ලන්ඩන් උගන්ඩා වෙනස

uganda-01බ්‍රිතාන්‍යයේ පැවැති දූෂණ විරෝධී සමුළුවට සහභාගී වීමට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි යනවිට අපේ හිටපු ජනාධිපතිවරයා දූෂිත ජනාධිපතිවරණයක ප්‍රතිඵල තුළින් නැවත බලයට පත් වූ උගන්ඩාවේ ජනාධිපතිවරයාගේ නව පදවි ප්‍රාප්තියට සහභාගී වීම දෙදෙනාගේ යහපාලන තෝරා ගැනීම කදිමට පිළිබිඹු වන්නකි.

පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක ම දිනවල වාගේ දිවයිනෙන් බැහැරව නිල සංචාර දෙකක නිරත වූහ. විශේෂයෙන් ම හිටපු ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණ පරාජයෙන් පසුව මෙවර දිවයිනෙන් බැහැරට ගියේ ප්‍රථම වතාවට ය. එහෙත් මෙහි විශේෂත්වය වන්නේ ජනාධිපතිවරු දෙදෙනා දිවයිනෙන් බැහැරව සහභාගි වූ කාර්යයන් දෙස විමසා බලන විට යි.

ජනාධිපති මෛත්‍රී දිවයිනෙන් පිටත්ව ගියේ බ්‍රිතාන්‍ය අගමැති ‍ඩේවිඩ් කැමරන්ගේ ආරාධනාවකට අනුව එරට පැවැති දූෂණ විරෝධී අන්තර් ජාතික සමුළුවට සහභාගි වීම පිණිස ය. සාමාන්‍යයෙන් ජනාධිපති මෛත්‍රී මහතා බලයට පත්වන තුරු ම පසුගිය වසර 10 ඇතුළත යුරෝපයේ හා එංගලන්තයේ පැවැත්වෙන මෙවන් සමුළු සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය නායකයකුට ආරාධනාවක් කළේ නැත. තානාපති සබඳතා හැරෙන්නට ඇමරිකාව හා යුරෝපය සමඟ වෙනත් ආකාරයක සුහද ආරාධනා හෝ නිල සංචාර, නිල සමුළු සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාට ආරාධනා නොතිබිණි. ආරාධනා කළත් නොකර බැරි කාර්යකට ය. කෙටියෙන් සඳහන් කරන්නේ නම් රාජ්‍ය නායකයා ඉලක්ක කර ගනිමින් නිල සංචාර හා නිල ඇරයුම් ජාත්‍යන්තර සමුළු ඇමතීම් අපට ලැබෙන්නේ පසුගිය ජනවාරි (2015) ජයග්‍රහණයෙන් පසුව ය. ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය පැත්තෙන් යුරෝප රටවල දක්නට ලැබෙන්නේ දියුණු මට්ටමකි. මේ නිසා ම යුරෝපා රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරනු ලැබු පිළිවෙත ඉන් පැහැදිලි වේ. විශේෂයෙන් ම ඔවුන් අනුගමනය කළ අපේ රාජ්‍ය නායකයා පිටු දැකීමේ නිල නොවන තහනම ඉවත් වන්නේ පසුගිය ජනවාරි 8 ජයග්‍රහණය සමඟිනි.

ඇරයුමේ වටිනාකම

මේ නිසා ජනාධිපති මෛත්‍රී හට දූෂණ විරෝධී සමුළුවට ලැබුණු ඇරැයුම එතුමා සංකේතවත් කරමින් රටක් වශයෙන් ද ලැබුණු පිළිගැනීමකි. එහෙත් අපේ හිටපු ජනාධිපතිතුමා මැතිවරණ පරාජයෙන් පසුව වුව ද නිල ඇරයුමක් ලැබෙන්නේ තුන් වැනි ලෝකයේ මෙන් ම, අප්‍රිකානු රටවලින් ද කොන් වූ නොටොරියස් රාජ්‍යයක් ලෙසින් සැලකෙන උගන්ඩාවෙනි.

උගන්ඩාව යනු ඉඩි අමින් නමැති මිනී මස් භූක්ති වින්ද, වියරු ඒකාධිපති නායකයෙක් ජීවත් වූ ප්‍රජාතන්ත්‍රවිරෝධී ඒකාධිපති නොදියුණු රාජ්‍යයක් ය. ඔහුගෙන් පසුව වුව ද එම රට නිසි ලෙස ප්‍රජාතන්ත්‍රකරණයකට යොමු වී නොමැත. නාමික මැතිවරණ පැවැත් වෙන එහි වත්මන් ජනාධිපතිවරයා, සෙමේරී කජුටා මුසවේනි ය. මුසවේනි එරට ජනාධිපතිධුරය උසුලන්නේ 1986 සිට ය. එ රට ඔවුන් හදා ගෙන තිබෙන ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයකුට එම ධුරය සඳහා තරඟ කර හැකි වාර ගණනේ සීමාවක් නැත.

අපේ රටේත් 18 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ සිදු වූයේ ‘මුසවේනි’ කළ ජාතියේ ම වැඩකි. එනම් ජනාධිපතිවරයකුට එම ධුරය සඳහා තරග කිරීම දෙවරකට පමණක් තිබූ සීමාව ඉවත් කරලීම ය. එසේ ඉවත් කරනු ලැබුවේ ද කැමති වාර ගණනක් තරග කිරීමට හැකි වන පරිදි ය. උගන්ඩාවේ ව්‍යවස්ථාව සැකසී තිබෙන්නේ ද මේ ආකාරයට ය. මේ නිසා 1926 සිට ම මුසවේනි උගන්ඩාවේ රාජ්‍ය නායකයා ය. ඔහු ගේ පාලනය යටතේ පවත්වනු ලබන ජනාධිපතිවරණ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නේ නැත. එහෙත් ඔහු වසර 30ක් තිස්සේ එරට ජනාධිපතිවරයා ය. මෙවර ද ඔහු 61%ක ඡන්ද ප්‍රතිශතයකින් එරට ජනාධිපතිධුරයට පත්ව සිටී. එම ප්‍රතිඵලය විපක්ෂය, ජාත්‍යන්තර නිරීක්ෂකයන් හා යුරෝපා සංගමය පිළි ගන්නේ නැත.

දූෂණ විරෝධී සමුළුව

uganda-and-landonබ්‍රිතාන්‍යයේ පැවැති දූෂණ විරෝධී සමුළුවට සහභාගී වීමට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි යනවිට අපේ හිටපු ජනාධිපතිවරයා දූෂිත ජනාධිපතිවරණයක ප්‍රතිඵල තුළින් නැවත බලයට පත් වූ උගන්ඩාවේ ජනාධිපතිවරයාගේ නව පදවි ප්‍රාප්තියට සහභාගී වීම දෙදෙනාගේ යහපාලන තෝරා ගැනීම කදිමට පිළිබිඹු වන්නකි. මෛත්‍රීට බ්‍රිතාන්‍යයෙන් හරසර ලැබෙන විට උගන්ඩාව මහින්ද පිළිගනි. මහින්ද උගන්ඩාවට සැපත් වන විට ඔහුට දක්නට ලැබෙන්නේ එරට ජනාධිපතිවරයාගේ ප්‍රපතිඵල සම්බන්ධයෙන් විරෝධතා දක්වන ඔහු සහභාගි වන පදවිප්‍රාප්ති උත්සවය දැඩි ලෙසින්ම ප්‍රතික්ෂේප කරන පිරිසකි. එසේ ම දුරකථන හා අන්තර්ජල සේවා තාවකාලිකව නතර කර තිබූ රටකි. එසේ ම මුසවේනි සමඟ තරග කළ පරාජයට පත් වූ ප්‍රධාන තරගකරුවා වූ විපක්ෂනායක තිසාබොසාගායි ඇතුළු පිරිස අත් අඩංගුවට පත් කරමින් මුසවේනි තම පදවිප්‍රාප්ත උත්සවය සංවිධානය කර තිබූ ආකාරයයි. මෙහි දී අපට සිහිවන්නේ අපේ රටේ 2010 ජනාධිපතිවරණයෙන් පසු ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකාට සිදු වූ ඇබැද්දියම එරට පරාජිත අපේක්ෂාකයාට ද උරුම වී තිබෙන බවයි. ඒ අතින් ද මුසවේනි ගේ මුස්පේන්තු ක්‍රමය අපේ පසුගිය ජනවාරි 8ට පෙර (2010) පැවැති ක්‍රමයට සමාන ය. එරට විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ උගන්ඩාවේ බහුතර ජනතාව මුසවේනි නව ජනාධිපතිවරයා ලෙසින් පිළි නොගන්නා බවයි. ජාත්‍යන්තර නිරීක්ෂකයන් යුරෝපා ප්‍රජාව මෙන් ම ශිලාචාර අන්තර්ජාතික ප්‍රජාව ද එම මතයේ ම පිහිටා කටයුතු කරන බව පෙනේ.

මේ නිසා අපේ රටේ හිටපු ජනාධිපතිවරයා ආරාධනයකින් වුවද පා තබන්නේ එවන් ජාත්‍යන්තර වශයෙන් කොන් වූ මස්තබාල්දු වූ රටක ය; ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු නොවූ දුෂිත රටකට ය. අප්‍රිකානු සංගමයේ රටවල් පවා කොන් කරනු ලැබ තිබූ රටකට ය. මේ නිසා 2015 ජනවාරි 8 ජයග්‍රහණයෙන් වටිනාකම මෙන් ම ඉන් රට අත්පත් කරගෙන තිබෙන වෙනස පැහැදිලි වේ. ජනාධිපති මෛත්‍රී එංගලන්තයේ පැවැති දූෂණවිරෝධි ජාත්‍යන්තර සමුළුවට ඇරැයුම් ලබන්නේම එම වෙනස ඇති කළ මෙන් ම ඊට අදාළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටින නායකයෙක් ලෙසිනි.

“දූෂණ දේශපාලන භිෂණය හා මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ බරපතළ චෝදනා සහිත යුගයක් ශ්‍රී ලංකාව පසු කළා. ජනතාව විසින් එම තත්ත්වය එරෙහිව බරපතළ ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිපලයක් ලෙස 2015 ජනාධිපතිවරණයේ දී එම පාලනය වෙනස් කර යහපාලන රජය බලයට පත් වුණා.”

“ඒ අනුව ශ්‍රී ලංකා ජනතාව ප්‍රජාතන්ත්‍රවිරෝධී එම දූෂිත පාලනයෙන් සහ ඔවුන්ගේ උදව්කරුවන්ගෙන් මිදුණා. අද ශ්‍රී ලංකාවේ තිබෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් සමත්විත ජාතික ආණ්ඩුවක්.”

“අප මහජන ඡන්දයෙන් තේරී පත් වූයේ ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය හා නීතියේ ආධිප්‍යය සුරැකීම යන ප්‍රතිපත්ති තහවුරු කිරීම මත පදනම්වයි. එබැවින් රටින් දූෂණය තුරන් කර දැමීම අපේ මූලික වගකීමක් ලෙස සලකනු ලබනවා. මේ සම්බන්ධව අප දැනටමත් වැදගත් තීරණ රැසක් ගෙන තිබෙනවා.”

“19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දීම මඟින් ජනාධිපතිවරයා සතු විධායක බලතල පාර්ලිමේන්තුවට පවරා දුන් බව මෙම සමුළුවට දන්වා සිටීමට කැමැතියි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවරා දිය නොහැකි යැයි තීරණය කරන ලද බලතල හැර අනෙක් බොහොමයක් බලතල මේ පාර්ලිමේන්තුවට පවරා දෙනු ලැබුවා.”

යනුවෙන් මෛත්‍රී කෙටි කලක් ඇතුළත මෙරට සිදු කළ ප්‍රජාත්න්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ අන්තර් ජාතිකප්‍රජාව හමුවේ තබන විට මහින්ද කුමක් කීවාදැයි වාර්තා නොවේ. විශේෂයෙන් ම උගන්ඩා රාජ්‍ය නායකයා මෙය ඔහුගේ ජනාධිපති පදවි ප්‍රාප්ත උළෙල නිසා අපිකානු රාජ්‍යවල නායකයන්ට හා සමීප හිතවතුන්ට මේ ආරාධනය කරන්නට ඇත. ඒ අනුව ආසියාවේ ඔහුගේ හිතවතා වී සිටින්නේ හිටපු ජනාධිපතිවරයා වාගේ ය. හිටපු ජනාධිපතිවරයා මේ ආරාධනය පිළිගන්නේ ඇයි දැයි කියන්න දන්නේ නැත. ඊට හේතුව ඔහුගේ පාලන සමයේ වුව ද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උගන්ඩාවේ තරම්ම පහළට ඇද වැටී නොතිබීම ය. මෙම ආරාධනය මගින් උගන්ඩාවෙ කෙනා අපේ කෙනා ඔහුට සමාන කර ගෙන නොවේ දැයි කෙනෙකුට සීතිමට ඉඩ තිබේ. එය එතුමාට කෙසේ වෙතත් මෙතුමාගේ දේශපාලනයට නම් තරම් වන්නේ නැත.

නායකයාගේ දේශපාලනය කෙසේ වෙනත් අපේ ජනතාවගේ දේශපාලන මට්ටම හා සර්ව ජන්ද බලය පාවිච්චි කරන ආකාරය උගන්ඩාවට වඩා ඉහළ මට්ටමකින් පවතින බව මේ වන විට මුළු ලොවම පිළිගෙන අවසන් ය. එය වඩාත් තහවුරු වුයේ 2015 ජනාවරි 8 සිදු වූ පෙරළිකර ජයග්‍රහණයත් සමඟ බව ලොවටම වැටහී තිබේ.

එදා මෙරට ජනතාව සර්වජන ඡන්ද බලයෙන් පරාජයට පත් කළේ මෙරට තුළ පැවැති බෙදුම්වාදී අරගලයක් මුළුමනින් ම පරාජයට පත් කොට රට ත්‍රස්තවාදයෙන් මුදාගත් නායකයෙකි. එය කාලාන්තරයකට අපේ ජන මනසින් මැකී යන්නේ නැත. ඒ පිළිබඳ ගෞරවය හිටපු ජනාධිපතිවරයාට ලබා දෙමින් ම ඔහු පරාජයට පත් කළේ එම ජයග්‍රහණයෙන් පසු ඔහු අනුගමනය කළ පාලනය හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයන් නිසා ය. එමෙන් ම එතරම් බිහිසුණු ත්‍රස්තවාදී බෙදුම්වාදී යුද්ධයකට හේතු වූ කාරණා දෙස අධිපතිවාදී මානසිකත්වයකින් මිස ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් මනසකින් නොබැලීම ද එම පරාජයට හේතුවකි. රජෙක් වුණත්, මහරජෙක් වුවත් අවසනේ සොඳුරු ඒකාධිපතියෙක් වුව ද සර්වජන ඡන්දය අබියස ජනතා තීන්දුවට යටත් විය යුතුය යන්න එම ඡන්ද ප්‍ර තිඵලයේ හරයයි. ඒ අනුව උගන්ඩාවට පමණක් නොව දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල මට්ටමට අපේ සර්වජන ඡන්දයේ අයිතිය මෙරට ජනතාව භූක්ති විදිති.

මෛත්‍රී අාදර්ශය

සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයන් කයිවාරුවට සඳහන් කරන්නේ “මා ඔබේ පාලකයා නොව සේවකයා” යන්නය. මෙය ජනතාව රැවටීමේ සටකපට වදනක් ලෙසින් ද සමහර දේශපාලනඥයෝ පාවිච්චි කරති. එහෙත් ශ්‍රී ලංකාවේ ජනතාව ඒවායින් රැවටෙන්නේ නැති බව තහවුරු කළ මැතිවරණ ප්‍රතිඵලයක් ලෙසින් 2015 ජනාධිපති 8 ජයග්‍රහණය හැඳින්විය හැකිය. හිටපු ජනාධිපතිවරයාට සැබවින් ම තිබුණේ ශ්‍රී ලංකාවේ ජනතාව තමාට ඉගැන් වූ පාඩම උගන්ඩාවේ රාජ්‍ය නායකයාට කියා දී දැන්වත් එරට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇති කරලීමට උපදෙස් දීම ය. එවැන්නකට ඉඩ තිබුණ ද නැතිනම් ඉඩ හදා ගත්තා දැයි කියන්න දන්නේ නැත.

ජනාධිපති මෛත්‍රී නම් මේ වන විට ලෝකයේ දුර්ලභ ගණයේ රාජ්‍ය නායකයෙක් ලෙසින් තම බලතලවලින් කොටසක් මුදාහරිමින් මුළු ලොවටම ආදර්ශයක් දුන් රාජ්‍ය නායකයෙක් බවට පත්ව සිටී. ඔහු එතැනින් නොනැවති මේ වන විට 19 සංශෝධනය මගින් රට තුළ ප්‍රජාතන්ත්‍රාවාදී ප්‍රතිසංස්කරණ රැසක් අතිකර තිබෙන බව කිසිවෙකුට රහසක් නොවේ. ඔහු පසුගිය දා ලන්ඩන් නගරයේ පැවැති දූෂණ විරෝධී සමුළුවට සහභාගි වන්නේ එම අත්දැකීම ජාත්‍යන්තරය හා බෙදා හදා ගැනීමට ය. එමගින් අපේ රට දියුණු ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයක තලයට ඔසවා තැබීමට ඔහුට හැකි වී තිබීම රට වශයෙන් අප ලැබු ජයග්‍රහණයකි.

-රාම්-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *