රුපියල් කෝටි 1260ක චෙක්පත් ගනුදෙනුවේ සැඟැවුණු කතාව

chqමැයි මස 9 වැනි දා රජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති මාධ්‍ය හමුව උණුසුම් පුවතක් මාධ්‍යයට ලබා දුන්නේය. මාධ්‍ය හමුව පැවැත්වුණේ රාජිත සේනාරත්න හා පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙනි. රාජිත සේනාරත්න ඇමැතිවරයා මෙම හෙළිදරව්ව කළේය.

එනම් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ගේ රියැදුරකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලකි.

ඒ පැමිණිල්ලට අනුව ලංකා බැංකුවේ නගර ශාඛාවෙන් හදිසියේ මාරු කළ චෙක්පත් හතරකින් ලැබුණු රුපියල් කෝටි 1260ක මුදලක් රොස්මීඩ් පෙදෙසේ නි‍ෙවසක දී රියැදුරා විසින් ගාමිණී සෙනරත්ට ලබා දී ඇත.

මේ කාර්යයට සහාය දීමක් වශයෙන් රියැදුරාට රුපියල් කෝටියක් ලැබී ඇති අතර ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වීම වැළැක්වීම සඳහා රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුට අල්ලස් ලබා දී තිබේ. රාජිත සේනාරත්න ඇමැතිවරයා මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙන බව ය.

එයින් දින කිහිපයකට පසු ව ගාමිණී සෙනරත් නීතිඥයකු මාර්ගයෙන් පුවත්පත් නිවේදනයක් නිකුත් කළේය. එහි සඳහන් කර ඇත්තේ එවැනි රියැදුරෙකු තමන් ළඟ සේවය නොකළ බව හා චෝදනා අසත්‍ය බවය. එහෙත් මෙය කරුණු පැහැදිලි කිරීමක් මිස ප්‍රවෘත්තිය පළ කළ මාධ්‍යවලට යැවූ එන්තරවාසියක් නොවන බව කිව යුතුය.

මේ සා විශාල මුදලක් හදිසියේ බැංකුවකින් ලබාගැනීම සාමාන්‍ය පුරවැසියකු හට ‍කළ නොහැකිය.

“මෙවැනි ගනුදෙනුවකදී බැංකු පරිචය අනුව බැංකුවේ ආරක්ෂාව තකා මේ පිළිබඳ සොයා බැලීමක් සාමාන්‍යයෙන් සිදු වෙනවා. එය නීතියට අදාළ කරුණක් නොවේ. නමුත් එය බැංකුවක පිළිවෙතයි.”

රාජ්‍ය බැංකුවක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් එසේ ප්‍රකාශ කළේ ය.

එහෙත් අධිකරණය පවා විධායකයේ නියෝගවලට යටත් වූ සමයක රාජ්‍ය බැංකුවක් ඉහළින් එන බලපෑම්වලට යට වීම පුදුම විය යුත්තක් නොවේ. එම අවදියෙහි රජ පවුලේ පුතෙකු තමන්ගේ ලැයිස්තුවේ ගැටවරයන් හා ගැටවරියන්ට බැංකුවේ රැකියා ලබා දෙන ලෙස කළ අයුතු බලපෑම්වලට යටත් වනු වෙනුවට ලංකා බැංකු සභාපතිවරයා තනතුරෙන් ඉල්ලා අස් වූ බව ද සිහිපත් කළ යුතුය.

ගාමිණී සෙනරත්ගේ නම මෑතක සිට බොහෝ මාධ්‍යවලට මාතෘකාවක් විය. ඔහු පසුගිය ආණ්ඩු පාලන සමයෙහි විශාල දේශපාලන බලයක අනුහස පෑ නිලධාරියෙකි. හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයකු වූ ඔහු රාජකාරි කටයුත්තක් සඳහා හමුවීම ජනාධිපති හමුවීමටත් වඩා අසීරු කටයුත්තක් වූ බව ආයතන ගණනාවක, රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රතිචාර අනුව පැහැදිලි වේ.

ඔහු ජනාධිපතිවරයාගේ අනුග්‍රහයෙන් ආයතන ගණනාවක ඉහළ තනතුරු හෙබවූවෙකි. සජින් ද වාස් ගුණවර්ධනට එල්ල වී ඇති දූෂණ හා වංචා පිළිබඳ විමර්ශනවල දී ද ගාමිණි සෙනරත්ගේ නම ගෑවී තිබිණි.

ගාමිණී සෙනරත් මාතර රාහුල විදුහලේත් ගාල්ල රිච්මන්ඩ් විදුහලේත් ආදි සිසුවෙකි. කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. 1984 දී ඔහු උප දිසාපතිවරයෙකු ලෙස පරිපාලන සේවයට එක් විය. 1985 ආගමන විගමන සහකාර පාලක තනතුර හා 2003 මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් යනාදී තනතුරු හෙබවීය.

2004 මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂට අගමැති ධුරය හිමි වීමෙන් පසු අගමැති අතිරේක ලේකම් ලෙස පත් කරන ලදී. ඉන් පසු අවදියේ ඔහු ජනාධිපති අතිරේක ලේකම් ලෙස ද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ද උසස් විය. හිටපු ජනාධිපතිගේ විශ්වාසය දිනාගත් සමීපතමයන් කිහිප දෙනා අතර ගාමිණී සෙනරත් ඉදිරියෙන් ම සිටියේ ය. කොටින් ම ඔහු ජනපති වෙනුවෙන් විවෘත කිරීමේ උත්සවවලට ද සහභාගි වූයේ ය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට අමතර ව ඔහු තවත් තනතුරු කිහිපයක් ම දැරුවේ ය.

මහජන බැංකු සභාපති, ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති, ෂිනෝ ලංකා හොටෙල්, ස්පා ආයතනයේ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති යනාදී වශයෙනි.

ඉහළ මූල්‍ය සම්පත් සහිත ආයතන ගණනාවක අධිපති ධුර ඔහුට ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයා මහත් අභිරුචියෙන් කටයුතු කළ බවක් පෙනේ. මෙහි සැඟවුණු රහස කුමක් විය හැකි ද යන්න සෙවීම රසවත් මාතෘකාවකි. හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයන්ගේ ජාලයෙහි ද අන්තර් ගනුදෙනු රැසක් ම පැවැති බව පෙනේ. මේ එයින් එක් ගනුදෙනුවක් හෙළි වූ අවස්ථාවකි.

සජින් ද වාස් ගුණවර්ධනට අයත් සමාගමකට මහජන බැංකුවෙන් කල්බදු පහසුකම් යටතේ ලබා දුන් රුපියල් මිලියන 100කට වැඩි වටිනාකමකින් යුතු ටිපර් රථ 33ක් වෙනුවෙන් වාරික ගෙවීම පැහැර හැර තිබේ. මේ පිළිබඳ ව වංචා හා විමර්ශන ඒකකයෙන් පරීක්ෂණයක් ආරම්භ කෙරිණ.

බැංකු නීතිය අනුව මෙහි දී සිදු විය යුත්තේ අදාළ වාහන අත්පත් කරගැනීම ය. එහෙත් මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස ගාමිණී සෙනරත් එම වගකීම ඉටුකර නැත. මේ පිළිබඳ පරීක්ෂණ තවමත් සිදු වෙයි.

රාජපක්ෂ පාලන සමයෙහි සිදු ව ඇති මූල්‍ය වංචාවල ස්වභාවය අනුව ඒවා පිළිබඳ විමර්ශන අවසන් කිරීම වසර කිහිපයකින් ඉටු කළ හැකි කටයුත්තක් නොවන බව නීති ක්ෂේත්‍රයෙහි මතයයි. එසමයෙහි ඩොලර් මිලියන 20 ක් රටින් පිට කර ඇති බවත් 2011 වසරේ දී පමණක් ඩොලර් මිලියන 4.6ක් යවා ඇති බවත් පාඨලී චම්පික රණවක ඇමැතිවරයා අනාවරණය කළේ ය.

මේ අතර විගණකාධිපති ගාමිණී ජයසිංහ මහතා ද අපූරු හෙළිදරව්වක් කළේ ය. එනම් රාජ්‍ය දෙපාර්තමේන්තු යටතේ පිහිටුවා ඇති විවිධ ආයතන සංඛ්‍යාව පවා ගණනය කිරීම අසීරු බව ය.

සමාගම් පනත යටතේ පිහිටුවා ඇති ආයතනවලට රජයේ විගණන අදාළ නොවේ. එනිසා රක්නා ලංකා සමාගමේ මූල්‍ය දූෂණ සෙවීම සංකීර්ණ කටයුත්තක් ව පවතී. විදුලි බල මණ්ඩලය යටතේ එසේ පිහිටුවා ඇති ආයතන 20ක් වන බව අනාවරණය වී ඇත. එකල රාජ්‍ය සම්පත් ගසා කෑම සඳහා යොදාගත් උප්පරවැට්ටි මේවා ය. ඒ ආයතනවල මුල් පුටු රාජපක්ෂ හිතවාදී බලවතුන්ට පවරා දීම එකල යථාර්ථය විය.

උපුටා ගැනීම: -සිළුමිණ-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *