කැලෑ මලේ කතන්දරේ…..!

Flower

ගම සහ නගරය අතර වෙනස අධිනිශ්චය වී තිබු කාලයක් මෙරට තිබිණි. සාමාන්‍යයෙන් ගැනුනේ, නගරය සංකර බව නියෝජනය කරන්නක් සහ ගම නිර්මලත්වය නියෝජනය කරන්නක් ලෙසිනි.

තාක්ෂණ ධනවාදයේ විවිධ පිමි සමගින් ගම සහ නගරය අතර වෙනස ඉතා ඉක්මනින් වියැකී ගිය අතර, තවදුරටත් දැන් එවැනි වෙනසක් ගැන කියැවෙන්නේ අතීතකාමී සාහිත්‍ය නිර්මාණයක දෙකක පමණි.

එය එසේ වුවත්, ගම සහ නගරය අතර වෙනස තීව්‍ර ව පැවැති යුගයේ නිර්මාණය වූ බොහෝ නිර්මාණයන් හි අපට හමුවන්නේ පෙර කියන ලද ප්‍රස්තුතයයි. ඒ මහගමසේකර ගම සංකර ගැහැනියක් ය කියා ලියන්නට පෙර යුගය යි.

එවක නිර්මාණය වූ ගීතයකි කැලෑ මල් පිපී නම් ගීතය.

මෙම ගීතය ඇතුළත් වූයේ කැලෑමල් නම් සිනමාපටයට යි. එහි තොරතුරු සොයා සිනමා ඉතිහාසඥ රූපසේන අයියාගේ (රූපසේන සිල්වා) පොත සොයා බැලුවත් එය සොයාගන්නට නොහැකි විය. ඉතින් මහ රෑ ඔහුට දුරඇමතුමක් ගත්තෙමි. හැම දා මෙන් මෙදා ද මා මවිත කරමින් රූපසේන අයියා සිනමාපටය ගැන විස්තර කියුවේ ය. කැලෑමල් නම් ටී.බී ඉලංගරත්නගේ නවකතාව ඇසුරෙන් මෙම සිනමාපටය නිෂ්පාදනය කර තිබුණේ අනෝජා වීරසිංහයි. අනෝජා සහ ඩග්ලස් රණසිංහ මෙහි චරිත මැවුවෝ ය. සංගීත අධ්‍යක්ෂණය එච්.එම් ජයවර්ධනයන්ගෙනි. එච්.එම් ජයවර්ධනයන්ට ද මේ ගැන එපමණට මතකයක් නැත ද, මේ සිනමාපටය ශ්‍රී ලංකාවේ ප්‍රථම පුළුල් තිර වර්ණ (සිනමාස්කෝප්) සිනමාපටය බව රූපෙ අයියා පැවසුවේ ය. පද රචනය මහැදුරු සුනිල් ආරියරත්නගේ යැ යි කියැවිණ.

සුනිල් එදිරිසිංහයන්ගේ හඬින් ගැයෙන ගීයෙ පදවැල මෙබඳු ය.

කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරුවදුලේ වනන්තරේ
හමා ලොල් බඹර පිරිස ඇදෙයි මලින් මලට හිමින්සැරේ
සිනා රැල් නැගෙයි ගිගිරි නදින රේණු සැලෙයි නිරන්තරේ
සදා කල් හඬා වැලපීමයි කැලෑ මලේ කතන්දරේ

සළෙල දනන් කුල්මත් කළ ඔමරි ලතාවයි
මල් උයනේ සුවඳ සැදූ කිඳුරු ලතාවයි
මලක් පිපී හිනැහෙන්නේ එකම වතාවයි
මේ සුපිපුණු එවන් කැලෑ මලෙක කතාවයි

ළඳුනි ඔබෙන් තොර ලොවකට නොමැත සිනාවන්
නෙත රසදඳුන් මියුරු වදන් නොමැත අමාවන්
මල් පත්තිනි අම්මාවරු වන් වනිතාවන්
මල් මෙළඳුන් අතරතුරේ වාසනාවන්

සිනමාපටයකට ඇතුළත් වූ ගීතයක් එම සිනමාපටයේ දී නගන බහ්වර්ථ සිනමාපටයෙන් ගලවා ගැනීමේ දී ගැලැවී ගොස් එය ස්වාධීනව විඳිය හැකි නිර්මාණයක් බවට පත් වෙයි. එසේ ස්වාධීන ව තේරුම් ගැනීමට දුෂ්කර වන සමහර ගීත ද නැත්තේ නොවේ. බොහෝ සංවාදවලට තවමත් බඳුන්වෙන මාතර ආච්චි සිනමාපටයේ “සඳකඩ පහණක” නම් වොලී නානායක්කාර ලියූ එක ම ගීතය එවැන්නකි.

මේ ගීතයෙන් ද කියැවෙන්නේ කැලෑමලක් ගැනයි. කැලෑමලකට ගැමි යුවතියක් උපමා වෙයි. කැලේ පිපිල කැලේට පරවෙලා යන මල්! බොහෝ තැන්වල පැනෙන පරිදි කැලෑමලක් පිපී සුවඳ හමන විට සළෙල බමරුන් විත් තම විත් පුරා මල පාරා පැන යයි. මෙහි මුල් පද තුනෙහි එන්නේ අති රමණීය පද සංරචනාවකි. එහි උත්කර්ෂය සිනා රැල් නැගෙයි ගිගිරි නදින රේණු සැලෙයි නිරන්තරේ – යනුවෙන් කියා, එසැනින් සදාකල් හඩා වැළපීම යි කැලෑමලේ කතන්දරේ යනුවෙන් කියයි. එය සම්මත මතවාදය තවත් තහවුරු කරන්නේ වෙයි.

මේ ගීතයෙන් ද ඒ සාම්ප්‍රදායික කතන්දරය කියැවෙන-නොකියැවෙන බවක් පෙනෙන්නට ඇත. ඒ නමුත් ඒ රමණීය පද සංඝටනාවේ මනහර බව විසින් අප ඇද බැඳ තබා ගනියි.

ළඳුනි ඔබ නැති ලොවකට සිනාවක් නැත. එහි ඇත්තේ කඳුළ, දුක සහ අඳුරු සෝකය පමණි. මියුරු වදනක් ඇසට ප්‍රිය දැකුමක් නැත.

ළඳුනි ඔබෙන් තොර ලොවකට නොමැත සිනාවන්
නෙත රසදඳුන් මියුරු වදන් නොමැත අමාවන්
මල් පත්තිනි අම්මාවරු වන් වනිතාවන්
වන් මෙළඳුන් අතරතුරේ වාසනාවන්

අද්‍යතනයේ ගම සහ නගරය අතර වෙනසක් ඇත්නම් ඒ කොන්ක්‍රීට් ගොඩවල්වලට ප්‍රමාණය අතර පමණකැ යි සිතෙන තරමට ගම සහ නගරය අතර වෙනස වියැකී ගොස් ය. තාක්ෂණ ධනවාදයේ සියලු උපකරණ මගින් එකිනෙකා අතර වන දුරස්ථභාවය සිඳ දමා ඇත. තව දුරටත් කැලෑමල් ඉතිරිව නැති සන්දර්භයක (කැලෑමල් තිබිය යුතුය යන්න ඉන් අදහස් නොවේ) මේ ගීතය ජනිත කරන්නේ අතීත මතක මිහිරි වේදනාවක් පමණකි.

සඳුන් ප්‍රියංකර විතානගේ

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *