දේශපාලුවන්ගේ ලියුං කෑලි සහ ශාස්ත්‍රීය නිදහස

Atheena

ශාස්ත‍්‍රීය නිදහස (academic freedom) ශිෂ්ට ලෝකය පිළිගත් සංකල්පයක් ඇත. මෙම ශාස්ත‍්‍රීය නිදහස ලෙස කිසි ලෙසකවත් උල්ලංඝනය නොකළ යුතු යමක් ලෙස පිළිගනු ලැබේ. මෙහිදී ශාස්ත‍්‍රීය ප‍්‍රජාව (academic communit ) යැයි කොටසක් ද වේ. ශාස්ත‍්‍රීය ප‍්‍රජාව යනු මෙවැනි ශාස්ත‍්‍රලයීය කටයුතුවල නිමග්න වූ කණ්ඩායමයි. ඔවුහු බොහෝ විට පර්යේෂණකාමීහු වෙති. එනයින් ඔවුහු උසස් අධ්‍යාපනයේ ද පර්යේෂණවල ද නිරත වෙති.

ශාස්ත‍්‍රීය ප‍්‍රජාවේ සාමාජිකයන්ගෙන් සමන්විත වූ ලෝකයට ඇකඩමියාව යැයි ද කියා කියනු ලැබේ. එම නම ලැබෙන්නේ ඉපැරණි ග‍්‍රීසියෙනි. ඇතන්ස් නුවර පවුරුවලින් පිටත වූ ජිම්නේසියම ප්ලේටෝ සිය ශාස්ත‍්‍රීය කටයුතු සඳහා භාවිත කළේය. මෙම ස්ථානය පූජනීය ස්ථානයක් කොට සැලකිණ. නොකෙලසිය යුතු ස්ථානයක් ලෙස සැලකිණ. එය ඇතීනා දෙව්දුව වාසය කරන ස්ථානය ද විය.

ප‍්‍රඥාවේ අධිපතිනිය වූ ඇතීනා දෙව්දුවට කැප වූ ඇකඩමියාවේ සිට ප්ලේටෝ සිය ශිෂ්‍යයන් සමග සංවාදයේ යෙදිණ. ප්ලේටෝ සිය ශිෂ්‍යයන්ට ඉගැන්වී යැයි මෙහිදී වැරදි ලෙස වටහා ගත යුතු නැත. ප්ලේටෝ කළේ සංවාද කිරීමයි. ගුරුවරයාත් ශිෂ්‍යයාත් අතර ධුරාවලිගත බන්ධනයන්ගෙන් තොර ව ශාස්ත‍්‍රීය සංවාද ඇකඩිමියාවේ ඇති විය. අද කාලයේ ටියුෂන් පන්තිවල මෙන් ම විශ්වවිද්‍යාවල ද සිදු වන ආකාරයේ කියවන විට සටහන් ලියා ගැනීම ඇකඩමියාවේ කාර්ය භාරය නොවීය. ඇකඩමියාව සැලකුණේ දැනුමේ සංස්කෘතික සමුච්ඡුජනය ලෙසයි ( cultural accumulation of knowledge). එය පූර්ණ වශයෙන් නිදහස් විය. විවෘත අදහස්වලින් ආඪ්‍ය වූවකි. එනයින් ඊට කිසිවෙකුත් බාධා නොකළහ.

ග‍්‍රීසියේ මතු නොව ලොව වෙනත් ස්ථානවල ද මහා ශිෂ්ටාචාර ගොඩ නැගුණේ බුද්ධියේ මහිමය කෙරෙහි පැවති විශ්වාසයත් සමගිනි. ඉන්දියාවේ තක්ෂිලාව ඊට නිදසුනකි. එබැවින් ශාස්ත‍්‍රීය නිදහස යනු උල්ලංඝනය නොකළ යුතු කිසිදු බාහිර බලවේගයක බලපෑමට යටත් නොවිය යුතු දෙයක් ලෙස එදා මෙදා තුර ශිෂ්ට සමාජයන්හි පිළිගැනීමක් වේ.
එහෙත් ලංකාවේ සමාජයේ මෙම ශාස්ත‍්‍රීය නිදහස පවතින්නේ ද ? ඇත්තටම ලංකාවේ ශාස්ත‍්‍රීය ප‍්‍රජාවක් වේද? ඇත්තටම ලංකාවේ ඇකඩමියාවක් නිර්මාණය වී ඇත්ද? යන ප‍්‍රශ්නය අප අභිමුවට පැමිණීමට එක හේතුවක් වූයේ අමාත්‍යවරයෙකු විසින් කථිකාචාර්ය තනතුරකට පුද්ගලයෙකු සුදුසුකම් පරීක්ෂා කර බලා බඳවා ගැනීමට කටයුතු කරන ලෙසට නිකුත් කරන ලද ලිපියයි. මෙවැනි ලිපි ශාස්ත‍්‍රීය නිදහසට පැහැදිලි ලෙස අභියෝගයක් බවට තර්කයන් නොමැත. ඇමතිවරුන්ගේ ලියුම් රැුගෙන පැමිණ සිදු කරන්නට යන්නේ කුමන ශාස්ත‍්‍රීය කාරණයක් ද? රස්සාවක් නැති කමට තවත් රස්සාවක් සොයා ගැනීමක් ද ?

ශී‍්‍ර ලංකාව කොරතම් ශිෂ්ට/අශිෂ්ට රටක් ද යන්න පරීක්ෂා කර බැලීම සඳහා මෙවැනි මාපක යොදා ගැනීමට හැකිය. අතීත ග‍්‍රීසියේ දී පූජනීය දෙයක් ලෙස සැලකූ ඇකඩමියාව ලංකාවේ දී කොතෙක් කෙලසී ඇත් ද යන්න අප සොයා බැලිය යුතුය. ශ‍්‍රී ලංකාවේ ශාස්ත‍්‍රීය ලෝකය කඩා වැටීම දශක ගණනාවක් මුලූල්ලේ සිදු වෙමින් පවතින්නකි. ජගත් කීර්තියක් ඇති එක්තරා විශ‍්‍රාමික මහාචාර්යවරයෙකු මෑතක දී මා සමග පැවසූ කරුණක් වූයේ තමන් අවුරුදු 40කටත් වැඩි කාලයක් ඉගැන්වූ විශ්වවිිද්‍යාලය අද බුද්ධි සහරාවක් වී ඇති බවයි.

1960-70 දශකවල දී මෙරට බොහෝ විශ්වවිද්‍යාලවල මහ කදු වැනි ප‍්‍රාඥයෝ ආචාර්යකම් දැරූහ. ලිංගික අල්ලස්වලටත් අද විශ්වවිද්‍යාල කථිකාචාර්ය තනතුරු ලැබෙන බව ප‍්‍රසිද්ධ රහසකි. කිසියම් පද්ධතියකට එක පුද්ගලයෙකු එවැනි අනිසි ආකාරයකින් රිංගා ගත හොත් සිදු වන්නේ සමස්ත පද්ධතිය ම බිඳ වැටීමයි. නොසුදුසුදු පුද්ගලයා කරන්නේ තනතුර බාරගත් දිනයේ සිට විශ‍්‍රාම යන දිනය තෙක් මර බයෙන් වෙසීමයි. තමන්ට වඩා සුදුස්සෙකුට ඉස්මතු වීම සඳහා කොහෙත්ම අවස්ථාවක් නොදෙයි. තමාගෙන් පසු අධ්‍යයනාංශවල අධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා බඳවා ගනු ලබන්නේ ද තේ-බනිස්-රසකැවිලි ආදිය ගෙනත් දෙමින් තමන්ගේ ෆයිල් ඔසවා ගෙන පසු පසින් යන අතවැසියන් මිස සැබෑ ශාස්ත‍්‍රඥයන් නොවේ.

මේ ආකාරයෙන් විනාශයට පත් වූ අධ්‍යයනාංශ ගණනාවක් අද ශ‍්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ ඇත. මේ පිළිබඳ සැලකිලිමත් වන ඕනෑම අයෙකුට ඒ පිළිබඳ තොරතුරු පහසුවෙන් සොයා ගැනීමට හැකිය.

මෙවැනි තත්ත්වයක් හමුවේ දේශපාලනඥයන් ද ලියුම් එවා පුද්ගලයන් අධ්‍යයන තනතුරුවලට බඳවා ගන්න යැයි ඍජු හෝ වක‍්‍ර බලපෑම් කිරීම බුලත් පයියට හෙණ ගැසීමෙන් පසු හුණු කිල්ලෝටෙට තවත් හෙණයක් ගැහුවා වැනිය.

මෙවැනි දේශපාලනඥයන්ගේ උත්සාහයන්ට මනා උත්තරයක් ඇමරිකා එක්සත් ජනපදයේ උපරිමාධිකරණය විසින් දෙනු ලැබූ තීරණයකින් උපුටා ගැනීමෙන් දිය හැකිය. ඇමරිකානු උපරිමාධිකරණය අර්ථ නිරූපණය කළ පරිදි ශෘස්ත‍්‍රීය නිදහස යනු කිසියම් විශ්වවිද්‍යාලයකට සියලූ අධ්‍යයන කාර්යයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය පැවතිය යුතුය (academic freedom means a university can determine for itself on academic grounds) එනම් ඇමරිකාවේ නම් අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවය කරන්නේ කවුරුන් ද යන්න තීරණය කරන්නේ ශාස්ත‍්‍රීය ප‍්‍රජාව මිස වෙන කවුරුන් හෝ නෙවෙයි. තමන් ලබා දුන් තීරණය තුළ දී ඇමරිකා එක්සත් ජනපද උපරිමාධිකරණය ශාස්ත‍්‍රීය නිදහස සම්බන්ධ කරුණු 04ක් කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඒවා පහත පරිදි වේ.

x උගන්වන්නේ කවුරුන්ද?
x උගන්වන්නේ මොනවාද?
x ඒවා උගන්වන්නේ කෙසේද?
x සිසුන් ලෙස ඇතුළත් කර ගනු ලබන්නේ කවුරුන් ද?

අධිකරණ තීන්දුව අනුව මේ කරුණු 04ටම අදාළ තීරණ ගැනීමේ පූර්ණ බලතල ඇත්තේ විශ්වවිද්‍යාලයටයි. එනම් ශාස්ත‍්‍රීය ප‍්‍රජාවටයි.

මෙනියන් ශාස්ත‍්‍රීය ප‍්‍රජාවක් යනු කිසිදු දේශපාලනික හෝ ආගමික මැදිහත් වීමකින් තොරව ඉගැන්වීම, පර්යේෂණ කිරීම, ඉගෙන ගැනීම, වාද විවාදයන්හි නියැලීම, තමන් කැමති සාහිත්යික සහ කලාත්මක ව්‍යාපාරයක නිරත වීම සඳහා ඉඩ හසර සලසා දෙනු ලැබූ කණ්ඩායමකි. මෙවැනි ක‍්‍රියාදාමයක් තුළින් නිෂ්පාදනය වන දැනුමක් තුළින් පමණක් නිදහස් සහ විවෘත සමාජයක් ගොඩනැගේ.

දර්ශන අශෝක කුමාර

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *