අප විද්‍යා! – ස්ත්‍රී සහ දරු දූෂණ වසංගතය ගැන ලියැවුණු අති ප්‍රබල ගීයක්!

cry lady

ඇතිනි මවුනි දරු ලද පසු ඇතින්න
ඇතිනි රැලට කිරි එරුණිද කියන්න
නෙතිනි හඬන ලක් මවුනී
දියණි කොතැනදෝ වැටුණී
පතිනි මවුනී සළඹ උනා පංචායුද දරන්න

ඇය වේමැ යි.. අප විද්‍යා
ඇය වේමැ යි.. අප සේයා
ඇයයි රිසානා නොඑනා
පතිනි මවුනි පොළොවෙ හැපී
සළඹ හඬින් හඬන්න
යකඩ පිරිමි හද පෑරී ලේකිරි බිඳු එරෙන්න

ඇතිනි මවුනි
ඇය වේමැයි.. ඔබෙ අම්මා
ඇය වේමැයි.. ඔබෙ නංගා
දෝණි කිරිසිනා නගනා
පුතුනි ඔබේ මවු සොයුරිය
කිරිකැටි දුව රකින්න
තෙදැති ගුණැති පිරිමි කමට මල් පූජා කරන්න

මීට කලකට ඉහත දී වඳ වී ගියේ යැයි සැලකෙන සත්ත්ව විශේෂයකට අයත් සත්ත්වයෙකු යළිත් හමු වූ කලෙක සත්ත්ව විද්‍යාඥයෙකුට, පරිසරවේදියෙකුට ඇතිවන මහා ආනන්දය මා හට මෑතක දී ඇති විණ. ඒ රත්න ශ‍්‍රී විජේසිංහ නම් වූ ගීත රචකයාණන්, කිවියරයාණන් විසින් විරචිත අලුත් ම ගීතයක් අසන්නට ලැබීමෙනි. මහත් කාව්‍යමය ශ‍්‍රමයකින් හෙබි ගීත රචනා විශේෂයක් 1970-80 දශකවල දී ද 90 දශකයේ යම් කාලයක් ද අපට අසන්නට ලැබිණ. මේ ගීත රචනා බලඇණියේ ප‍්‍රමුඛතාව ගත්තෝ මහගමසේකර, මඩවල රත්නායක, ඩෝල්ටන් අල්විස්, රත්න ශ‍්‍රී විජේසිංහ, සුනිල් ආරියරත්න, සුනිල් ආර්. ගමගේ, රන්බණ්ඩා සෙනෙවිරත්න, කුලරත්න ආරියවංශ ආදීහු ය.

එහෙත් මෙවැනි ගේය පද රචකයන්ගෙන් වුව ද 2010න් පසුව එළැඹුණු දශකයේ දී ඒ හැටි හොඳ ගීත රචනා වී දැයි සැකයක් පවතී. ඊට හේතු සාධක වන සමාජ, දේශපාලන, ආර්ථික සංඝටක රාශියක් හඳුනාගත යුතු වේ. එහෙත් මේ ලිපිය එවැනි කාර්යයක් සඳහා වූවක් නොවේ. මේ ලිපිය මුළුමනින් ම වෙන්වන්නේ රත්න ශ‍්‍රී විජේසිංහයන් අතින් මෑතක දී ලියැවී ඇති අන්තර්ජාලය ඔස්සේ අසන්නට ලැබුණු ඇතිනි මවුනි දරු ලද පසු ඇතින්න ගීතය සම්බන්ධයෙන් යම් විවරණයක යෙදීමටයි.

පසුගිය වසර කිහිපයේ දී ශ‍්‍රී ලංකාව තුළ මහා සදාචාර රැල්ලක් හමා යමින් පැවතියේය. එය කොතෙක් උග‍්‍ර වී ද යතොත් අනාගමික ආයතනික පද්ධතීන් තුළට ද ආගම ද සදාචාරවාදය ද කාන්දු වෙමින් තිබූ බව නිරීක්ෂණය කරන්නට ලැබෙයි. ඒ සඳහා ඉහළ වෙළෙඳපොළක් ලංකාවේ සමාජය තුළ නිර්මාණය වන්නට විය. උදාහරණයක් ලෙස මෙරට බොහෝ ජනමාධ්‍ය ආයතනයන්හි උදේ හවා නොමැති ව පිරිත් ද ධර්ම දේශනා ද ප‍්‍රචාරය කෙරෙයි. මීට දශක ගණනාවකට කලින් මෙවැනි ආගමික වැඩසටහන් සඳහා ප‍්‍රමුඛත්වයක් ලැබුණේ රජයේ විද්‍යුත් මාධ්‍යවලින් පමණි. පසුව වාණිජ මාධ්‍ය සියල්ල තමන්ගේ වෙළෙඳපොළක් බවට බණ දහම් පත් කර ගන්නා බවක් පෙනී යන්නට විය. ඇතැම් ධර්ම දේශකයෝ සංගීත භාණ්ඩ ද උපයෝගී කර ගනිමින් කවි ගයනා ආදිය කරන තත්ත්වයට ඇද වැටිණ. මොනතරම් බණ දහම් උදේ හවස ප‍්‍රචාරය කෙරුණු රට තුළ සාදාචාරය නොවේ වර්ධනය වූයේ. මෙරට සමාජය විසින් අනාගත අම්මාවරුන් වන කුඩා සිඟිත්තියෝ ද පාසල් සිසුවියෝ ද සමූහ දූෂණයන්ට ලක් කොට අමානුෂික ලෙස වධ හිංසා කොට ඝාතනය කරනු ලැබූහ. මෙය එක පුද්ගලයෙකුගේ හෝ දෙදෙනකුගේ ක‍්‍රියාවක් පමණකැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් ඒ දෙතුන් දෙනා හෝ නිර්මාණය කර ගත්තේ අප සමාජය විසින් ම ය. ඔවුන් ඇති දැඩි වූයේ විදේශීය සමාජයක නොව මේ ධර්මද්වීපයේ ම ය.

රත්න ශ‍්‍රී විජේසිංහයන් විසින් විරචිත මේ, ඇතිනි මවුනි දරු ලද පසු ඇතින්න, ගීතය ඇසට කඳුළක් නඟන්නාවූත් අප ජීවත් වන සමාජය බරපතළ ලෙස ප‍්‍රශ්න කරන්නාවූත් එකකි.

රත්න ශ‍්‍රී විජේසිංහයන් පත්තිනි දේවිය සිය නිර්මාණ කෙරෙහි විටින් විට සහසම්බන්ධ කර ගනී. වැරහැලි ඇඳ අඩු කුළියට ගීය ඒ සඳහා කදිම නිදසුනකි. එම ගීතය පහතින් උපුටා දැක්වේ.

වැරහැලි ඇඳ අඩු කුලියට
සළු මැසුව කුමාරී
ඉඳිකටුව අතේ ඇනුනාදෝ
නිදන කුමාරී..
වැරහැලි ඇඳ අඩු කුලියට
සළු මැසුව කුමාරී..

තණ පලසේ බිම හොවින දිගා වී
ළැම කිනිසි තුඩක් ඇනුන කුමාරි
කනකර ගලවා රැුයට මුවාවී
මරු රැුගෙන ගියේ කොයිද කුමාරී..

බිම යකඩ කඳන් වලට මුවාවී
සුදු මිනී මලක් නඩුව තියාවී
සත් පතිනි මවුන් අවදිව ඒවී
උන් උදුරා ගත් සළඹ ගෙනේවී

තවත් ගීතයක දී රත්න ශ‍්‍රී පත්තිනි දෙවගන පිළිබඳ සංකල්පය වෙනත් ආකාරයකින් ගෙන එයි.

මන්නාරම් කන්‍යාරාමය ඇරිලා
වැලිපාරේ මං ආවා
පේසාලෙයි හන්දිය ළග
කනේරු මල් ගහ පාමුල
ඔබ පර වී වැටිලා
පපුවෙන් ලේ ගැලුවා

ඔබ නැතිව ගියේ මට ම යි
මේ රටට නොවෙයි
මහපොළොවට මිස මිනිස්කමට
පෙම් නොකරන රටට නොවෙයි
නැගිටින්න එපා
නැගිට කොහේ යන්න ද අපි
ඉතිං කෝවලන්
ගිනි ගන්න රටක් නෑ
රට ගිනිගෙන ඉවරයි
මේ සොහොන් බිමේ දිනෙන් දින ම
පස් කදු වැඩි වෙයි
නැගිටින්න එපා
නැගිට කොහේ යන්නද අපි
ඉතිං කෝවලන්

කතුන්ට වන අසාධාරණයන් නිරූපණය කිරීම සඳහා රත්න ශ‍්‍රී සිය සාහිත්යික ගමන් මගේ විවිධ අවස්ථාවන්හි දී පත්තිනි දේවිය යොදා ගෙන ඇති බව පෙනී යයි. පතිනි මවුවරුන් හත් දෙනෙකු ගැන ශ‍්‍රී ලාංකේය ජනශ‍්‍රැතියේ හමුවේ. සිද්ධ පත්තිනි, සලඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිනි හා සත් පත්තිනි යනුවෙන් එම පත්තිනි මෑණිවරුන් හැඳින් වෙයි. දෙමටමලෙන්, ගින්නෙන්, නයි කඳුළෙන්, විදුලියෙන්, පිනි බිඳුවෙන්, සිනා රැල්ලෙන්, අඹ ගෙඩියෙන්, සළුවෙන්, නුග කොළයෙන්, කඳුරු පොත්තෙන්, ජලයෙන්, දළයෙන්, උපන් බව ද ජන කතාවල සඳහන් වෙයිි.

පත්තිනි දෙවියන් පිළිබඳ ඇඳහීම ශ‍්‍රී ලංකා සමාජයට පැමිණෙන්නේ දකුණු ඉන්දියාවෙනි. දකුණු ඉන්දියාවේ දී පත්තිනි දේවිය ඇඳහෙන්නේ කන්නගි යන නමිනි. කන්නගි යනු සිලප්පදිකාරම් නමැති ඉන්දීය වීර කාව්‍යයේ එන ප‍්‍රධාන චරිතයකි. පළමු වැනි ගජබාහු රජුගේ කාලයේ දී පත්තිනි ඇඳහීම ලංකාවට පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

සිලප්පදිකාරමෙහි එන කන්නගි යනු සිය ස්වාමි පුරුෂයාට එරෙහිව පාණ්ඩ්‍ය රජුගෙන් පළිගන්නා තනැත්තියකි. ඇයගේ ස්වාමිපුරුෂයා කෝවලන් ය. රත්න ශ‍්‍රී විජේසිංහයන් විසින් කන්නගියගේ නම භාවිත කිරීමකින් තොරව ඉතා අපූරු ලෙස ඇයගේ අපූර්ව කාන්තා මැදිහත් වීම මන්නාරම් කන්‍යාරාමය ගීතයෙන් මූර්තිමත් කරයි. වෙඩි වැදී සැමියා මිය ගිය කාන්තාවගේ විළාපය එම ගීතයේ ආත්මය බවට පත් වී ඇත. කන්නගිය ද තම සැමියා මරා දැමූ පාණ්ඩ්‍ය රජුගේ රාජධානිය ගිනි තබා විනාශ කරයි.

පත්තිනි මවුන් තුළින් නිරූපණය වන කාන්තා ආත්මය රත්න ශ‍්‍රී ඉහත සඳහන් ගී තුනෙහි ම මනාව ගැප් කර ගනී.

අපගේ විෂයට පාත‍්‍ර වන නවත ම ගී රචනා වන ඇතිනි මවුනි ගීතයේ දී කුඩා දැරියන් කෙළෙසා ඝාතනය කිරීමේ වරදකරුවන්ට එරෙහිව දඩුවම් දෙන්නයැයි රත්න ශ‍්‍රී විජේසිංහ පත්තිනි මෑණියන් වෙත යෝජනා කරයි. කන්නගියගේ සැමියා වූ කෝවලන් හට මරණ දණ්ඩනය හිමි වන්නේ ඇයගේ පා සළඹක් විකිණීමට යෑමේ දී ය. කෝවලන් ආර්ථික වශයෙන් අර්බුදයකට එළැඹෙන තැන කන්නගිය විසින් සිය ඉතා මිළ අධික පා සළඹ විකුණා මුදල් කර ගැනීමට ඔහුට ලබා දෙයි. ඔහු එය විකිණීමට යෑමේ දී එය පාණ්ඩ්‍ය රැජිණගෙන් සොරකම් කරන ලද්දක් යැයි සැක සිතා අත්අඩංගුවට ගෙන නඩු විභාගකර කෝවලන්ට මරණ දඩුවම නියම කෙරෙයි. පසුව කන්නගිය සැබෑ සළඹ ගෙන එහි ඇති මාණික්‍යයන් සහ රැජිනගේ සළඹේ ඇති මාණික්‍යයන් දෙවර්ගයක් බව පෙන්වා දී රජු වැරදි සහගත බව ඔප්පු කර පෙන්වයි. පසුව කන්නගියගේ සාපයෙන් සමස්ත මධුරා පුරය ගිනි ගෙන දැවෙයි.

සළඹ යනු සත්‍යයේ සලකුණ බවට පත් වෙයි. සැබෑ සළඹ පෙන්වීමෙන් රජු වැරදි බව පසක් වෙයි. පත්තිනි දේවියට රචකයා ඇරයුම් කරන්නේ දැන් ලංකාවේ පංචායුද රැකීමේ කාලයක් එළඹ ඇති බවයි. එදා සළඹේ සැබෑ අයිතිය රැකීම හෙවත් සිය ස්වාමිපුරුෂයාගේ නිර්දෝෂීයභාවය වෙනුවෙන් පෙනී සිටියාක් මෙන් කුඩා දැරියන්ට එරෙහිව සිදු වන පද්ධතිගත අසාධාරණයට එරෙහි වන්නැයි ගීතය රචකයා පත්තිනි දේවිය වෙත යෝජනා කර සිටී.

පතිනි මවුණි සළඹ උනා පංචායුද දරන්න යන කාව්‍ය භාෂණය ඉතා ප‍්‍රබල වූ සංකල්පනාවක් ගෙනහැර පාන්නේ සංදර්භයන් දෙකක් ඒ ඒ සංදර්භයන්ට හානි නොවී වේදනා නොදී ඝට්ටනය කිරීම නොහොත් සමපාත කිරීම කිරීම තුළයි.

ශ‍්‍රී ලංකාවේ ළමා අපචාර ප‍්‍රශ්නය සුළු පටු වූවක් නොවේ. ජාතික ළමාරක්ෂණ අධිකාරිය නිකුත් කර ඇති නිල වාර්තා අනුව 2015 වසරේ දී පමණක් ළමා අපචාර සිද්ධි 10,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. එය නිශ්චිත සංඛ්‍යාවක් ලෙස පවසන්නේ 10,732කි. ඊට කලින් වසරේ දී එනම් 2014 වසරේ දී සිදු වී ඇති ළමා අපචාර සංඛ්‍යාව 20,315කි.

මා නැවත නැවතත් මෙම ගීතය පිළිබඳ මහත් අහ්ලාදයකින් වනන්නේ ඉතා සෞන්දර්යාත්මක වේශයකින් අපගේ මනස තැති ගැන්වීමට ඊට ඇති හැකියාව හේතුවෙනි. එසේත් නොමැති නම් සෞන්දර්ය තුළින් පද්ධතිගත ගැටලූ හෙවත් ලංකාවේ සාර්ව සහ ක්ෂූද‍්‍ර දේශපාලනික ගැටලූ පිළිබඳ ගේය පද රචකයා හෙළන අතිශය ශක්තිමත් සහ ඉසියුම් දෘෂ්ටිය හේතුවෙනි.

ඇය වේමැයි.. අප විද්‍යා
ඇය වේමැයි.. අප සේයා
ඇයයි රිසානා නොඑනා
පතිනි මවුනි පොළොවෙ හැපී
සළඹ හඬින් හඬන්න
යකඩ පිරිමි හද පෑරී ලේකිරි බිඳු එරෙන්න

යන පළමු අන්තරා කොටසේ දී මහා වාග් ප‍්‍රතිහාර්යයක් පෑමට රත්න ශී‍්‍ර සමත් වෙයි. ජාතික ගීය ගැයීමේ දී ඔබ වේ අප විද්‍යා යැයි අපි සිය දහස්වර ගයා ඇත්තෙමු. එහෙත් අපේ රටේ විද්‍යලා පඳුරු අස්සට පැහැර ගෙන ගොස් දූෂණය කොට මරා දැමෙති. දුෂණය කරන හැටි වීඩියෝ කෙරේ. එවැනි කෙළෙසුනු හදවත් ඇති මිනිසුන්ගේ රාජ්‍යයක් ශ‍්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇතැයි කීමට රත්න ශ‍්‍රී භාවිත කරන්නේ වචන දෙක තුනකි. “ඇය වේමැ යි.. අප විද්‍යා”
කී පමණින් ඇති වන උත්ප‍්‍රාසය කියා නිම කිරීමට නොහැක්කකි. බරපතළ දේශපාලන විවේචනයකි. එබැවින් මෙවැනි වාග් හරඹයක් පෑ මෙම කවීන්ද්‍රයාට හිස නමා ගෞරව කිරීම නොවටනේ ද?

එහෙත් එතැන් පටන් ගීතය සම්බන්ධයෙන් මා තුළ ඇත්තේ කලාත්මක විරෝධයකි. එතැන් සිට රත්න ශ‍්‍රී තුළ මෙතෙක් ජීවත් වූ කලාකරුවා දියැවී උපදේශ සපයන්නා ඉස්මතු වෙතැයි මට සිතේ.

“යකඩ පිරිමි හද පෑරී ලේකිරි බිඳු එරෙන්න” යනු විසින් කියූ තන්හි දී යම් පොදුකරණයක් (generalization) මතු වෙතැයි පෙනී යයි. පිරිමි යනු දැඩි හදවත් කොට්ඨාසයකි, ඔවුන් කාන්තාවන් පෙළන්නන්ය යන පොදුකරණය පිළිබඳ හැගීමක් මෙනයින් ආවේශණය නොවේද?. පොදුකරණය කිසිසේත්ම සෑම සියලු දේට ම එක ලෙස ගැලපෙන්නේ නැත. කිහිපදෙනෙකුගේ චර්යා බලා සියලු දෙනා ම මේ වගේ යැයි කීම ශාස්ත‍්‍ර විරෝධී වේ ( Oftentimes, generalizations are not entirely true, because there may be examples of individuals or situations wherein the generalization does not apply)

සේයාගේ ඝාතනයත් සමගින් මෙම පොදුකරණය ඉතා භයානක ලෙස ශ‍්‍රී ලංකා සමාජයේ පැතිර ගියේය. සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් මුලින්ම නම් පටබැඳුණේ සේයාගේ තාත්තාටයි. පසුව සේයාගේ සීයාට නම් පටබැඳිණ. තාත්තලා ළග කුඩා දැරියන් තියා නොයන තත්ත්වයට සමාජය ආකල්පමය වෙනසකට බඳුන් විය. දියණියන්ට පියවරුන්ට එකට සිට රූපවාහිනියේ ප‍්‍රවෘත්ති නැරඹීමට නොහැකි කාලයක් පැවතිණ. ඒ ගැන බොහෝ පියවරු දුක් ගැනවිලි ස්වරයෙන් සිය මිතුරුන් සමග කියූහ.

දෙවැනි අන්තරා කොටස සම්පූර්ණයෙන් වෙන් වී තිබෙන්නේ උපදෙස් දීමටය. එබැවින් ඒ ගැන විචාරයක් සැපයීමට නොයමි.

ඇය වේමැයි.. ඔබෙ අම්මා
ඇය වේමැයි.. ඔබෙ නංගා
දෝණි කිරිසිනා නගනා
පුතුනි ඔබේ මවු සොයුරිය
කිරිකැටි දුව රකින්න
තෙදැති ගුණැති පිරිමිකමට මල් පූජා කරන්න

දෙවැනි අන්තරා කොටසේ දී ද උපදෙස් ලබා දීමේ ප‍්‍රචාරකවාදී වැඩපිළිවෙළකට අවතීර්ණ වනවාට වඩා වඩාත් කලාත්මක වූ ද සමාජ දේශපාලනික ප‍්‍රශ්න ගැඹුරින් විමසන්නා වූ ද පර්යාවලෝකයක් සොයා ගැනීමට රචකයා සමත් වී මේ ගීතය දශකයේ ගීතය ද වශයෙන් නම් කිරීමට අපි කැමැත්තෙමු.

දර්ශන අශෝක කුමාර

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *