සියලු අංශ සීරුවෙන් තබන්න – ජනපතිගෙන් නියෝගයක්

maithree tafපවතින අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ ඇතිවිය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට හැකිවන පරිදි සියලු අංශ සූදානමින් තබන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම ගංවතුරෙන් හා නායයාම් හේතුවෙන් අවතැන්වන එක් පුද්ගලයෙකුගේ ආහාර පාන ඇතුළු අවශ්‍යතා වෙනුවෙන් දිනකට වෙන් කරන රුපියල් 150 ක මුදල රුපියල් 225 දක්වා වැඩිකිරීමටද ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැළසීම පිළිබඳ ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදීය.

අවතැන් වූ පුද්ගලයින් වෙනුවෙන් දිනකට ලබාදෙන දීමනාව වැඩි කිරීමට අදාළ කැබිනට් පති‍්‍රකාව හදිසි කැබිනට් පති‍්‍රකාවක් ලෙස අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

දිවයින පුරා මතුව ඇති ගංවතුර, නායයාම්, සුළි සුළං තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් සහන සැලසීමේදී ති‍්‍රවිධ හමුදාවේ සහ පොලිසියේ කාර්යභාරය ඉතා වැදගත් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ සඳහා යුහුසුළුව කි‍්‍රයාත්මකවන ලෙස ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නේය.
ජනාධිපති ලේකම්තුමා සහ අදාළ නිළධාරින් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීම මඟින් ඕනෑම අවස්ථාවක අදාළ කටයුතු සඳහා උපදෙස් ලබාගත හැකි බවද දන්වා සිටියේය.

ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් වළක්වා ගැනීම උදෙසා ක‍්‍රමවත් ආපදා කළමනාකරණ වැඩසටහනක් දියත් කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

නායයාමේ අවදානම පවතින ප‍්‍රදේශ හඳුනාගෙන ඒ පිළිබඳ මහජනතාව දැණුවත් කිරීමට කඩිනම් වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන ලෙස ද මෙහිදී ගොඩනැගිලි පර්යේෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දුන් ජනාධිපතිතුමා අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මතුවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

දිවයින පුරා බලපා ඇති අයහපත් කාළගුණ තත්තවය හේතුවෙන් අද සවස් වන විට ගම්පහ, කොළඹ, කෑගල්ල, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය ඇතුළු දිස්ති‍්‍රක්ක 11 ක පවුල් 31,062 කට අයත් පුදගලයින් 1,28,428 ක් පමණ අවතැන් වී ඇති බවට තොරතුරු ලැබී තිබේ.

ඔවුන් වෙනුවෙන් සහන සැළසීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදු කෙරෙන අතර එම කටයුතු කඩිනම් කරන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී සියලු අංශවෙත උපදෙස් ලබා දුන්නේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.