මොනව ද මේ “පැනමා පත්‍රිකා”?

panama paapers

සටහන – දර්ශන අශෝක කුමාර

අද වන විට ලෝක තලයේ වඩාත් කථා බහට ලක් වී ඇති මාතෘකාවක් ලෙස පැනමා පත‍්‍රිකා සිද්ධිය පෙන්වා දීමට හැකිය. පැනමා පත‍්‍රිකා යනු මොනවාදැයි බොහෝ දෙනෙකුට ගැටලුවක් වේ. පැනමා පත‍්‍රිකා යන ජනප‍්‍රිය නාමය ලැබී ඇත්තේ පැනමා රාජ්‍යයේ ඉතා රහසිගත නීති සමාගමක් වන මොසැක් ෆොන්සේකා (Mossack Fonseca) සමාගම සතුව තිබූ රහසිගත තොරතුරුය. මෙය ඇතැම් දෙනෙක් සඳහන් කරන්නේ මෙතෙක් ලෝක ඉතිහාසයේ හෙළිදරව් වූ විශාලතම රහසිගත තොරතුරු ප‍්‍රමාණය බවයි.

මොසැක් ෆොන්සේකා සමාගම ලෝකය පුරා සිය කාර්යාල 40ක් පවත්වා ගෙන යයි. චීනයේ කාර්යාල 09ක් පමණ ඇත. ලතින් ඇමරිකාවේ ද ඇමරිකා එක්සත් ජනපදයේ ද යුරෝපයේ ද ස්විට්සර්ලන්තයේ ද තව කාර්යාල ගණනාවක් වේ. මෙම සමාගම බදු පැහැර හැරීම සඳහා ධනකුවේරයන්ට උපකාර කරන ආයතනයක් වශයෙන් දීර්ඝ කාලයක් ප‍්‍රචලිත ව පැවතිණ. මෙම ධනකුවේරයන් බොහෝ විට ඉතා අයථා ක‍්‍රම මගින් ධනය උපයා ගත් පිරිස් වෙති. බොහෝ අය දූෂිත ව්‍යාපාරවලට සම්බන්ධ වූවෝ වෙති. තවත් අය රාජ්‍ය තන්ත‍්‍රය මෙහෙය වීමේ යෙදෙන අතර ඒ ඔස්සේ මහජන මුදල් සූරා කෑවෝ වෙති.

දැනට අනාවරණය වී ඇති කරුණු අනුව දැනට බලයේ සිටින සහ බලයෙන් ඉවත් වී සිටින රාජ්‍ය නායකයන් 12 දෙනෙකු මහා බදු වංචා සිදු කළ බවට පැනමා පත‍්‍රිකා අනුව හෙළිදරව් වී තිබේ. ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ ඥාතීන් සහ දේශපාලනඥයන් 60 දෙනෙකුගේ තොරතුරු ද හෙලිදරව් වී ඇත. මොසැක් ෆොන්සේකා සමාගම කරන්නේ මුදල් විශුද්ධිකරණය සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කර දීමයි. එසේත් නොමැති නම් ඒ ඒ රටවල ඇති අයථා ලෙස රැස් කර ගත් මුදල් හොර රහසේ පිට රටවලට ගෙන්වා ගැනීමේ රහසිගත වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමයි. මෙය ඉතා පැහැදිලි ලෙස අන්තර් ජාතික නීතිය උල්ලංඝනය කිරීමකි.

රුසියාවේ ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතාගේ සමීපතමයන්ගේ නම් පැනමා පත‍්‍රිකා සිද්ධියට ඇඳී ඇත. ඊට අමතර ව චීන ජනාධිපති ෂී ජිං පිං, යුක්රේනයේ ජනාධිපති පෙත්‍රෝ පොරෂෙන්කෝ, මහා බි‍්‍රතාන්‍යයේ අගමැති ඩෙවිඞ් කැමරන් මහතාගේ පියා, පාකිස්ථානයේ ජනාධිපති නවාස් ෂරීෆ් ආදීන්ගේ තොරතුරු මෙහි දී හෙළිදරව් වී තිබේ. අයිස්ලන්තයේ අගමැති සිග්මන්දුර් ගුන්ලොග්සන් (Sigmundur Gunnlaugsson) මහතාගේ බිරිඳගේ වත්කම් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වූ අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අයිස්ලන්ත අගමැතිවරයා ඉල්ලා අස්විය.

දේශපාලනඥයන්ට අමතර ව ලෝක පාපන්දු සම්මේලනයට සම්බන්ධ බොහෝ දෙනෙකුට ද පැනමා පත‍්‍රිකා ඔස්සේ බරපතළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. මෙම මහා මූල්‍ය වංචාවන් සිදු කරන ආකාර ගණනාවක් වේ. ඉන් එකක් නම් සිප්පිකටු සමාගම් shell companies) නිර්මාණය කිරීමයි. මෙම සිප්පි කටු සමාගම් යනු නමට පමණක් ක‍්‍රියාත්මක වන ඒවා වෙයි. මෙම සමාගම් ලියාපදිංචි කර ඇත. නීත්‍යනුකූල ආකාරයෙන් ක‍්‍රියාත්මක වන බවත් පෙන්නුම් කෙරේ. එහෙත් ඒවායේ අභ්‍යන්තරයේ කිසිවක් සිදු නොවේ. එනම් මෙම සමාගම් අභ්‍යන්තරය හිස් ය. මෙම සමාගම් සිප්පිකටු සමාගම් ලෙස හැඳින්වෙන අතර නොයෙකුත් මූල්‍ය දූෂණයන් සඳහා යොදා ගැනේ. අයිස්ලන්ත අගමැතිවරයාගේ බිරිඳට එල්ල වී ඇති එක් චෝදනාවක් වන්නේ එවැනි සිප්පිකටු සමාගම් පවත්වා ගෙන යෑමයි.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මොසැක් ෆොන්සේකා සමාගම පවසන්නේ තමන් අවුරුදු 40ක පමණ කාලයක් පුරා මෙවැනි ව්‍යාපාරයන්හි නිරත වන බවත් ඒවා කිසිවක් නීති විරෝධී නොවන බවත්ය. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ සිය ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරූපයට හානි කිරීම සඳහා සිතා මතා සැලසුම් කරන ලද වැඩසටහනක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි. මෙම හෙළිදරව් කිරීම පිටුපස සීඅයිඒ සංවිධානයත් තවත් රහස් ඔත්තු සංවිධාන ගණනාවක නිලධාරීනුත් සිටින බව හෙතෙම පැවසීය.

පැනමා පත‍්‍රිකා යටතේ හෙළිදරව් වී ඇති ලේඛන සංඛ්‍යාවට අදාළ දත්ත ප‍්‍රමාණය ගිගාබයිට් 2,600ක් පමණ වේ. එම පරිගණක ඉඩ ප‍්‍රමාණයෙන් ම කොතරම් ලේඛන සංඛ්‍යාව පිට වී ඇති දැයි සිතා ගත හැකිය. එක් ජර්මානු පුවතක් ලේඛන මිලියන 11.5ක් අන්තර් ජාතික ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ සංවිධානය (International Consortium of Investigative Journalists (ICIJ) සමග හුවමාරු කර ගෙන තිබේ. 2010 වසරේ දී සුප‍්‍රකට විකිලීක්ස් හෙළිදරව්වේ දී අනාවරණය වූ දත්ත ප‍්‍රමාණය ගිගාබයිට් 1.7ක් පමණි. 2015 වසරේ දී ස්විස් එච්.එස්.බී.සී බැංකුවට අදාළ ව හෙළිදරව් වූ දත්ත ප‍්‍රමාණය ගිගාබයිට් 3.3ක් පමණ වේ.

පැනමා පත‍්‍රිකා යටතේ විවිධ සමාගම්, පුද්ගලයන්, රාජ්‍ය නොවන සංවිධාන, භාරකාර අරමුදල්,පදනම් ආදී වූ විවිධ ආයතන 214,000ක තොරතුරු හෙළිදරව් වී තිබේ. මෙම පත‍්‍රිකාවල ඇති ඇතැම් තොරතුරු 1977 වසර තරම් ඈත කාලයට විහිදී යයි.

පැනමා ව බදු සුරපුරයක් ( tax haven) බවට බොහෝ කලක සිට ක‍්‍රියාත්මක වෙයි. ඇතැම් මූල්‍ය විශ්ලේෂකයන් සඳහන් කරන්නේ 1919 වසරේ සිට පැනමාව බදු සම්බන්ධයෙන් වෙනස් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. උදාහරණයක් ලෙස 1919 වසරේ දී පමණ ඇමරිකානු තෙල් නෞකා පැනමා හි ලියාපදිංචි කර ගැනීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක විය. එහි අරමුණ වූයේ එම නෞකා විසින් ඇමරිකාවට ගෙවනු ලබන බදු මුදල් වළක්වා ගැනීමයි. මේ සම්බන්ධයෙන් ස්ටෑන්ඩර්ඞ් ඔයිල් සමාගමට මුල් යුගයේ දී ම ඇගිල්ල දිගු විය. මේ යුගයේ දී ඇමරිකා එක්සත් ජනපදයට අයත් ඇතැම් මගී නෞකා ද පැනමාවේ ලියාපදිංචි විය. එහි අරමුණ වූයේ නීතිමය බාධාවකින් තොරව නෞකා තුළ දී මගින්ට මත්පැන් ලබා දීමට ඉඩ කඩ සැකසීමයි.

පැනමා ජනරජය විසින් ආයතන සහ තනි පුද්ගලයන්ගේ මූල්‍ය රහසිගතභාවය ආරක්ෂා කර ගැනීම සඳහා නීති ගණනාවක් මේ වන විට සම්මත කර ගෙන තිබේ. කිසියම් අයෙකු මෙම රහස්‍යභාවය හෙළිදරව් කළහොත් බරපතළ අපරාධ වරදක් යටතට පැනමා නීතිය යටතේ වැටේ. එසේම, කිසිදු ආයතනයක් පැනමාවේ මූල්‍ය සේවා ලබා ගැනීමේ දී ප‍්‍රසිද්ධියේ ලියාපදිංචි වීම අවශ්‍ය නොවේ. තමන්ගේ දේශ සීමාවෙන් පිටත සිට ක‍්‍රියාත්මක වන කිසිදු ගිණුමක් සම්බන්ධයෙන් කිසිදු බැංකුවකට තොරතුරු හෙළිදරව් කිරීමේ අයිතියක් නොමැත. පැනමාවේ මූල්‍ය හුවමාරු සම්බන්ධයෙන් කිසිදු සීමාවක් නැත. ඕනෑම විදෙස් මුදල් ප‍්‍රමාණයක් හුවමාරු කිරීමට හැකිය. පැනමා ඇල නිර්මාණය කිරීමත්, නිදහස් වෙළෙඳ කලාප ඇති කිරීමත් සමග මේ තත්ත්වය වර්ධනය විය. 1980 දශකය වන විට අන්තර්ජාතික බැංකු සිය ගණනක් පැනමා නගරයේ සිය මධ්‍යස්ථාන පිහිටුවා ගැනීමට සමත් විය.

මේ තත්ත්වය ප‍්‍රයෝජනයට ගත් බොහෝ ඒකාධිපති පාලකයෝ පැනමාවේ මුදල් සැගවූහ. පිලිපීනයේ සිටි අන්ත දූෂිත පාලකයෙකු වූ ෆර්දිනෑන්ද් මාර්කෝස්, චිලී රාජ්‍යයේ ඔගොස්ටෝ පිනෝෂෙ ආදීහු සිය දූෂිත වත්කම් පැනමා රාජ්‍යයට ගෙන ආහ. බදු සුරපුරයක් වශයෙන් පැවති පැනමාවේ බදු ගමන් මග යම් වෙනසක් ඇති කිරීමට 1983 වසරේ ඇති වූ හමුදා කුමන්ත‍්‍රණය ඉවහල් විය. පැනමා ආරක්ෂක හමුදාවේ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කළ මැනුවෙන් නොරීගා හමුදා බලයෙන් රට අල්ලා ගැනීමෙන් පසු මුදල් විශුද්ධිකරණ ක‍්‍රියාවලිය ජනසතු කෙරිණ. අවසානයේ දී 1989 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් වී පැනමාවේ හමුදා පාලනය පෙරළා දමනු ලැබිිණ. පැනමාව ගත් විට ලෝක ආර්ථිකයට දක්වන කිසිදු ධනාත්මක දායකත්වයක් නොමැත. කරන ප‍්‍රධාන ම දේ නම් බදු හොරුන්ගේ මුදල් ආරක්ෂා කිරීමයි. පැනමාවේ මෙවැනි හොර මුදල් සඳහා පහසුකම් සැපයීම සඳහා වෙනම මුල්‍ය උපදේශක පැලැන්තියක් ද නිර්මාණය වී තිබේ.

මේ ආකාරයෙන් දූෂිත නිලධාරීන්, දේශපාලනඥයන් මුදල් වැඩි වශයෙන් ම සොරකම් කරන්නේ දියුණු වෙමින් පවතින ලෝකයේ රටවල්වලයි. දුප්පත් මිනිසුන්ට අයත් මහජන ධනය සොරා ගෙන ගොස් පැනමාව වැනි රටවල් ඔවුහු සගවති. පැනමාව පමණක් නොව බර්මියුඩාව, කේමන් දුපත් ආදී තැන් ද ඒ සඳහා යොදා ගැනේ. ගාබි‍්‍රයෙල් සුක්මන් විසින් රචිත “The Hidden Wealth of Nations” නම් කෘතියෙ දී පෙන්වා දෙනු ලබන්නේ පොදුවේ ගත් විට ලෝක මූල්‍ය පද්ධතියෙන් සියයට 8ක් පමණ මේ ආකාරයෙන් සොරකම් කෙරෙන බවයි. මෙසේ සොරකම් කරන ප‍්‍රමාණයන් එක් එක් රට අනුව වෙනස් වේ. ඇතැම් රටවල්වල අඩු ප‍්‍රතිශතයක් වන අතර ඇතැම් රටවල ජාතික ධනයෙන් සියයට 50කටත් වැඩි ප‍්‍රමාණයක් සොරකම් කෙරේ. කෙසේවතුදු, ජාතික ධනය සොරා ගැනීම යනු පොදු මහත් මනුෂ්‍ය වර්ගයාට එරෙහි ක‍්‍රියාවකි. මෙම හොරුන් තමන් රැස් කර ගත් දූෂිත ධනයෙන් සුර සැප විඳින අතර දුප්පත්තු දරිද්‍රතාවේ අගාධයට ඇදවැටෙති.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *