කෘෂිකර්මාන්තයේ හෙට දවස!

kisan2_oරටක් දියුණු කිරීමේ දී කර්මාන්ත සහ සේවා අංශ කෙරෙහි වැඩි උනන්දුවක් දැක් විය යුතු බවත් කෘෂිකර්මාන්තය වැනි අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකළ යුතු බවටත් ඇතැම් පුද්ගලයන් තුළ අදහසක් වෙයි. මෙවැනි අදහස් දරන උගතුන් මෙන්ම දේශපාලන නායකයන් ද සිටින බව පෙනී යයි. ඔවුන්ගේ අදහස වන්නේ කෘෂිකර්මාන්තය බොහෝ විට පාඩු ලබන අංශ බවත් සහනාධාර ආදිය දීම නිසා රාජ්‍ය භාණ්ඩාගාරයන්ට පාඩු වන්නක් බවත්ය.

නමුත් කෘෂිකර්මාන්තය යනු කිසිලෙසකවත් නොසලකා හැරිය නොහැක්කක් බව සංවර්ධිත ලෝකය දෙස ම බැලීමේ දී පෙනී යයි. සංවර්ධිත ලෝකයේ බොහෝ රටවල් වසරක ඩොලර් බිලියන ගණනක මුදලක් කෘෂිකර්මාන්තය සඳහා සහනාධාර වශයෙන් ලබා දෙයි. මෙවැනි සහනාධාර ලබාදීඹක් සිදු කරන්නේ අරමුණ රාශියක් ඇතිවයි.

ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය යනු දීර්ඝ කාලයක් මුළුල්ලේ කෘෂිකර්මාන්තය සඳහා සහනාධාර සපයන රටවල් සහ සංවිධානය. 2008 වසරේ දී ඇති වූ ලෝක ආර්ථික අර්බුදය අවස්ථාවේ දී ඇමරිකා එක්සත් ජනපදයත් යුරෝපා සංගමයත් යම් ආකාරයකින් සිය කෘෂි සහනාධාර වැඩපිළිවෙළ අවම තත්ත්වයකට ගෙන ඇතැයි විශ්ලේෂකයන් බොහෝ දෙනෙක් අපේක්ෂා කළත් එය එසේ සිදු වූයේ නැත. ඔවුන් කළේ සහනාධාර වැඩපිළිවෙළ වෙනත් ආකාරයකින් ක‍්‍රියාත්මක කිරීමයි. ඇමරිකා එක්සත් ජනපදය 2000 දශකයේ මුල් භාගය වන විට කෘෂිකර්මාන්තය වෙනුවෙන් ලබාදුන් සහනාධාර ප‍්‍රමාණය දියුණු වෙමින් පැවති ලෝකයට ලබා දීමට නොහැකි විය.

එබැවින් දියුණුවෙමින් පැවති ලෝකයේ රටවල් ලෙස සැලකිය හැකි බ‍්‍රසීලය, ඉන්දියාව, චීනය වැනි රාජ්‍යයන් 2001 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයත් යුරෝපා සංගමයත් ගොවීන් වෙනුවෙන් ලබා දෙන සහනාධාර සම්බන්ධයෙන් දෝහා නුවර දී පැවති ලෝක වෙළෙඳ සංවිධානයේ සැසිවාරයේ දී විරෝධය දැක්වීය. ඔවුන්ගේ අදහස වූයේ දියුණු ලෝකය විසින් ඉතා විශාල වශයෙන් සහනාධාර ලබා දීම නිසා ලෝක වෙළෙඳපොළ කෘෂිනිෂ්පාදන කෘතිම ආකාරයකින් මිළ පහළ යැවීමකට ලක් කොට ඇති බවයි.
මේ තුළින් දියුණු වන ලෝකයේ රටවල් දැඩි අසාධාරණයක් සිදු වන බව ඔවුන් පෙන්වා දුන් අතර තමන්ගේ නිෂ්පාදනවල විදේශීය මෙන්ම දේශීය වෙළෙඳපොළවලද තරගකිරීමට නොහැකි බව පෙන්වාදුන්හ. මේ තුළින් දැඩි ප‍්‍රහාරයට ලක් වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් වන බව ඔවුන්ගේ අදහස විය.

එහෙත් අද වන විට තත්ත්වය බොහෝ දුරට වෙනස් වී තිබේ. අප පෙර කී දියුණු වෙමින් පවතින ලෝකයේ රටවල් ද ගොවීන් වෙනුවෙන් ලබා දෙන සහනාධාර ප‍්‍රමාණය ඉහළ නංවා තිබේ. බ‍්‍රසීලය, ඉන්දියාව, ඉන්දුනීසියාව, චීනය වැනි රටවල් තමන්ගේ ගොවීන්ට ලබා දෙන සහනාධාර ප‍්‍රමාණය 2001 වසරේ සිට ගත වූ දශක එකහමාරක පමණ කාලය තුළ දී ශීඝ‍්‍ර වශයෙන් වර්ධනය කර තිබේ. 2012 වසර වන විට චීනයේ කෘෂි සහනාධාර ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 160ක් ඉක්මවා තිබිණ. මෙම ප‍්‍රමාණය ඇමරිකා එක්සත් ජනපදයත් යුරෝපා සංගමයත් සහමුළින් පරදවන්නකි. ඇමරිකා එක්සත් ජනපදය 2012 වසර වන විට ලබා දුන් සහනාධාර ප‍්‍රමාණය වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 19කි. යුරෝපා සංගමය ලබා දුන් කෘෂි සහනාධාර ප‍්‍රමාණයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 67කි. යුරෝපා සංගමයට රටවල් 28ක් පමණ අයත් වේ. මේ රටවල් 28ටම වඩා වැඩි සහනාධාර ප‍්‍රමාණයක් චීනය විසින් සිය ගොවීන් වෙත සපයනු ලබයි.

ඉන්දියාව විසින් ද ලබා දෙන සහනාධාර ප‍්‍රමාණය ඉහළ නංවා ඇති අතර තිරිගු පිිටි සඳහා ලබා දෙන සහනාධාරය සියයට 72කින් ද සහල් සඳහා ලබා දෙන සහනාධාරය සියයට 75කින් ද 2006 -2011 කාල සීමාවේ දී ඉහළ නංවා තිබේ.

කෘෂිකර්මාන්තය සඳහා සහනාධාර ලබා දීමේ වැදගත්කම් රාශියක් වේ. ඉන් ලැබෙන ප‍්‍රධානතම දායකත්වය නම් කෘෂිකර්මාන්තයට සම්බන්ධ ශක්තිමත් මධ්‍යම පන්තියක් නිර්මාණය කර ගැනීමට ලැබෙන අවස්ථාවයි. මෙය රටක ආර්ථික ස්ථාවරත්වය සඳහා ඉතා වැදගත් වන්නකි. දෙවැන්න නම් රටක ආහාර සුරක්ෂිතතාව සුරැුකීමයි. කුසගින්නේ වෙසෙන ජනතාව සංඛ්‍යාත්මක වශයෙන් පහත හෙළීමට හැකි වීම සහනාධාර සඳහා දරන්නට වන පිරිවැයට වඩා වැඩි සමාජ ආර්ථික ලාබයක් අත් කර දෙන්නකි.

සහනාධාර ලබා දීමෙන් පසු කෘෂිකර්මාන්තය තුළ අතිරික්ත නිෂ්පාදනයක් ඇති වන්නේ නම් එම අතිරික්ත නිෂ්පාදනය විදේශයන්ට අපනයනය කිරීමේ හැකියාව උදාවෙයි.

මෙනයින් කෘෂිකර්මාන්තය සඳහා සහනාධාර සැපයීම යනු අංශ ගණනාවකින් රටකට වැදගත් වන්නකි. ආර්ථික දියුණුව වශයෙන් හුදෙක් කර්මාන්ත සංවර්ධනය හෝ සේවා සංවර්ධනය ගැන පමණක් සිතීම මිත්‍යාවකි. කෘෂිකර්මාන්තය සඳහා සහනාධාර ලබා දීම යන්නෙන් රසායනික කෘෂිකර්මාන්තය දිරි ගැන්වීම අදහස් නොකෙරේ. රසායනික කෘෂිකර්මාන්තයෙන් ඉවත් වීම සඳහා ලෝකය පුරා, විශේෂයෙන් බටහිර රටවල පුළුල් ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක වේ. රසානික කෘෂිකර්මාන්තය වෙනුවට විවිධ නවෝත්පාදන බිහි කර ගැනීමට බොහෝ බටහිර රටවල් සමත් වී තිබේ. යුරෝපාකරයේ රසායනික නොවන කෘෂි නිෂ්පාදන සඳහා ඇත්තේ ඉහළ ඉල්ලූමකි.
බටහිර ලෝකයට අමතර ව කියුබාව වැනි රටවල් ද රසායනික නොවන කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් බොහෝ අලූත් සොයා ගැනීම් කර තිබේ. කියුබාව නාගරික කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා විශේෂිත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළ රටකි.

දර්ශන අශෝක කුමාර

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *