ඇමරිකාවෙන් හිට්ලර් කෙනෙක් බිහි වෙයි ද?

hitler

ඩොනල්ඞ් ට‍්‍රම්ප් යනු මේ වන විට බෙහෙවින් කථා බහට ලක් වී ඇති චරිතයකි. ඔහු රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපති ධුර අපේක්ෂත්වය සඳහා තරග කරන ඉදිරි පෙළ තරගකරුවෙකි. ට‍්‍රම්ප් යනු කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු විනෝදාස්වන කර්මාන්තය සඳහා වැඩි වශයෙන් මුදල් යෙදවූවෙකි. ඔහු සැබෑම ඇමරිකානු නිෂ්පාදනයකි. ඇමරිකානු සංස්කෘතිය එක්තරා අතකින් භයානක විනෝද සංස්කෘතියකි. ට‍්‍රම්ප් ඒ විනෝද සංස්කෘතියේ මහා මූර්තියකි. ඔහු මුලින් ම විහිළු නාට්‍ය සහ චිත‍්‍රපට නිමැවීම සඳහා මුදල් යෙදවීය. පසුව ඔහු හෝටල් කර්මාන්තයට පිවිසියේය. ඔහුගේ කැසිනෝ ව්‍යාපාරය බෙහෙවින් ජනපි‍්‍රය විය. 1988 වසරේ දී නිව් ජර්සි හි ටජ් මහල් කැසිනෝ සමාගම මිළ දී ගැනීමට ඔහු හැකි විය.

දේශපාලනයේ දීර්ඝ කාලයක් නිරත වී සිටි ට‍්‍රම්ප් 2015 ජූනි මාසයේ දී 2016 ජනාධිපතිවරණය සඳහා තරග වදින බව නිවේදනය කළේය. ඔහුගේ පාඨය වූ ඇමරිකාව යළිත් ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් කරමු යන්නයි. ඔහුගේ අපේක්ෂක ධුර තරගය සඳහා විශාල ප‍්‍රසිද්ධියක් හිමි විය. ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඔහු විසින් සිදු කරන ලද ඉතා ආන්දෝලනාත්මක ප‍්‍රකාශයි. ඊට අමතර ව සෙසු දේශපාලනඥයන්ට, මාධ්‍යවේදීන්ට, වෙනත් අපේක්ෂයන්ට නම් වශයෙන් ඔහු එල්ල කළ අපහාස උපහාස හේතුවෙන් ඔහු පිළිබඳ ප‍්‍රසිද්ධිය වර්ධනය වන්නට විය.

ඔහු දැඩි ප‍්‍රකාශ කරන්නට වූ අතර ඉන් එක් ප‍්‍රකාශයක් වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන ලියකියවිලි රහිත මිලියන 11ක පමණ නීති විරෝධී සංකමණිකයන් වහා නෙරපා දැමිය යුතු බවයි. ඔහු බලයට පත් වුවහොත් එය සිදු කරන බවට ද පොරොන්දු වී තිබේ. යම් ආකාරයකින් එය සිදු වුවහොත් මෙය මෑත ඉතිහාසයේ සිදු වූ ඉතා බරපතළ ඛේදවාචකවලින් එකක් වනු නොඅනුමානය. ඇතැම් නීති විරෝධී සංකමණිකයෝ දීර්ඝ කාලයක් මුළුල්ලේ ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙති. ඔවුන් එහි ක‍්‍රමයට පුරුදු වී ඇති අතර ඇතැම් විට ඔවුන් ඇමරිකානු පද්ධතියේ කොටසක් වී ඇත. පවුල් පිටින් ඔවුන් නෙරපා දැමුවහොත් එය ඉතිහාසයේ සිදු වූ මහා නොමිනිස් කියාවක් වනු නිසැකය.

අනෙක් ප‍්‍රකාශය නම් ඇමරිකා එක්සත් ජනපදයේ ඇති මුස්ලිම් දේවස්ථාන නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කළ යුතු බවයි. ඊට අමතර ව ඇමරිකා එක්සත් ජනපදයට මුස්ලිම්වරුන් ඇතුළු වීම සම්පූර්ණයෙන් තහනම් කළ යුතු බව ද ඔහුගේ අදහසක් විය. ලෝකය පුරා මුස්ලිම් සහ මුස්ලිම් නොවන ජනතාවගෙන් මෙම ප‍්‍රකාශයට ද දැඩි විරෝධයක් එල්ල වන්නට විය. ට‍්‍රම්ප්ගේ දේශපාලන පක්ෂයේ ම නායකයන්ගෙන් ඔහුගේ එම විවේචනයට ලක් විය. ට‍්‍රම්ප්ගේ අදහස විවේචනය කළ ලෝක නායකයන් වූයේ මහා බිතාන්‍යයේ අගමැති ඬේවිඞ් කැමරන්, ප‍්‍රංශ අගමැති මැනුවෙන් වැල්ස්, සෞදියේ අල් වහීඞ් බින් තලාල් කුමරු වැනි අයයි. ඔහුගේ මෙම ප‍්‍රකාශ ය තුළින් ඇමරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාවේ ප්‍රථම සංශෝධනය උල්ලංඝනය වේ. ව්‍යවස්ථාවට සිදු කළ ප‍්‍රථම සංශෝධනය තුළින් ආගමක් ඇදහීමේ නිදහස තහවුරු කර ඇත. එබවැනි ලෝකයේ ප‍්‍රධාන ආගම් කිහිපයෙන් එකක් තහනම් කිරීම ව්‍යවස්ථා විරොධී වේ.

ඩිමොක්‍රැටික් දේශපාලන පක්ෂයෙන් ජනාධිපති ධුර අපේක්ෂ්ත්වය සඳහා තරග වදින හිලරි ක්ලින්ටන් මහත්මියගේ අදහස වූයේ ට‍්‍රම්ප් යනු ජිහාද්වාදී සටන්කාමී සංවිධානවලට පුද්ගලයන් බඳවා ගැනීම සඳහා උදව් කරන්නෙකු බවයි. මෙවැනි අන්තවාදී ප‍්‍රකාශ කරන්නට කරන්නට තව තවත් පුද්ගලයන් ජිහාද්වාදී අන්තවාදී සංවිධාන වෙත නැඹුරු වීම වැලැක්වීමට නොහැකිය. ට‍්‍රම්ප් උදාහරණයක් ලෙස කුප්‍රකට පැරිස් ප්‍රහාරය ගනී. විශාල පිරිසකට මරු කැඳවූ පැරිස් පහාරය සිදු වූයේ ප්‍රංශයටත් බෙල්ජියමටත් මුස්ලිම්වරුන් සිය රටවලට ඇතුළු වීම මනා ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම නිසා බව ට‍්‍රමිප් කියා සිටී.

ට‍්‍රම්ප් වැනි දේශපාලනඥයෙකු අහම්බෙන් නිර්මාණය නොවේ. එවැන්නෙක් නිර්මාණය වන්නේ කිසියම් ඓතිහාසික පසුබිමක් පදනම් කර ගනිමිනි. එනම් පවතින තත්ත්වය තුළ ඇති දේශපාලන ආර්ථික තත්ත්වය මත පදනම්වයි. ඇමරිකා එක්සත් ජනපදයේ වර්තමාන ආයතනික පද්ධතිය ගැන හෝ දේශපාලන සම්බන්ධයෙන් ඇමරිකානුවන් තුළ ඇත්තේ සතුටක් නොවේ. එරට මිනිසුන්ගෙන් බහුතරය විශ්වාස කරන කරුණක් නම් පවතින ආර්ථික කමය මගින් පොදු මහජනතාවට සෙතක් ඉටු නොවන අතර සුපිරි පොහොසතුන්ට පමණක් වාසි සැලසෙන බවයි. ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට ඩොලර් ට්‍රිලියන ගණනක් ලෝකයට ණයය. ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය රක්ෂණයක් නොමැති මිලියන ගණනක් පිරිසක් වෙති. තමන්ට කියා නිවාසයක් නොමැති තවත් ලක්ෂ ගණනක් වෙති. නිවාස නැති පුද්ගලයන් හෝම්ලස් පීපල් යනුවෙන් හැඳින්වුව ද ඔවුන් යම් තාක් දුරකට යාචකයන්ට සමාන පිරිසකි.

මේ තත්ත්වය ඇති වන්නට වූයේ 2007-2008 ආර්ථික අවපාතයෙන් පසුවයි. තවමත් ඇමරිකා එක්සත් ජනපදයටත් බටහිර ලෝකයටත් මෙම ආර්ථික අවපාතයෙන් ගැළවීමට නොහැකි වී තිබේ. ඩොනල්ඞ් ට‍්‍රම්ප් වැනි පිස්සු දේශපාලනඥයන් බිහි කිරීමට හේතුව සැපයෙන්නේ මෙවැනි ආර්ථික පීඩනයන් තුළින් බව අපගේ විශ්වාසයයි.
තමන් ඇමරිකානු සාමාන්‍ය ජනතාවගේ වුවමනාවක් බව ඩොනල්ඞ් ට‍්‍රම්ප් ම පවසයි. ෆොක්ස් නිවුස් සමග සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේ තම රටේ මිනිසුන් තරහෙන් සහ වෛරයෙන් පසු වන බවයි.

ජර්මනිය තුළ හිටලර් නමැති ආඥාදායකයා බිහි වූයේ මෙවැනි පසුබිමක් තුළයි. ඔහු බලයට පත් වන විට ජර්මනිය ආර්ථික වශයෙන් විශාල ලෙස ඇඳ වැටී තිබිණ. විරැකියාව විශාල වශයෙන් හිස ඔසවා තිබූ අතර මිනිසුන්ට පමාණවත් තරම් ආහාර පාන නොතිබිණ. හිට්ලර් ජර්මනියේ චාන්සලර්වරයා වන්නේ 1933 වසරේ ජනවාරි මස 30 වැනිදායි. හිට්ලර්ගේ නාසි පක්ෂය යනු ඉතා කුඩා පක්ෂයකි. හැට ලක්ෂයක ජනතාවක් සිටි ජර්මනියේ නාසි පක්ෂය සතුව සිටි සාමාජිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂයකටත් අඩු විය. ඇතැම් විචාරකයෙකු සඳහන් කරන්නේ ආර්ථික අවපාතයට කලින් හිට්ලර්ගේ නාසි පක්ෂය යනු කවුරුත් නොදන්නා පක්ෂයක් වූ බවයි. නමුත් 1932 වසර වන විට හිට්ලර්ගේ නාසි පක්ෂයට මුළු ඡන්දවලින් සියයට 33ක් ලබා ගැනීමට හැකි විය. එය සෙසු සෑම පක්ෂයකට ම වඩා වැඩි ඡන්ද ප‍්‍රතිශතයකි.

ආර්ථික වශයෙන් වැටී සමාජය තුළ තිබූ අසහනකාරී ස්වභාවය තමන්ට බලයට පැමිණීම සඳහා යොදා ගැනීමට හිට්ලර්ට හැකි විය. ඔහු මුළුමනින් ප‍්‍රචලිත කළේ ජාතිවාදයයි. ආර්ථික වශයෙන් මිනිසුන් දුර්මුඛ වූ කල, තමන්ගේ ජීවන තත්ත්වයන් බිඳ වැටුණු කල, එම වරද අනෙකා මත පැටවීම මිනිස් ස්වභාවයක් ලෙස දැකීමට පුළුවන. විශේෂයෙන් ජාතිවාදී ගැටුම් පවතින රටවල් විශ්ලේෂණය කළොත් ඒවා සෑම එකක් ම පාහේ අතිශයින් ආර්ථික වශයෙන් අසමානතාවක් පවතින රටවල්ය. හිට්ලර් බලයට පත් වීමෙන් පසු සියළුම වාමවාදී දේශපාලන පක්ෂ තහනම් කළේය. කම්කරු අයිතිවාසිකම් නැති කළේය. සෑම පිරිමියෙකු වෙනුවෙන් අනිවාර්ය වැඩ නියම කළේය. සියලු නියෝග ආඥාවන් ලෙසින් දෙනු ලැබිණ.

මේ වන විටත් අන්තවාදය බෙහෙවින් පැතිරී තිබුණු අතර ආර්ථික අවපාතයත් සමගින් සමාජය තුළ මධ්‍යස්ථ මතධාරීන්ට ඉඩක් නොවිණ. ජනතාවගේ අදහස වූයේ තවදුරටත් මධ්‍යස්ථ අදහස් දරන ප‍්‍රජාතන්තවාදී නායකයන්ට සාර්ථක වීමට නොහැකි බවයි. තමන් ගෙවන දුර්දසාවන්ගෙන් තමන් මුදා ගැනීමට ඔවුන්ට නොහැකි බවයි. ඒ සඳහා හිට්ලර් වැනි දැඩි මතධාරී යක්ෂයෙකු අවශ්‍ය බව මිනිසුන් තුළින් ම ඉස්මතු වූ මතයයි. ආර්ථික වශයෙන් පරිහානියකට ලක් වන විට ප‍්‍රජාතන්ත්‍රීය මතයන්ට ඇති තැන ලෝකයේ කොතැනක වුවක් විනාශ වී යන බවට කදිම නිදසුනක් වශයෙන් මෙය ගැනීමට පුළුවන. හිට්ලර් මෙහිදී මුව හම ලෙස අල්ලා ගත්තේ යුදෙව්වන්ය. ඔහු පුන පුනා පැවසුවේ යුදෙව්වන් නිසා ජර්මානු ආර්ථිකය විනාශ වූ බවයි. Hitler’s Jewish Hatred – Cliche and Reality නම් කෘතියේ දී රැල්ෆ් ජෝර්ජ් රූත් විසින් මේ පිළිබඳ දීර්ඝ වශයෙන් විස්තර කර තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය පෙළන ආර්ථික ප‍්‍රශ්නයත් සමඟින් මේ වන විට ජාතිවාදය කේන්ද්‍ර කර ගනිමින් පෙරට පැමිණ ඇත්තේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ය. අප පුදුම විය යුත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ වර්තමානයේ පවතින දේශපාලන ආර්ථික සන්දර්භය තුළ ඔහු වැනි අයෙකු බිහි නොවුනා නම්ය. ඉතිහාසය විසින් මිනිසුන් නිර්මාණය කරන්නේ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක වුවමනාව මතයි. එනම් යමෙකු නිර්මාණය වීම සඳහා ගැළපිය යුතු දේශපාලන, ආර්ථික කරුණු පද්ධතියක් වේ.

මෙම තත්ත්වය ශී‍්‍ර ලංකාවට ද ආදේශ කර ගැනීමට පුළුවන. හිට්ලර් කෙනෙකු හෝ ට‍්‍රම්ප් කෙනෙකු බිහි වීම සඳහා ශී‍්‍ර ලංකා සමාජය තුළ ඕනෑ තරම් දේශපාලන ආර්ථික සාධක මෝරා ඇත. මිනිසුන් පෙළන ආර්ථික දරිද්‍රතාව, විරැකියාව මෙන්ම සමාජ අසාධාරණය ආදියෙන් ශී‍්‍ර ලංකා සමාජ ප්‍රමාණවත් තරම් වල් බිහි වී ඇත. මෙරට සමාජය වෙළා ගත් සමාජ අසාධාරණය නොදුරු අනාගතයක දී නම් දුරු වන බවක් පෙනෙන්නට නැත. නීතිය සැමට සමානවන ලෝකයක් බොහෝ මිනිසුන්ගේ අපේක්ෂාවයි. දූෂණයෙන් තොරව පාරදෘශ්‍ය ආර්ථිකයක් සැමගේ ප‍්‍රාර්ථනාවයි. නිර්දේශපාලනික ආයතනික පද්ධතියක් මිනිසුන්ගේ ප‍්‍රාර්ථනවයි. ඥාති සංග‍්‍රහයන්ගේ තොර රටක්, මූලික මිනිස් අයිතිවාසිකම් මිනිසුන්ගේ සිහිනයයි. එහෙත්, ඒවා එකක් හෝ මේ සමාජයේ නිසි පරිදි සුරක්ෂිත වී නැති බව කවුරුත් දන්නා කරුණකි. මේ තත්ත්වය වෙනස් නොවුනහොත් වැඩි කලක් නොයා මීළඟට මෙරට සමාජයෙන් බිහි වන හිට්ලර් නැත්නම් ට‍්‍රම්ප් නොහොත් අන්තවාදී හෝ ජාතිවාදී නායකයා කවුදැයි යන්න පිළිබඳ අප විමසිලිමත්ව සිටිය යුතුය.


දර්ශන අශෝක කුමාර

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *