ලෝක බල දේශපාලනය තුළ චීනය සැබැවින් ම මකරෙක් ද?

China flagදර්ශන අශෝක කුමාර

ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා විසින් 1990 දශකෙය් දී ඉතිහාසයේ අවසානය සහ අවසාන මිනිසා (^The End of History and the Last Man) මැයෙන් කෘතියක් රචනා කරන ලදී. ඉතිහාසයේ අවසානය මැයෙන් ඔහු විසින් ඊට පෙරාතුව ද නැෂනල් ඉන්ටරෙස්ට් නම් අන්තර් ජාතික සඟරාවට ලියන ලද ලිපියේ දිගුවක් වශයෙන් රචනා කරන ලද්දකි. මනුෂ්‍ය වර්ගයා සමාජ සංස්කෘතික පරිණාමයේ අවසානය බටහිර ලිබරල් ප‍්‍රජාතන්තවාදය වනු ඇති බව ඔහුගේ තර්කය විය. ඊට හේතු වූයේ නිරවි යුද සමය අවසන් කරමින් සෝවියට් දේශය කඩා වැටීමයි. සෝවියට් දේශය සමාජවාදයේ ප‍්‍රධාන බල කඳවුර වූ අතර එය බිඳ වැටීමෙන් පසු ඉදිරියට මිනිසුන් සමාජ සංස්කෘතික වශයෙන් පරිණාමය වන්නේ ලිබරල් ප‍්‍රජාතන්තවාදය අනුව බවට ෆුකුයාමා තර්ක කළේය.

1990 දශකයේ ෆුකුයාමාට එසේ දකින්නට හැකියාව තිබුණ ද අද වන විට ලෝකය ඊට වඩා වෙනස් ව ගොසින් ඇති බවක් පෙනී යයි. අද ලෝක ආර්ථිකයේ දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට චීනය සමත් වී සිටී. ඒ දළ දේශීය නිෂ්පාදනය අතිනි. නමුත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අතින් ගත් විට චීනය පළමුවෙන් සිටින බව පෙනී යයි.
නමුත් ෆුකුයාමාගේ තර්කය ඒ හැටියෙන්ම සත්‍යය නොවන බව චීනය ඇසුරින් පෙනී යයි. මක් නිසාද යත් චීනය යනු ලිබරල් ප‍්‍රජාතන්තවාදය අනුව කියාත්මක නොවන රටක් වන බැවිනි. චීනය පාලනය කරනු ලබන්නේ එක් දේශපාලන පක්ෂයක් මගිනි. එරට බහු පක්ෂ ක‍්‍රමයක් නොමැත. මීට අතිරේක වශයෙන් රුසියාව ගත්ත ද රුසියාවේ ද ෆුකුයාමා අපේක්ෂා කළ ආකාරයේ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් කියාත්මක නොවේ. විශ්ලේෂකයන් සඳහන් කරන පරිදි රුසියාවේ ඇත්තේ තත්ත්වාකාරයෙන් පෙනෙන්නාවූ ඒකාධිපතිවාදයකි (de facto authoritarianism.)

ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අසර් ගට් මහතා සඳහන් කරන්නේ රුසියාවේත් චීනයේත් සාර්ථකත්වය තුළින් ඉතිහාසය අවසන්යැ යි යන න්‍යායේ අවසානය සලකුණු කරනු ඇති බවයි. දැන් මේ වන විට චීනය සහ රුසියාව ප‍්‍රමුඛ එක් කඳවුරකුත් ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය ප‍්‍රමුඛ තවත් කඳවුරකුත් ලෝක බල කඳවුරු වශයෙන් නිර්මාණය වී අවසන් වී ඇත.

මගේ විශේලේෂණය අනුව මා නම් විශ්වාස කරන්නේ මේ කඳවුරු දෙකින් එකකට හෝ අන්තර් ජාතික දේශපාලනය තුළ කළ හැකි බලපෑම්වල ප‍්‍රමාණයන් එකිනෙක මතින් සංතුලනය වී ඇති බවයි. එය අන්තර් ජාතික බලපෑම් දේශපාලනයේ අවසානය වශයෙන් හඳුනාගැනීමට මා කැමැත්තෙමි. ශී‍්‍ර ලංකාව ආදී තුන්වැනි ලෝකයේ රටවලට බලපෑම් කිරීමේ හැකියාව ප‍්‍රබල වශයෙන් පැවති යුගයක් පැවතිණ. උදාහරණයක් ලෙස ශී‍්‍ර ලංකාවට එක්කෝ ඇමරිකා එක්සත් ජනපදයට හිතවත් රටක් ලෙස එම කඳවුර හා එක් වී සිටීමට හැකියාව තිබිණ. නැත්නම් සෝවියට් දේශයට හිතවත් රටක් ලෙස එම කඳවුර සමඟ එක් ව සිටීමට හැකියාව තිබිණ. මා දකින ආකාරයෙන් ඒ දේශපාලනය දැන් අවසන් වී ඇත. ඇමරිකා එක්සත් ජනපදයට කිසියම් රටක ආණ්ඩුවක් පෙරළා නව ආණ්ඩුවක් පත් කිරීමේ රහසිගත වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කළ හැකිය. එහෙත් අලුතින් පත්වන ආණ්ඩුවට තවදුරටත් ඇමරිකාවේ පිළිසරණින් පමණක් පැවතීමට නොහැකි වනු ඇත.

ඇමරිකාවේ ආර්ථිකය බෙහෙවින් ලෙඩ වී තිබේ. ණය වී තිබේ. එහෙත් ඇමරිකාව අවි ආයුධ සඳහා වියදම් කරන මුදල කිසිසේත් අඩු කර නැත. ඉතාම නවීන පන්නයේ ආයුධ කන්දරාවක් ඇමරිකාව සතුව තිබේ. ඇමරිකාවේ ආරක්ෂක වැය නිල වශයෙන් සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 700කට ආසන්න වේ. රහස් ඔත්තු සේවා ආදියට නිල නොවන වශයෙන් තවත් මුදල් වැය කෙරේ.

ඇමරිකා එක්සත් ජනපදය පසුගිය කාලය මුළුල්ලේ දී අන්තර් ජාතික මැදිහත් වීම් කළේ අවි ආයුධ මඟිනි. බොහෝ රටවලට කඩා පැන මිනිසුන් මරා තමන්ට හිතවත් ආණ්ඩු පිහිටුවා ගැනීම ඇමරිකාවේ පිළිවෙත විය. මෙය තුවක්කු බෝට්ටු රාජ්‍යතන්ත‍්‍රය (^Gunboat Diplomacy) යැයි විචාරකයෝ පවසති.

මීට ප‍්‍රතිපක්ෂ ව චීනය විසින් අනුගමනය කරනු ලබනන්නේ ආර්ථික රාජ්‍ය තන්ත‍්‍රයයි (Economic Diplomacy) අන්තර් ජාතික දේශපාලනයේ දී වෙළඳ සම්බන්ධතා මෙවලමක් ලෙස යොදා ගැනීම ආර්ථික රාජ්‍ය තන්තයේ ලක්ෂණයයි. ආසියාවේ ද අප‍්‍රිකාවේ ද බොහෝ රාජ්‍යයන් කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාව චීනය මේ වන ලබා ගෙන තිබේ. ආයෝජන මඟින්, ආනයනය අපනයන මඟින් ණය දීම් මගින් ආධාර දීම් මගින් මෙන්ම නිදහස් වෙළෙඳ ගිවිසුම් ආදිය මගින් ද චීනය සෙසු රටවල් සිය දේශපාලන න්‍යාය පත‍්‍රය සමග ගළපා ගනී.

ඇමරිකා එක්සත් ජනපදය රටවල්වලට පැන ඒවා ගිනිබත් කොට තමන්ට අවශ්‍ය ආකාරයේ පාලකයන් පත් කර ගනිද්දී චීනය කරන්නේ හීන් නූලෙන් ආර්ථික රාජ්‍ය තන්ත‍්‍රය භාවිත කිරීමයි. මේ අතරවාරයේ දී ම ඇමරිකාව තරම් නැති වුවත් චීනය ද දිනෙන් දින තමන්ගේ ආරක්ෂක ශක්තිය වර්ධනය කර ගනී. චීනයේ මේ වන ආරක්ෂක වැය ඇමරිකානු ඩොලර් බිලියන 130ක් ඉක්මවයි. එය හුදෙක් නිල අගයක් පමණි. ඇතැම් විට රහසිගත රාජ්‍යයක් වන චීනයේ ආරක්ෂක වැය බොහෝ වැඩි විය හැකිය.

ඇමරිකාවේ තුවක්කු බෝට්ටු රාජ්‍ය තන්ත‍්‍රයත් චීනයේ ඇර්ථික රාජ්‍ය තන්ත‍්‍රයත් දැන් එකට එක සම්මුඛ වී තිබේ. ජාත්‍යන්තර දේශපාලනය තුළ එකකට අනෙක ඉක්මවා යා නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. මෙනයින්, ඇමරිකාවට හෝ චීනයට මුළුමනින් තවත් රටක් කෙරෙහි බලපෑම් කිරීමට හැකි බලපෑම් දේශපාලනය එක්තරා අතකින් අහෝසි වී තිබේ.

මේ අනුව අප සියලු දෙනා ඉතිහාසයේ එක්තරා නිශ්චිත සංධිස්ථානයකට පැමිණ තිබේ. ආර්ථික බලය ද හමුදා බලය ද අතර ආතතියක් නිර්මාණය වී ඇත. ඇතැම් විට මෙය තවත් ලෝක යුද්ධයකින් අවසන් විය හැකිය. මේ තත්ත්වය යටතේ ඉන්දීය සාගරය බල දේශපාලනයේ ( power politics) කේන්ද්‍රස්ථානයක් බවට පත් වී තිබේ. එහිදී ඉන්දීය සාගරයේ ඇති දූපත් භූ දේශපාලනික ඉතා වැදගත් ආස්ථානයක් හිමි කර ගනී.

අපගේ කියවීම අනුව කිසියම් බලකඳවුරක් විසින් ඉන්දියන් සාගරයේ ඇති දූපත්වල බලපෙරළියක් කළ පමණින් එහි දීර්ඝ කාලීන ප‍්‍රතිඵලයක් නොමැත. උදාහරණයක් වශයෙන් ඇමරිකානු බල කඳවුරේ මැදිහත් වීම යටතේ ඉන්දියානු සාගරයේ කිසියම් රටක බල පෙරළියක් සිදු වුව ද ඊට සමාන ව චීන ආර්ථික බලපෑම ප‍්‍රබල ව සිටී.

මෙහි දී ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයන් අවධානයට යොමු කළ යුතු කරුණක් ඇත. එනම්, අන්තර් ජාතික බලකඳවුරුවලට නෑකම් කී පමණින් ශ‍්‍රී ලංකාවේ ශක්තිමත් රාජ්‍යයක් නිර්මාණය කර ගත නොහැකිය යන කරුණයි. අනෙක් කරුණ නම්, චීනය කඳවුරක් ලෙස ගතහොත් හුදෙක් උත්සුක වන්නේ දේශපාලනික න්‍යාය පත‍්‍රයට වඩා ආර්ථික න්‍යාය පත‍්‍රයටයි. උදාහරණයක් ලෙස තායිලන්තයේ සිවිල් ආණ්ඩුව පෙරළා හමුදා ආණ්ඩුවක් පත් කර ගැණින. චීනය සිවිල් ආණ්ඩුවත් සමඟ කළ ගනුදෙනුවට සමාන ගනුදෙනුවක් හමුදා ආණ්ඩුවත් සමගත් කරමින් සිටී. චීනයට ඇත්තේ හමුදා මූලෝපායික සැලැස්මක් මිස අන් කෙවතක් නොවේ. එනයින්, චීනයට කිසියම් රටක බලයේ ඉන්නේ හොඳ මිනිහෙක් ද නරක මිනිහෙක් ද යන්න ඒ තරම් වැදගත් නොවේ.

අන්තර් ජාතික ප්‍රධාන බලකඳවුරු දෙකටම එකකට එකක් හැප්පෙන පරිදි සම-සම ව සිටීයි. එහි ප‍්‍රතිඵලය නම් අන්තර් ජාතික දේශපාලනයට ජාතික දේශපාලනයන් කෙරෙහි කළ හැකි බලපෑම සීමිත පරාසයකට හෙවත් කෙටි කාලයකට පමණක් සීමා වීමයි. එනයින් 1980 හෝ 1990 දශකවල දී පැවති දේශපාලනයට වඩා හාත්පසින් ම වෙනස් දේශපාලනයක් 2010 පසු උදා වූ දශකයේ දැක ගන්නට ලැබේ.

අපගේ කියවීම අනුව මෙරට දේශපාලකයන් තමන්ට ශක්තිමත් ආණ්ඩු නිර්මාණය කර ගැනීමට අවශ්‍ය නම් කළ යුතුව ජාතික දේශපාලනය දෙසට හැරීම මිස අන්තර් ජාතික දේශපාලන බලකඳවුරුවල පිළිසරණ පැතීම නොවේ. පොදු මහජනතාවගේ සිත් දිනා ගැනීමෙන් මිස අන් කිසිදු ආකාරයකින් ඉදිරියේ දී ස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය කිරීමට කිසිදු දේශපාලන පක්ෂයකට හැකියාවක් නොමැති වනු ඇත. මෙය කලාපීය භූ දේශපාලනික යථාර්ථයකි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *