හදේ තැවුල් පිස දැමුවේ ඔබයි ළඳේ.. !

ran mee

“රන් මී විත පුරවා සුරතේ හොවා” යනුවෙන් ගැයෙන මේ ගීතය යුග යුග ගණනාවක් පුරා, ශ්‍රාවක සිත් සතන් මනෝරංජනය කරන ලද ගීතයකි. මර්වින් පෙරේරාගේ සුගායනයෙන් ද ඔහුගේ ම කර්ණ රසායන තනු නිමැවුමෙන් ද හැඩ වුණු මේ ගීයේ රචකයා මෙකල බොහෝ අය නොදන්නා කේ.ඩී.කේ. ධර්මවර්ධනයන් ය.

ගීතය ගැන සටහන් කරන්නට මත්තෙන්, කේ.ඩී.කේ. ගැන යමක් ලියන්නට කැමැත්තෙමි. ගුවන් විදුලිය පමණක් මෙරට විකාශය වූ කාලයේ ශ්‍රාවක සිත් සතන් සැනහූ විශිෂ්ට නිවේදකයෙක් වූ ඔහු සිංහල ගීත සාහිත්‍ය මුත්හරට අනගි මුතු ඇමිණූ පද රචකයෙක් ද වූයේ ය. අමර සරින් ගැයෙන “කුමරියක පා සළඹ සැලුණා” ගීතයේ සිට “සතුටු සුළං රැළි හමා ගියා” වැනි ඉන්ද්‍රානිට ලියූ ගීතයත් අතර විවිධ ගීත මතින් ඔහුගේ ශක්‍යතාව අපට වටහා ගත හැකි ය.

කේ.ඩී.කේ “දෙඅදර විලිකුන් සුරත් පලේ – පෙම් මදිරා අයැදිමින් සැලේ” කියා මිල්ටන්ට ලියුවේ ය. “විලිකුන් සුරත් පල වැනි වේ රිවිමඬල” යනුවෙන් සැළලිහිණි සඳෙසේ එන කවියේ ආභාසය එයයි. කේ.ඩී.කේ යනු කොතෙක් කතා කළත් නිමක් නැති ව කතා කරන්නට හැකි තුඟු මිනිසෙක් නිසාවෙන් ප්‍රස්තුත ගීයට පිවිසෙමු.

රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මධූ තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිසදැමුවේ
නුඹයි ළඳේ

තිසරුන් පිරී වන විල් සැලී
පැවසූ හැඟුම් ආදරේ
සිසිලේ වෙලී පවනේ ඇදී
පණ මෙන් බැඳී මා හා රැඳී

කඳුළේ වෙළී අඳුරේ ගැලී
කැළඹූ පැතුම් සාගරේ
සඳ කැන් රිදී තෙරපී රැඳී
පැන යා නොහී වැතිරී හිඳී

මේ කථකයා පවසන්නේ, ප්‍රධාන කොට ම ප්‍රේමයේ සුඛ වේදනාව යි. ඒ මත්තෙහි ස්ත්‍රී-පුරුෂ ප්‍රේමයේ දුක්ඛ වේදානා පුංජයක් ද තවරා තිබෙනු නොදැනේ ද? ඇගේ චතු මධුර වන් රස පහස් දෙන තොල් සඟළින් හදේ තැවුල් පිස දැමෙන වදන් අමා මී ගලයි.. කෙබඳු ලෙසින් ද? ශ්‍රියාකාන්තාව රන් බඳුනකට මධුපානය පුරවා ගෙන සවුදිය පිරුමට ආවා ලෙසිනි. ප්‍රියැති ළඳකට පෙම්බරයෙකු පවසන මෙවන් වදනකට වඩා තවත් වදනකුත් ඇත් ද?

ප්‍රේමය නම් රමණීය මනෝභාවයට අයත් විවිධ හැඟුම් මාත්‍ර මෙහි සුලලිත වචන මතින් සිත් පුරා දිව යයි. ඒ වදන් හරඹය අස්සේ, කොළඹ යුගයේ කවියක එන්නාක් බඳු ව “පණ මෙන් බැඳී මා හා රැඳී” යැයි කියැවෙද්දී එහි ප්‍රේමයෙන් රංජිත වූ හදක තුටු පහටු බව පමණක් ම සිහියට එයි.

එලෙසින් ම වුවත්, ගීයෙහි අවසන් කොටසෙහි, ලෝ දහම සේ ම සතුට පිටුපස ඇති දුක ගැනත් කියැවෙනවාක් වැන්න..

ස්නේහවන්ත බැඳීමක දී කොතරම් තැවුල් සිත් ඇති වන්නේ ද? අනෙකා පිළිබඳ කායිකමය ලෝභය, වෙනකෙක්ගේ බැල්මට පවා තම ආදරණීය අනෙකා ලක්වනවාට ඇතිවන නොකැමැත්ත වැනි හැඟුම් පසුපස එන වේදයිතයන් කොතරම් අඳුරු හැඟුම් ඇති කරන්නේ ද? එවන් සිත් පීඩාවන් කෙතරම් වුවත් ඒ ප්‍රේම පාශයෙන් පැන යා හැකි ද? නොහැක්කේ ම ය!

කඳුළේ වෙළී අඳුරේ ගැලී
කැළඹූ පැතුම් සාගරේ
සඳ කැන් රිදී තෙරපී රැඳී
පැන යා නොහී වැතිරී හිඳී

මේ සියලු පද සංඝටනාවත්, සර සංඝටනාවත් අසන අපගේ සිත්, දෘඪතර ස්නේහ බන්ධයන්හි මිහිරි සේම දුක්මුසු මතකයන්ගේ සිතිවිලිවලින් කලම්බාලන්නට සමත් වෙයි.

ඉදින් සවන් පත් සනහාලමින් ඇසෙන මෙවන් පද මාලාවක් අසද්දී, රන් මී විත පුරවා සුරතේ හොවාගත් සිරිකත සවුදිය පුරන්නට අප අසලට පැමිණියාක් බඳුව දැනීම අරුමයක් ද?

සඳුන් ප්‍රියංකර විතානගේ

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *