ඩයිනෝසරයෝ තව ම ජීවතුන් අතර ද?

Dyno

ඩයිනසෝරයන් මුළුමනින් ම මිහිතලයෙන් වඳවී යන ලද බවට සැලකෙන්නේ අදින් වසර මිලියන හැට හයකට පෙර යි. අභ්‍යාකාශය ගෙන ආ විනාශයක්, එනම් ධූමකේතුවක් හෝ උල්කාපාතයක් පෘථිවිය සමග ගැටීම නිසා ඇතිවූ ව්‍යසනකාරී දේශගුණික ආපදා මාලාව මේ දැවන්තයින්ගේ සමුගැන්මට වගකියන්නට ඇති බව ප්‍රචලිත මතය යි. එදා ඩයිනසෝරයන්ට මරු කැඳවමින් පෘථිවියට වූ තුවාලය යැයි සැලකෙන ආවාටයක් මෙක්සිකෝවේ “චීක්සලූබ්” හි තිබෙනවා. පරමාණු බෝම්බ ලක්‍ෂගණනක ප්‍රබලතාවක් සහිත භීෂණකාරී පිපිරුමක් ජනිත කරමින් එතැනට ඇදවැටුණු අභ්‍යාවකාශ පාෂාණය හෝරා කිහිපයක කාලයක් ඇතුලත මේ දැවැන්තයන්ගෙන් වැඩිකොටස ප්‍රචණ්ඩකාරීලෙස මරුතුරුළට යවන්නට ඇති.

ඔවුනට “ඩයිනසෝරස්” යන නම ලැබී ඇත්තේ ග්‍රීක භාෂාවෙන් “බිහිසුණු උරගයා” යන අර්ථයෙනුයි. විද්‍යා කාරණා ගැන බොහෝ පොත් ලියූ ආර්.බී. අතපත්තු මහතාගේ පොතක ඩයිනසොරස් යන්නට “හෙණකඳගොයා” යනුවෙන් සිංහලාර්ථයක් දී තිබෙනවා.

ඩයිනෝසරයන්ගේ සමුගැන්මෙන් පසු, ක්‍ෂීරපායියෝ බිහිවුණා. ඔවුහු කලක් ඩයිනෝසරයන් කළාක් මෙන් මිහිතලයේ රජ කරන්නට පටන්ගත්තා.

මිනිස් වර්ගයා තුළ කටින් කට, පරපුරෙන් පරපුරට පැවත ආ මිත්‍යාකථාවල අද්භූත බිහිසුණු මෘගයන් සිටිනවා. ආදිකල්පික සත්ත්ව පොසිල සොයා කැණීම් කරන පාෂාණි ධාතු විද්‍යාඥයන් සොයාගන්නා නවතම කරුණුත් සමග ඩයිනෝසරයන් ලබන පෙනුම, ආදි මිත්‍යාකථා වල එන කල්පිත සත්ත්වයන්ගේ හැඩහුරුකම්වලට සමාන වෙමින් තිබෙනවා. මේ ඩයිනෝසරයන් තවමත් අප නො දැන මිහිමත ජීවත් සිටින බවටත් මෙතෙක් කාලයක්ද සිට ඇති බවටත් ලැබෙන ඉඟියක්ද?

dyno2

ස්කොට්ලන්තයේ ලොක් නස් ජලාශයේ, (ලොක් යනු ද ජලාශය, විල යන අරුත දෙන වචනයකි. මෙය නස් ජලාශය විය යුතුය. නමුත් භාවිතයේ හුරුව නිසා අප ලොක් නස් ජලාශය යැයි කියමු) කිසියම් අබිරහස් දැවැන්ත සත්වයෙකු ජීවත්වන බවට කතන්දර ගෙතී ඇත්තේ දහනවවැනි ශතවර්ශයේ අගභාගයේ සිට යි. මේ කියන ලෙක් නස් විලේ සත්ත්වයාගේ පෙනුම බොහෝදුරට ආදිකල්පික ප්ලීසියෝසෝරසයෙකුට සමානයි. ප්ලීසියෝසෝරස් යනු ජුරාසික යුගයේ සාගර වල විසූ දිගු ගෙලක් සහ කැස්බෑවෙකු ගේ වැනි ගාත්‍රා සහිත ඩයිනෝසර විශේෂයක්. සමුත් නවීන විද්‍යාව දන්නා පරිදි ප්ලීසියෝසෝරයන්ද අනෙකුත් සියලු ඩයිනෝසරයන් සමගම වසර මිලියන හැට හයකට පෙර මිහිමතින් තුරන්වී ගියා. ඉතින් ප්ලීසියෝසෝරස ප්‍රජාවට ඒ සමූහ වඳවීයාමෙන් මිදී වර්තමානය වන තුරු පැවත ඒමට ඉඩකඩක් ඇත්ද?

එයට ඇතැම් විද්‍යාඥ කණ්ඩායමක් ගෙන එන පිළිතුර නම්, නොහැකියාවක් නොමැත යන්නයි. මක්නිසාදයත්, කිසියම් සමූහ වඳවීමේ සිදුවීමකදී පවා පොළොව යට හෝ ජලය තුළ වෙසෙන සත්ත්ව කාණ්ඩවලට කිසියම් ආරක්‍ෂාවක් සැලසෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සමුද්‍රීය හා වායුගෝලීය අධිකාරිය ගෙන එන දත්ත වලට අනුව සමස්ත ලෝකයේම සාගර වලින් 90% ප්‍රතිශතයක් පවතින්නේ තවමත් ගවේෂණය නොකළ තත්ත්වයකයි. 2011 වසරේදී හෙළිවූ සමීක්‍ෂණ දත්ත වලට අනුව සමුද්‍ර ජීව ප්‍රජාවගෙන් 91% ප්‍රතිශතයක්ම තවමත් මිනිසා විසින් සොයාගනු ලැබ නැහැ. ඒ අතරවාරයේ යෝධ දැල්ලා වැනි කල්පිත මානයේ සිටි සත්ත්වයෙක් පසුගිය කාලයේ යථාර්ථයක් බවට පත්වුණා. කෙසේවෙතත් දශක ගණනාවක් පුරා ලොක් නස් ජලාශය ආශ්‍රිතව කරන ලද බොහෝ සොයාබැලීම් කිසිවකින් එහි ප්ලීසියෝසෝරසයාට සමාන අබිරහස් දැවැන්ත සත්ත්වයෙකු ජීවත් වන බවට නිල වශයෙන් තහවුරුකළ හැකි කරුණු කිසිවක් හෙළීවී නැහැ. නමුත් ලෝකයේ මහා සාගර වල කොහේ හෝ තැනෙක ප්ලීසියෝසොරසයින් හෝ ඔවුන්ගෙන් පැවත එන ජීවී විශේෂයක් වාසය කරනවා ඇතියි යන උලකල්පනය බිඳහෙලීමට ඒ කරුණු ප්‍රමාණවත් වන්නේ ද නැහැ.

dyno3

ඩයිනෝසරයන් ඉතිරිව සිටිය හැක්කේ මහ මුහුදෙහි පමණද? ගොඩබිම කිසියම් තැනෙක ඔවුහු රක්‍ෂා වී සිටිත් නම් ඒ කොහි වියහැකිද?

පිළිතුර, අඳුරු මහාද්වීපය ඇයි නම් ලද අප්‍රිකාවේ ය යන්න යි. අප්‍රිකාවේ දේශගුණික තත්ත්වය ඩයිනෝසරයන් ජීවත්ව සිටි මෙසෝසොයික යුගයේ තිබූ උණුසුම්කාරී දේශගුණයට සැලකියයුතු දුරකට සමාන යි.

අප්‍රිකාවේ කොංගෝ දේශයේ වාසීන් “මොකෙලී-ම්බෙම්බේ” නම් අද්භූත සත්ත්වයෙකු ගැන කතන්දර කියනු ඇසෙන්නේ ඔය අතරයි. මොකෙලී-ම්බෙම්මේ එකෙකු කිසි තහවුරු කළ හැකි සාක්‍ෂියක් නැහැ. නමුත් කතන්දර වලින්, කට කතා වලින්, දුටු බව කියනා අයගේ සාක්‍ෂි වලින් ආ තොරතුරු අනුව මේ කියන මොකෙලී-ම්බෙම්බේ ජුරාසික යුගයේ විසූ, ජලාශ වල බැස සිටීමට ප්‍රිය කළ දිගු ගෙලක් සහිත දැවැන්ත ශාකභක්‍ෂක ඩයිනෝසර විශේෂයන්ට බොහෝ සෙයින් සමානයි. මේ කියන අද්භූත සත්වයා ගැන තොරතුරු දහ අටවැනි ශතවර්ශයේ පටන් වාර්තා වී තිබෙනවා. 1980-81 වසරවල රෝයි මැකාල් නැමති ඇමෙරිකානු ජීව විද්‍යාඥයා, මොකෙලි-ම්බෙම්බේ සොයා ගවේෂණ චාරිකාවක් මෙහෙයවූවා. ඔහු ලොක් නස් ජලාසයේ අබිරහස් සත්ත්වයා හෙළි කරගැනීමට ද ගවේෂණ දියත් කළ අයෙක්. ඔහුට මොකෙලි-ම්බෙම්බේ ගේ පැවැත්ම සනාථ කළ හැකි සාක්‍ෂි කිසිවක් ලැබුණේ නම් නැහැ. නමුත් දේශ වාසීන් පමණක් දන්නා තවත් ඩයිනෝසරයන් හට සමාන වන්නා වූ අබිරහස් සත්ත්වයන් රැසක් ගැන, බටහිර ලෝකයා නොදත් කතා ඔහුට දැනගන්නට ලැබුණා. “නුගුම්-මොනෙනෙ”, “මිබීලු-ම්බීලු-ම්බීලු”, “ඉමෙලා-න්ටෝකා” යනු එසේ අයන්නට ලැබුණු වෙනස් වෙනස් ප්‍රවාද සතුන් කිහිපදෙනෙක්.

ඩයිනෝසරයන් පිළිබඳ ඇති ප්‍රධානම භෞතික සාක්‍ෂි නම් පොසිල සාධක යි. නමුත් පොසිල සාධක හෙළි කරන තොරතුරු පවා ඩයිනෝසර් වර්ගයා සමහමුලින් ම වඳවී ගිය බවක් පෙන්වමින් නැහැ. පියාපත් සහිත, ශරීර ව්‍යුහයෙන් පවා පක්‍ෂීන් හට සමාන ඩයිනෝසරයන් ගේ පොසිල නොමඳ ව ලැබී තිබෙනවා. විශේෂයෙන් චීනයේ පක්‍ෂීන්ට සමාන එහෙත් දැවැන්ත ඉතා විචිත්‍රවත් ඩයිනෝසර වර්ග ජීවත්වී තිබෙනවා. වර්තමාන පක්‍ෂී ගණයා පැවත එන්නේ ආදී ඩයිනසෝරයන්ගෙන් වන බව දැන් දැන් ප්‍රමුඛ කොට පිළිගැනෙන මතයක්. මේ අතර 2003 වසරේ දී, උතුරු ඇමෙරිකානු මහාද්වීපයේ ජුරාසික යුගයේදී රජ කළ බව සැලකෙන දැවැන්ත මාංශභක්‍ෂක මෘගයා, ටයිරනෝසෝරස් රෙක්ස් ගේ පොසිල කොටස් ඩී එන් ඒ පරීක්‍ෂාවකට ලක් කෙරුණා. මේ දැවැන්ත මාංශ භක්‍ෂක ඩයිනෝසරයා වඩා සමාන වර්තමාන කිඹුලෙකුට හෝ වෙනත් එවැනි උරග ගණයේ සත්ත්වයෙකුට වඩා, කුකුළෙකුට හෝ පැස්බරෙකුට වන බව එයින් හෙළිවූයේ.

මේ අනුව වසර මිලියන හැට හයකට පෙර අභ්‍යාවකාශයෙන් ඇදී ආ විනාශය මහ පොළොව වැළඳ ගනිද්තී, ගොඩබිම විසූ දැවැන්ත ඩයිනෝසරයන් සහමුලින් ම වඳව ගිය බව අපට සිතිය හැකි වුණත්, සාගරයේ විසූ දැවැන්තයන් සහමුලින්ම වඳවුනේද යම් කොටසක් ඉතිරි වූයේද යන්න අපට තවමත් නොවිසුඳුණු පැනයක් වුවත්, ඔවුන්ගේ ආකාශ සගයෝ ඛේදජනක ඉරණම පසුකොට තව බොහෝ දුරක් පැමිණ ඇති බව නම් පැහැදිලියි.

ඉතින් ඕනෑනම්, කුකුළන්ට පරෙවියන්ට කෑම දමනා අතරේ, අපි ඩයිනෝසරයන් පෝෂණය කරන්නෙමු යි අභිමානයක් ඇතිකරගත්තාට වරදක් නැහැ.

නමුත් අප සහජ ඉවෙන් දැන සිටිය යුතු කාරණය නම් ලෝකය අප දන්නවාට වඩා තව බොහෝ විශාල බවයි. ලොක් නස් සත්ත්වයා, මොකෙලී-ම්බෙම්බේ ගැන කතා තවමත් “කතා” පමණක්මද නැත්ද යන්න හරි හැටි තහවුරු කරගැනීමට කිසිවෙක් සමත්ව නැහැ.

ඔප්පු කරවන්නට අපහසු, බිඳවට්ටවන්නට නොහැකි කිසියම් මූලයක් නොමැතිව ලෝකයේ කිසි අබිරහසක් බිහිවන්නේ නැහැ.

-අඛිල රන්සිරි මලලගේ-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *