කියුබාව දණ නමයි ද?

cuba

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරැක් ඔබාමා පසුගිය දා කියුබාවේ සංචාරයක නිරත විය. මෙය සෑම අතකින් ම පාහේ ඓතිහාසික සිද්ධියක් වූයේ කියුබානු විප්ලවයෙන් පසු ඇමරිකානු ජනාධිපතිවරයෙකු කියුබාවේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය වන බැවිනි. 1959 වසරේ දී කියුබානු විප්ලවය සිදු වීමේ සිට කියුබාව නමැති කුඩා රාජ්‍යය ඇමරිකා එක්සත් ජනපදයට හිසරදයක් විය. මේ හේතුවෙන් කියුබාව බිඳ දැමීම සඳහා ඇමරිකාව නොකළ දෙයක් නැත. 1959 විප්ලවයෙන් පසු 1961 වසර දක්වා යම් ආකාරයෙන් දෙරට අතර රාජ්‍ය තාන්ති‍්‍රක සම්බන්ධතා පැවතිය ද 1961 වසරෙන් පසු සම්පූර්ණයෙන් තානාපති සේවා ඉවත් කර ගැණින. කියුබාවේ තිබෙන සිය තානාපති කාර්යාලය ඉවත් කර ගැනීමට මුළින් ම කටයුතු කළේ ඇමරිකා එක්සත් ජනපදයයි.

රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා බිඳ වැටීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය කළේ ඉතා කූට සහ රහසිගත උපක‍්‍රම මඟින් කියුබානු ආණ්ඩුව පෙරළීම සඳහා කුමන්ත‍්‍රණ සිදු කිරීමයි. දෙරට අතර බෙදීමට මූලික හේතුව වූයේ ඇමරිකා එක්සත් ජනපදය ධනවාදයේ කේන්ද්‍රස්ථානයක් වශයෙන් පවතිද්දී කියුබාව ඊට පරස්පර වූ දෘෂ්ටිවාදී අන්තයක් ගනිමින් පරිපූර්ණ සමාජවාදී රාජ්‍යයක් ලෙස කි‍්‍රයාත්මක වීමයි. නව සමාජවාදී රජය කියුබාව තුළ පුළුල් ජනසතුකරණ වැඩපිළිවෙළක් එවක කි‍්‍රයාත්මක කළේය. මෙහිදී ඇමරිකාව සතුව කියුබාවේ තිබූ සමාගම් ගණනාවක් ජනසතු කෙරිණ. මීට පළිගැනීමක් වශයෙන් ඇමරිකානු රජය කළේ කියුබාවට එරෙහිව දැවැන්ත සම්බාධක මාලාවක් පැනවීමයි. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් කියුබාව කළේ 1961 වසරේ සිට එවක සෝවියට් සමූහාණ්ඩුවත් සමඟ සිය රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා තර ගැනීමයි.

මේ අනුව කියුබාවේ ආර්ථිකය අතිවිශාල වශයෙන් සෝවියට් වෙළෙඳපොළ මත රැඳී පවතින්නට විය. සීතල යුද්ධය සමයේ දී සෝවියට් සමූහාණ්ඩුවට සිටි අංක එකේ ආධාරකරුවෙකු බවට කියුබාව පත් විය. 1972 වසරේ දී Comecon නමින් ආර්ථික සහයෝගිතාවක් සමාජවාදී රටවල් අතර ඇති කර ගැණුනු අතර කියුබාව ද එහි සාමාජිකයත්වය ගත්තේය. 1991 වසරේ දී සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙනතුරු කියුබාව සහ සෝවියට් දේශය අතර ඉතා සමීප වූ ද ඉතා පුළුල් වූ ද සම්බන්ධතාවක් පැවතිණ. 1959 වසරේ දී කියුබානු විප්ලවය කරන විට පිදෙල් කැස්ත්‍රෝ සම්බන්ධයෙන් සෝවියට් දේශය තුළ ප‍්‍රමාණවත් අවබෝධයක් නොතිබිණ. කැස්ත්‍රෝ යනු තවත් කුඩා රාජ්‍යයක විප්ලවයක් කරන විප්ලවීය නායකයෙක් පමණක් විය. සෝවියට් රහස් ඔත්තු සේවය වන කේ.ජී.බී. ය මුළින් ම සැක කළේ පිදෙල් කැස්ත්‍රෝ යනු ඇමරිකානු ඒජන්තයෙකු ලෙසයි. කෙසේ නමුත් සෝවියට පාලනාධිකාරිය ආර්ථික වශයෙන් කියුබාවට ආධාර සැපයීමටත් හමුදා ආධාර නොසැපයීමටත් මුලින් තීරණය කළේය.

ඇමරිකානු සම්බාධක දැඩි වීමත් සමඟින් කියුබාව විසින් සෝවියට් දේශයෙන් වැඩිදුරටත් සහයෝගය ඉල්ලා සිටින ලද අතර සෝවියට් දේශයෙන් ඉන්ධන ලබා දීමටත් ඒ වෙනුවට සෝවියට් දේශයෙන් සීනි ලබා ගැනීමටත් තාවකාලික ගිවිසුමක් ඇති කර ගැණින. කෙසේ වෙතත් 1961 වසරේ දී ඌරු බොක්කේ ආක‍්‍රමණයෙන් (Bay of Pigs Invasion) සෝවියට් දේශය කියුබාව සමඟ රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධතා සමීප ආකාරයෙන් සිදු කිරීමට පෙළඹිණ. මෙම ආක්‍රමණය සිදු කරන ලද්දේ ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානයේ සහයෝගය ලැබූ අතුරු හමුදාවක් මඟිනි. එය හඳුන්වනු ලද්දේ බි‍්‍රගේඞ් 2506 ලෙසිනි. ආක‍්‍රමණික හමුදාව පරාජය කිරීමට කියුබාවට හැකි විය. කියුබානු විප්ලවය 1959 වසරේ දී සිදු වුව ද කියුබානු සෝවියට් රාජ්‍යතාන්ති‍්‍රක සම්බන්ධතා තහවුරු වන්නට වුයේ 1961 වසරෙන් පසුව ය.

පසුකාලයක දී කියුබාව සිය අභ්‍යන්තර නිෂ්පාදන ධාරිතාව වර්ධනය කර ගත් අතර සෝවියට් දේශය මත වුවද රැඳී පැවැත්ම කෙරෙහි එතරම් උනන්දුවක් නොදැක්වීය. 1980 දශකයේ දී කියුබාව සහ සෝවියට් දේශය අතර වෙළදාම ඇමරිකානු ඩොලර් බිලියන 8.5ක් පමණ වූ අතර 1990 වන විට එය ඇමරිකානු ඩොලර් බිලියන 4.5කට පමණ අඩු විය. එහෙත් රාජ්‍යයන් දෙක අතර මිත‍්‍ර සම්බන්ධතාව වර්ධනීය මට්ටමකින් පැවතියේ ඇමරිකාවට රිදවීමට හැකි හොඳම ආකාරය කියුබාව උපකාර කිරීම ලෙස සෝවියට් සමූහාණ්ඩුව තීරණය කළ බැවිනි.

ඇමරිකාවට රිදවීම සඳහා සෝවියට් දේශය කියුබාව භාවිත කළ අවස්ථාවකට ඉතා හොඳ නිදසුනක් වන්නේ 1962 වසරේ දී යුධ නැව් 60කට වැඩි සංඛ්‍යාවක් කියුබාවට යැවීමයි. මෙය සිදු කළේ ඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ නේටෝ සංවිධානය විසින් සිය සාමාජිකයෙකු වූ තුර්කිය ආසන්නයේ න්‍යෂ්ටික මිසයිල පද්ධතියක් රැඳවීමට ප‍්‍රතිචාර වශයෙනි.
සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසු කියුබාව තනි විය. මෙම බිඳවැටීම ආර්ථික අර්බුදයක් කරා වර්ධනය වුව ද කියුබානු සමාජය මුළුමනින් බිඳ වැට්ටවීමට නොහැකි වූයේ ඔවුන් ඒ වන විටත් සකස් කර ගෙන තිබූ ශක්තිමත් දේශීය ආර්ථිකය හේතුවෙනි. සමස්ත බටහිර අර්ධගෝලය ම (Western Hemisphere) සැලකූ විට අදටත් සිටින එක ම මාක්ස්වාදී රාජ්‍යය වන්නේ කියුබාවයි. සෝවියට් සමූහාණ්ඩුව වැටීමෙන් පසු ලතින් ඇමරිකානු කලාපයේ වාමවාදී රාජ්‍යයන් සහ නොබැඳි රාජ්‍යයන් සමඟින් යම් මට්ටමකට සම්බන්ධතා පවත්වා ගැනීමට කියුබාවට හැකි විණ.

සී.අයි.ඒ. සංවිධානය දීර්ඝ කාලයක් මුළුල්ලේ පිදෙල් කස්ත්‍රෝ ඝාතනය කිරීම සඳහා උත්සාහ ගත් අතර සීතල යුද්ධයට පෙරත් පසුවත් එය සිදු විය. එක්තරා ගවේෂණාත්මක වාර්තාකරණයක දී හෙළි වූයේ සී.අයි.ඒ. සංවිධානය විසින් කැස්ත්‍රෝ ඝාතනය කිරීම සඳහා 638 වතාවක් උත්සාහගෙන ඇති බවයි. සුරුට්ටුවකට පුපුරණ දව්‍ය දමා පිපිරවීමට හැරීම, තීන්ත පෑනකට විස ද්‍රව්‍ය පුරවා ඝාතනය කිරීම, කියුබාවේ අර්නස්ට් හෙමින්වේ කෞතුගාරය නැරඹීමට යන අවස්ථාවේ දී ඔහු ඝාතනය කිරීම, ආදී විවිධ වූ ක‍්‍රම රහස් ඔත්තු සේවාව මඟින් අත්හදා බලා තිබේ.

ඇමරිකාවේ කෙනඩි පාලනය විසින් එය සැලකුවේ කස්තෝ ප්‍රශ්නය (Castro problem) ලෙසයි. ඔහු සිය රහස් ඔත්තු නායකයන්ට දැනුම් දුන්නේ එම ප‍්‍රශ්නය ඉතා ඉක්මනින් විසඳා අවසන් කරන ලෙසයි. කෙසේ වුවද කස්ත්‍රෝගේ ජීවිතය බිලිගැනීමට ඔවුනට නොහැකි විණ. වරක් කස්ත්‍රෝ ම සඳහන් කළේ මිනිමැරුම් උත්සාහයන්ගෙන් බේරීම ඔලිම්පික් තරග ඉසව්වක් නම් තමන්ට එහි රන් පදක්කම නිතැතින් ලැබෙන බවයි.

කැස්ත්‍රෝ ව ඝාතනය කිරීම නොහැකි වූ තැන ඔවුහු ඔහුගේ චරිතය බිඳ දැමීමේ ව්‍යාපතිවල ද නිරත වූහ. ඊට හොඳම නිදසුනක් වන්නේ කැස්ත්‍රෝගේ ප‍්‍රසිද්ධ රැවුල ගැළවී යෑම සඳහා බෙහෙතක් ලබා දීමට ගත් උත්සාහයයි.

ඇමරිකා එක්සත් ජනපදය වැනි මහා දැවැන්තයෙකු ඉදිරියේ දී මේ තරම් ශක්තිමත් ව කුඩා රාජ්‍යයකට සිටිය හැකි වූයේ කුමන හේතුවක් නිසා ද? ඔවුන්ගේ අවි බලය නිසා ද? ඔවුන්ගේ ආර්ථික බලය නිසාද? ඒ කිසිවක් නිසා නොව නායකයන්ගේ තිබූ අවංකභාවයත් සරලකමත් ඒ ඔවුන් වෙත ජනතාවගෙන් ලැබුණු ගෞරවයත් හේතුවෙනි.
ඔයැ ඡුදඇර දෙ ක්‍දපපමබසඑහ: ්‍යදඅ ක්‍මඉ් ීමරඩසඩැා ඡුැ්න ධසක නමින් ඉතා සුප‍්‍රකට වාර්තා වැඩසටහනක් වේ. මෙම වාර්තා වැඩසටහනේ නිරූපණය වන්නේ ලෝක අර්බුදයන් හමුවේ කියුබානු රජයත් එහි ජනතාවත් සාර්ථක ලෙස මුහුණ දෙන ආකාරයයි. 1991 වසරේ දී සෝවියට් සමූහාණ්ඩුව කඩා වැටීමෙන් පසු කියුබානු නායකයෝ පොදු ජනතාව සමඟ එකට වැඩ කළහ. ඔවුන් සමඟ දුක් බෙදා හදා ගත්හ. පැමිණි ආර්ථික අභියෝගය සාර්ථක ලෙස ජය ගත්හ. රට තුළ අවශ්‍ය ආහාර ප‍්‍රමාණය නිෂ්පාදනය කර ගැනීම සඳහා නාගරික කෘෂිකර්මාන්තය ව්‍යාප්ත කළහ. ඉතා තිරසාර අන්දමින් ඉන්ධන පශ්නයට මුහුණ දුන්හ. වැඩි වශයෙන් බයිසිකල් පැද්දහ. ඔවුන් කළේ අලූතින් බලශක්ති සම්බන්ධතා නිර්මාණය කර ගන්නවාට වඩා තමන්ගේ ආර්ථික ප‍්‍රතිපත්තිය වෙනස් කර ගැනීමයි.

අද වන විට කියුබාව සමඟ තමන් මෙතෙක් පවත්වා ගෙන ආ දැඩි මත වෙනස් කර ගැනීමට ධනේශ්වර කඳවුරට සිදු වී ඇත. ඇමරිකාවට යළිත් සිය රාජ්‍ය තාන්ති‍්‍රක සම්බන්ධතා කියුබාව සමඟ ඇති කර ගැනීමට වුවමනා වී ඇති අතර ජනාධිපතිවරයා ද එරට සංචාරය කළේය. යුරෝපා සංගමය ද කියුබාව සමඟ මෑතක දී වෙළෙඳ ගිවිසුම්වලට එළැඹියේය. මුළු ලෝකයක් හමුවේ වුව ද දණ නොනමා සිටින්නට හැකි වූයේ කියුබානු නායකයන්ගේ තිබූ අවංකභාවය නිසා බව අපගේ විශ්ලේෂණයයි. නායකයන් අවංක වන විට කොතරම් බාධක පැමිණිය ද ජනතාව ඔවුන් වෙනුවෙන් පෙනී සිටිති. ඔවුන්ගේ මඟ ගනිති.

දර්ශන අශෝක කුමාර

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *