම්බන්ධයෙන් ද ඔහුගේ විශ්වාසයක් නොබිතිණ. ඒ වෙනුවට කැපවීමෙන් යුතු කුඩා විප්ලවවාදී කණ්ඩායම් මඟින් විප්ලවය සිදු විය යුතු යැයි හෙතෙම තරයේ විශ්වාස කළේය. තාවකාලික වශයෙන් ඒකාධිපති පාලනයක් ඇති කළ යුතු බව ද බ්ලැන්කිවාදීහු ඇදවූහ.

මිහායිල් බකුනින් විසින් ඉදිරිපත් කරනු ලැබූ අරාජිකවාදය සමාජවාදය සඳහා වූ එක් පැතිකඩක් විවර කළේය. ඔහු විසින් සමාජ අරාජිකවාදය බිහි කිරීම සඳහා පූරෝගාමී සේවාවක් ඉටු කළේය. රාජ්‍යයක් නොමැති සමාජවාදයක් පිළිබඳ අදහස බකුනින් ඉදිරිපත් කළ අතර අන්‍යෝන්‍ය සහයෝගය මත පුද්ගල නිදහස තීරණය වන බවට සමාජ අරාජිකවාදීහු තර්ක කළහ. ආන්තික පුද්ගලවාදයත් මධ්‍යගත ආණ්ඩු ක‍්‍රමයත් බකුනින් ප‍්‍රතික්ෂේප කළ අතර අදේවවාදී සංකල්පයක් ඉදිරිපත් කළේය.

දෙවැනි ජාත්‍යන්තරයට අයත් කාල වකවානුව වන්නේ 1889 සිය 1916 කාල පරාසයයි. පැරීසිය කේන්ද්‍ර කර ගනිමින් ඇති වූ සමාජවාදී සහ කම්කරු එකමුතුවක් වශයෙන් මෙය පෙන්වා දීමට හැකිය. රටවල් 20කින් පමණ දෙවැනි ජාත්‍යන්තරයට නියෝජිතයෝ සහභාගී වූහ. මැයි පළමු වැනිදා ලෝක කම්කරු දිනය දෙවැනි ජාත්‍යන්තරයේ ප‍්‍රතිඵලයකි. එසේම මාර්තු 08 වැනිදා අන්තර්ජාතික කාන්තා දිනය ප‍්‍රකාශයට පත් කිරීම පිටුපස ඇත්තේ ද දෙවැනි ජාත්‍යන්තරයේ ක‍්‍රියාකාරීත්වයයි. පැය 08හි සේමා මුරය සඳහා වූ ව්‍යාපාරය ඇරඹෙන්නේ ද දෙවැනි ජාත්‍යන්තරය ඔස්සේය. පළමු ලෝක යුද්ධය සමයේ දී දෙවැනි ජාත්‍යන්තරය විසුරුවා හැරිණ.

තෙවැනි ජාත්‍යන්තරය හෙවත් කොමියුනිස්ට් ජාත්‍යන්තරය ක‍්‍රියාත්මක වන්නේ 1919 -1943 කාල වකවානුව පාදක කර ගනිමිනි. ලෝක කොමියුනිස්ට්වාදය පිළිබඳ අදහස මෙහිදී ඉස්මතු විය. අන්තර් ජාතික බුර්ෂ්වා පන්තිය බිඳ දැමීම සඳහා ගත හැකි සෑම ක‍්‍රියාමාර්ගයක් ම ගැනීම කෙරෙහි අවධානය යොමු කෙරිණ. සෑම ක‍්‍රියාමාර්ගයක් ම යන්නෙන් හමුදා බලය යෙදවීම ද අදහස් විය. ඒ ඔස්සේ සෝවියට් ජනරජයක් පිහිටුවීමටත් ඉන් අනතුරුව රාජ්‍ය කටුකා දැමීම දක්වා වන පරිවර්තනය සිදු කිරීමත් අපේක්ෂාව විය. ස්විට්සර්ලන්තයේ සිමර්වෝල්ඞ් සම්මන්ත‍්‍රණයෙන් පසු තෙවැනි ජාත්‍යන්තරය සඳහා මග පෑදීමක් සිදු විය. මෙම සම්මන්ත‍්‍රණය සංවිධාන කරන ලද්දේ හමුදා විරෝධී සමාජවාදී පක්ෂ කිහිපයක එකතුවෙනි. මෙම සියලූ පක්ෂ පළමු ලෝක යුද සමයේ ක‍්‍රියාත්මක වූ හමුදා වැඩපිළිවෙළට එරෙහි වූහ. තෙවැනි ජාත්‍යන්තරය යටතේ 1919 සිට 1935 කාල පරාසයේ දී සමාජවාදී ලෝක කොංග‍්‍රස 7ක් වරින් වර පැවැත්වී තිබේ. තෙවැනි ජාත්‍යන්තර ස්ටාලින් විසින් නිල වශයෙන් 1943 වසරේ දී විසුරුවා හැරිණ.

සිව්වැනි ජාත්‍යන්තරය සඳහා නායකත්වය ලැබෙන්නේ ලියෝන් ට්‍රොට්ස්කිගේ අනුගාමිකයන් මගිනි. මෙම ට්‍රොට්ස්කිවාදීන්ගේ අදහස වූයේ ද ජාත්‍යන්තර කොමියුනිස්ට්වාදය පිහිටුවීමයි. සිව්වැනි ජාත්‍යන්තරය ප‍්‍රංශයේ දී 1939 වසරේ දී පිහිටුවනු ලැබිණ. ට්‍රොට්ස්කි සහ ඔහුගේ අනුගාමිකයෝ ස්ටාලින් විසින් රුසියාවෙන් පන්නා දමනු ලැබූහ. ට්‍රොට්ස්කිවාදීන්ගේ අදහස වූයේ තුන්වැනි ජාත්‍යන්තරය ස්ටාලින් අත විනාශ වූ බවයි. සෝවියට් රහස් පොලිස් කණ්ඩායම් මගින් සිව්වැනි ජාත්‍යන්තරය බිඳ හෙළීම සඳහා බොහෝ කුමන්ත‍්‍රණ සිදු කෙරිණ. ට්‍රොට්ස්කිවාදයට එරෙහිව ධනවාදී කඳවුරේ ද, ස්ටාලින්ගේ ද මාවෝවාදීන්ගේ ද අරාජිකවාදීන්ගේ ද සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ ද විරෝධය එල්ල විය.

මෙනයින් ලෝක සමාජවාදය යන්න ඉතා සංකීර්ණ ප‍්‍රපංචයක් බවට පත් විය. ස්ටාලින් විසින් ලෝක සමාජවාදය වෙනුවට තනි රටේ සමාජවාදයක් (socialism in one country) ඉදිරිපත් කෙරිණ. ඒ අනුව සෝවියට් සමුහාණ්ඩුව තුළ පමණක් සමාජවාදයක් නිර්මාණය කළ හැකි වෙතැයි ස්ටාලින්වාදීහු විශ්වාස කළහ. ජෝසප් ස්ටාලින් සිය ඒකාධිපතිත්වය සෝවියට් සමූහාණ්ඩුව තුළ ව්‍යාප්ත කරන්නට විය.
ස්ටාලින්ගේ ඒකාධිපත්තිවය ට්‍රොට්ස්කිවාදීන්ගේ විවේචනයට බඳුන් විය. ඔවුන් සඳහන් කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් තොර වූ සමාජවාදයකින් ඵලක් නොවන බවයි. සෝවියට් සමූහාණ්ඩුව යනු තවදුරටත් සමාජවාදී කම්කරු රාජ්‍යයක් නොව පරිහානියට පත් වූ කම්කරුවන්ගේ රාජ්‍යයක් බවයි.

මෙනයින් සමාජවාදය වූකලි එහි තිඹිරිගෙයි සිට ම විවිධ වූ බෙදීම් සහිත ක‍්‍රියාත්මක වන්නක් බව පෙනී යයි. එනයින් ලෝක සමාජවාදය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සැබැවින් ම අභියෝගයට ලක් වන්නකි. අප ඉහත කී සිද්ධියේ දී මා ඕ සේතුං සහ ස්ටාලින් අතර තිබූ සැකය තුළින් මූර්තිමත් වන්නේ ලෝක සමාජවාදය බිහි කිරීම කොයිතරම් දුෂ්කර වූ කාර්යයක් ද යන්නයි.

විප්ලවය වෙනුවෙන් උදාර අරමුණු ඇති ව සිය දහස් ලක්ෂ ගණනින් මිනිසුන් ජීවිත පූජා කළ ද ඔවුන්ගේ දෙවැනි පරපුරු වෙතින් විප්ලවයේ මූලිකාර්ථ වෙනුවට නැවතත් අතිශයින්ම ආත්මාර්ථකාමී වූ ඒකාධිපති වූ තත්ත්වයන් නිර්මාණය වන අවස්ථා ඉතිහාසය ඇසුරින් පෙනී ගොස් තිබේ. ස්ටාලින් පිළිබඳ කථාව ඉතා හොඳ නිදර්ශනයකි.

ව්ලැද්මීර් ලෙනින්ගෙන් පසු පාලන බලයට පැමිණි ජෝසෆ් ස්ටාලින් දශක දෙකක කාලයක් දැඩි ඒකාධිපති ස්වරූපයකින් සෝවියට් දේශය පාලනය කළේය. ස්ටාලින් යනු කුඩා කළ දුර්වල ශරීරයකට හිමිකම් කී සමාජයේ විවිධ ගැරහීම්වලට ලක් වූ දුක්ඛිත ජීවිතයක් ගත කළ අයෙකි. විචාරකයන්ගේ අදහස නම් තමන්ට අහිමි වූ ගෞරවය සහ අධිපතිත්වය ලබා ගැනීමේ නොනිත් ආශාවක් ස්ටාලින් තුළ තිබූ බවයි. ස්ටාලින් යනු ට්‍රොට්ස්කි මෙන් බුද්ධිමතෙකු නොවේ. ලෙනින් මෙන් චතුර කථිකයෙකු ද නොවේ. ස්ටාලින් බොහෝ විට කළේ රැුස්වීම්, වැඩ වර්ජන ආදිය සංවිධාන කිරීමත්, අත්පත‍්‍රිකා ආදිය මුද්‍රණය කිරීමත්ය.

ස්ටාලින් විසින් ඉදිරිපත් කරන ලද තනි රටේ සමාජවාදය පිළිබඳ අදහස (Socialism in One Country) සෝවියට් දේශයේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය බවට පත් විය. 1917-1921 කාල පරාසයේ දී යුරෝපයේ බොහෝ රටවල සමාජවාදය සම්බන්ධයෙන් ඇති වූ අරගල අසාර්ථක වීම මතුයෙහි සෝවියට් දේශය තුළ අභ්‍යන්තරික වශයෙන් සමාජවාදය නැංවිය යුතු බව ස්ටාලින්ගේ අදහස විය. ජාතිකවාදී කොමියුනිස්ට්වාදයක් කෙරෙහි එසේ සෝවියට් දේශය තල්ලූ වී ගියේය. එය මාක්ස්වාදී විග‍්‍රහය වූ ලෝක සමාජවාදයක් බිහිකිරීමට විරුද්ධ වූවකි. එසේම ලියෝන් ට්‍රොට්ස්කිගේ අනවරත විප්ලවය ( permanent revolution) යන සංකල්පයට ද එය විරුද්ධ වූවකි.

ස්ටාලින් ඉතා සියුම් ලෙසින් බලය ඩැහැ ගැනීමට සමත් විය. ලෙනින් අසනීප වී මිය ගියේය. ලෙනින් මිය යෑමට හේතුව පිළිබඳ තවමත් පැහැදිලි නැත. ඇතැම් දෙනෙක් ලෙනින් මරණයට හේතුව ස්ටාලින් විසින් වස දෙනු ලැබීම යැයි විශ්වාස කරති. මෙම අදහස ප‍්‍රධාන වශයෙන් දරන්නෙකි ඉතිහාසඥ ලෙෆ් ලූරී (Lev Lurie). ට්‍රොට්ස්කි ඝාතනය කරන ලද්දේ ද ස්ටාලින් විසින් එවනු ලැබූ රහසිගත මිනීමරුවෙකු විසිනි. ස්ටාලින් විසින් තම විරුද්ධවාදීන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව එක රැයින් දඩුවම් කරන තත්ත්වයක් ඇති විය. ඔවුන් මහජනතාවගේ සතුරන් ලෙස ලේබල් කරමින් මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කෙරිණ.

මා ඕ සේතුං විසින් නිර්මාණය කරන ලද මහජන චීනයේ ද ඔහුගෙන් පසු පරම්පරාවන් විසින් සිදු කරන ලද්දේ මූලික පරමාර්ථවලට විරුද්ධ වූ දේය. අද වන විට චීන කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන පෙළේ තනතුරු හොබවන්නන් බොහෝ දෙනෙකු පෞද්ගලික ව්‍යාපාරවලට සම්බන්ධය. උදාහරණයක් ලෙස 2014 වසරේ අන්තර් ජාතික ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ සම්මේලනය විසින් කරන ලද හෙළිදරව්වකට අනුව පෙනී ගියේ චීනයේ ප‍්‍රධාන පෙළේ දේශපාලන සහ හමුදා බලධාරීන් දුසිමකට වඩා බි‍්‍රතාන්‍ය වර්ජින් දූපත්හි විවිධ ආකාරයේ දූෂිත ව්‍යාපාරවල නිරත වී සිටින බවයි.

අවසන් වශයෙන්, මෙහිදී පෙනී යන කරුණක් ඇතැයි සිතේ. එය යම් විවාදාපන්න අදහසකි. එනම්, ධනේෂ්වරවාදය ද සමාජවාදය ද සම්බන්ධයෙන් වූ ව්‍යාපෘති යුග්මය ම ඉතිහාසයේ අසාර්ථක වූ ව්‍යාපෘති බවට පත් වී හමාර බවයි. එබැවින් ලෝකය පාලනය කිරීම සඳහා මේ දෙකටම වඩා වෙනස් වූ අර්ථක‍්‍රමයක් අවශ්‍ය බව අපගේ හැගීමයි. එවැනි අර්ථ ක‍්‍රමයක් පිළිබඳ සාකච්ඡුාව අප වෙනම ම කළ යුත්තකි.

දර්ශන අශෝක කුමාර

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *