රාජ්‍ය සේවා මාෆියාවට යහපාලනය බයද..?

Maithripala02ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරිහු මේ දිනවල විවාදිත කරුණු කිහිපයක් සම්බන්ධව මහජන වධානයට ලක්වී සිටිති.

පළමුවැන්න ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයට සම්බන්ධ මූල්‍යමය ක්‍රියාවක් දූෂණයක් වංචාවක් බවට ලැබුණ පැමිණිල්ලක් ගැන නීතිය ක්‍රියාත්මක වීමය.

දෙවැන්න රාජ්‍ය විගණන කොමිසම ස්ථාපිත කිරිම පිණිස සැකසුණ විගණන පනතට එරෙහි වීමය.

සංචාරක මණ්ඩලයට පාඩු සිදු කළ ගනුදෙනුවක් ගැන විමර්ශනයක් සිදු විය. විමර්ශන ප්‍රතිපලය අනුව, එකී වංචනික ගනුදෙනුවට වගකිව යුතු පුද්ගලයන් 6 දෙනකු වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කෙරිණ. එහෙත් ඒ නියෝග ක්‍රියාත්මක නොවන තත්ත්වයක් උදාවී ඇත. හේතුව එකි 6 දෙනා අතර, ජනාධීපති ලේකම් කාර්යාලයේ නිලධාරියකු සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරිනියක ද සිටීමය. මේ දෙදෙනා තම සබඳතා හරහා ජනවාරියේ දිනාගත් යහපාලනය අභියෝග කරමින් සිටිති. ඒ බව හෙළිදරව් වුණේ හොරෙන් පන්නාගත් ලිපි ගොනුවක සටහනක් නිසා නොවේ. අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් නිසාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ කැඳවා ප්‍රශ්න කිරිමට නොතීසි නිකුත් විය. ඔහු බේරාගැනීමට නිමල් සිරිපාල සිල්වා, විමල් විරවංශ, දිනේෂ් ගුණවර්ධන මහින්දානන්ද අලුත්ගමගේ , පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේ නිදා ගත්හ. සිරිලිය ගිණුම ගැන ශිරන්ති රාජපක්‍ෂගෙන් ප්‍රශ්න කිරිමට නොතීසි නිකුත් විය. ඒ සමඟ දකුණු පළාත් අමාත්‍ය ඩී.වි. උපුල් දූෂණ මර්දන නිලධාරීන්ට ගල් ගසා මරන බවට ප්‍රසිද්ධියේ තර්ජනය කළේය.

ඉන්පසුව ශිරන්තිගෙන් කට උත්තරයක් ගැනීමට, නිලධාරින්ට, ඇයගේ දෙපා මුලට යෑමට සිදු විය. රාජමාන්‍ය හොරකම් ආරක්‍ෂා කිරීමේ ක්‍රමය රාජපක්‍ෂවරුන් කළ බලපෑම්වල ප්‍රතිඵලයකි. එහෙත් ලංකා සංචාරක මණ්ඩලයේ මගඩියට කොටුවී සිටින ඉහත දෙදෙනාට මේ හයිය දුන්නේ කවුද? මේ බාධා පමුණුවන්නේ ඒකාබද්ධ විපක්‍ෂය නොවේ. ජනවාරියේ ජනතාව පත් කළ යහපාලනය විසිනි. සිදුවූ දූෂණ වංචා සොයා දඬුවම් කිරිමේ වැඩපිළිවෙළ සුපිළිපන්න නොවන බවට තවත් සාක්‍ෂි අවශ්‍ය නැත. අත් අඩංගුවට ගන්නවා කියන්නේ එල්ලා මරනවා නොවේ. අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ තවත් එක් පියවරක් පමණකි. ඊට බාධා සිදුවීම් සමස්ත ආණ්ඩුවම ලජ්ජාවිය යුතුවේ.

මේ කනගාටුදායක තත්ත්වය තහවුරු වුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක ඇසූ ප්‍රශ්නයකට අගමැතිවරයා දුන් පිළිතුර නිසාය. එහිදි අගමැතිවරයා කියා සිටියේ කුමක්ද? ලංකා සංචාරක මණ්ඩලයේ මගඩියට සම්බන්ධ රජයේ නිලධාරිහු තමන්ට එරෙහිව දඬුවම් කිරිම වැරදි බව විශ්වාස කරති. ඔවුන් කියා ඇත්තේ තමන් කළේ රාජකාරියක් පමණක් බවය. සිදුවි ඇත්තේ රාජකාරියක්ද, හොරකමක් ද, අනුව තීරණය කළ යුත්තේ රටේ නීතිය මිස සිද්ධියට වගකිව යුතු සැකකරුවන් නොවේ. එහෙත් ජනවාරි 8 වැනිදා පෙරලිය සමඟ හඳුනාගත් යහපාලනය හොරකම් වංචා ගැන නඩු නොඅසාම තීරණ ගැනීමේ අයිතිය හොරුන්ටම පවරා දෙමින් සිටියි. සම්භාව්‍ය සාහිත්‍ය භාෂාවෙන් නම් මෙවැනි අවස්ථා උත්ප්‍රාසයෙන් යුතුව ප්‍රකාශ කිරිමට අඳෝමැයි යන ඡේක ප්‍රයෝගය යොදනු ලැෙබ්. ඉහත කී නිලධාරීන් ගැන කරුණු නැවත විමසා බැලීමට, ආණ්ඩුව නීතිපති බල කරයි. එය කැත ඇඟිලි ගැසිමකි. රාජපක්‍ෂලාත් මෙසේ සමහර ලිපිගොනු නැවත නීතිපති වෙත යැවූ අවස්ථා එමටය.

කුලියාපිටියේ මන්ද බුද්ධික තරුණියක දූෂණය කළ සිද්ධිය ඉන් එක් අවස්ථාවකි. සැකකාරයන් තිදෙනාට එරෙහිව කළ පොලිස් පරික්‍ෂණ මහේස්ත්‍රාත් නියමයෙන් නීතිපති වෙත යැවිණ. ඔවුන්ට එරෙහිව නඩු පැවරිම පිණිස නීතිපති තීරණය කර තිබිණ. ඒ අනුව යම් දවසක කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඔවුහු කැඳවනු ලැබූහ. ඒ නඩු පවරා චෝදනා පත්‍ර කියවා දිම පිණිසය. එහෙත් එදින උදෑසන අධිකරණය හමුවේ පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයකු අධිකරණයට දන්වා සිටියේ කුමක්ද? එකී සැකකරුවන් තිදෙනාට එරෙහිව නඩු නොපවරන ලෙස නීතිපති විසින් උපදෙස් දුන් බවය.

චෝදනා පත්‍ර භාර දීමට නියමිත දවස වන විට අතවරයට ලක් වූ මන්ද බුද්ධික තරුණිය මවක වී සිටියාය. ඇය බිහි කළ ඒ දරුවාගේ පියා දූෂණ නඩුවේ පළමුවෙනි චුදිත බව වෛද්‍ය පරීක්‍ෂණ අනුව ඔප්පු විය. පොලිසිය සහ නූතන විද්‍යාව බඩු හොරුන් සමඟ අතටම අල්ලා දී තිබිණ. එහෙත් නැවත නීතිපති වෙත ලිපිගොනු යැවීම නිසා, නඩු නොපවරවා ඒ අධමයෝ ගෙදර ගියහ. රාජපක්‍ෂ පාලන කාලයේ වාර්තාවූ මෙවැනි සිද්ධී බොහෝය. එයින් කුලියාපිටිය සිද්ධිය පමණක් උපුටා දක්වන්නේ රටෙන් බහුතරය කාන්තාවන් වන නිසා සහ විපතට පත් තැනැත්තිය මන්ද බුද්ධික තරුණියක වීමත් අර දරුවාට අප්පකු අහිමි නිසාත්ය.

ලංකා සංචාරක මණ්ඩලයේ වංචා කළ සැකකරුවන්ට ආරක්‍ෂාව සපයන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයයි. දූෂණ වංචා සිද්ධින් ගැන තම සාමාජිකයන් අත්අඩංගුවට ගන්නේ නම් තමන් රාජකාරිවලින් බැහැර වන කියන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයයි. ලතින් අමෙරිකා රටවල මත්ද්‍රව්‍ය ව්‍යාපාරි කයෝද ඒ ආණ්ඩුවලට මෙවැනි තර්ජන කරති. ඒ කියන්නේ ලංකාවේ පරිපාලන සේවා සංගමය සංවිධිත හොර මාෆියාවක්ද?

මෙවැනි තර්ජන රාජපක්‍ෂ කාලයේ නොවීය. ඒ කාලේ පරිපාලන සේවා සංගමය මෙහෙයවූයේ සුප්‍රකට ගාමිණි සෙනරත්ය. රාජපක්‍ෂ කෙරුවාව උස්සා තැබුව දැයට කිරුළ ප්‍රදර්ශනය සුපිරි ගැහිල්ලකි. මොනරාගල දැයට කිරුළ පැවැති අවස්ථාවේ එකී අමාත්‍යාංශ ලේකම්වරයා තම අතිරේක ලේකම්වරියක පොලිසියට භාර දුන්නේය. සිද්ධිය ටෙන්ඩර් කතාවකි. ටෙන්ඩර් පරිපාටිය උල්ලංඝනය කළාට පොලිසියට භාරදිය හැකිද? කළ යුත්තේ මූලික පරීක්‍ෂණයක් සිදු කිරිමය. ඉන් පසුව පියවර එකින් එක ගැනිමය. එය පොලිස් රාජකාරියක් නොවේ. එදා අර අතිරේක ලේකම් වරිය පොලිසියට භාර දීම ගැන පරිපාලන සංගමය ආණ්ඩුවට තර්ජනය කළේ නැත. එදා මේ කියන පරිපාලන මාෆියාව කතා කළේ නැත. ඒ ඇයි? ඔවුන් රාජපක්‍ෂලා කැමති විදියට රාජකාරි කරමින් තමන්ද මුදල් උපයමින් සිටි නිසාය. දූෂණ වංචා විමර්ශන සිදුකර අවසානයේ නිකුත් කළ වාර්තා අනුව ක්‍රියා කිරීමට එරෙහි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මොනරාගල සිද්ධිය දකින්නේ කොසේද?

2002-2004 එජාප ආණ්ඩුවේ මහින්ද විජේසේකර ඇමතිවරයා තම අමාත්‍යාංශ ලේකම්ට බකමූණා කියා ප්‍රසිද්ධියේ බැණ වැදුණේය. එදා පරිපාලන සේවා සංගමය ඊට එරෙහිව, සමෘද්ධි නිලධාරි සංගමය ලවා රට පුරා උද්ඝෝෂණ කරවිය. තමන් යටතේ සිටින රජයේ සේවක පිරිසක් මෙහෙයවා ආණ්ඩුවට තර්ජනය කිරිම දේශපාලනික ක්‍රියාවකි. සෝමා කොටකදෙණිය තැපැල්පති ලෙස සේවය කළ අවදියේ තැපෑලේ වැඩ වර්ජනයක් විය. ඒ තැපැල්පති ගෙදර යවනු කියාය. හේතුව තැපැල් සේවය පෞද්ගලිකකරණය කිරිමට එරෙහිවය. රාජ්‍ය සේවා නිලධාරියකු රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරයි නම් එය රාජකාරියකි.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමට රාජ්‍ය නිලධාරීහු බැඳී සිටිති. මේ අයහපත් තත්ත්වය සාමාජිකයෝ පිරිසක් පරිපාලන සේවා සංගමයට දැන්වූහ. එදා සංගමයේ සභාපති රනුග්ගේය. ලේකම් ගාමිණී සෙනෙවිරත්නය. සෝමා කොටකදෙණීය වෙනුවෙන් පෙනී නොසිටි රනුග්ගේ සහ ගාමිණි සෙනෙවිරත්න කීවේ වෘත්තීය සමිති නිවැරදි බවය. තැපැල් සේවය පෞද්ගලිකකරණය කිරීම අයහපත් බවය. අද රනුග්ගේ රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙකි. ගාමිණී සෙනෙවිරත්න රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්ය. පරිපාලන නිලධාරින් දූෂණ වංචාවලට එරෙහිව අත ඔසවන විට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත රාජ්‍ය සේවා කොමිසම නිදි වදින්නේ ඇයි? පවත්නා ආණ්ඩුව තමන්ගේ නම් නිහඬ වීමත් ආණ්ඩුවට තමන් අකමැති නම් පාරට බැසිමත් මේ අයියලා හැමදාම කළ නිසාය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ බලයට පත් කළේ ජනතාව විසිනි. රාජ්‍ය මුදල් වැය කර ඡන්දෙට සිල්රෙදි බෙදීමට මුදල් සැපයූ, රාජපක්‍ෂ පවුලේ වැඩිහිටියන්ගේ සොහොන් කොත් බැඳීමට රජයේ මුදල් ලබාදුන්, ලිත් පනස් ලක්‍ෂයක් සඳහා මුදල් අතට ගෙන ලිත් දෙලක්‍ෂයක් මුද්‍රණය කර ඉතිරිය සාක්කුවේ දමා ගත් නිලධාරින් කළේ රාජකාරි බවට කරන ප්‍රකාශය ද වංචාවකි. ඒ හොරුන් රකින රාජ්‍ය සේවයේ තක්කඩියන් ගැන ජනතාව පුදුම නොවෙති. පුදුම වන්නේ ඒ තක්කඩිකම් ගැන බියේ වෙව්ලන රටේ යහපාලනය වෙනුවෙන් කැපවූ පාලකයන් ගැනය.

රනුග්ගේ සහ ගාමිණී සෙනෙවිරත්න එදා එහෙම ක්‍රියා නොකළා නම් ඔවුන්ට ඒ ගැන කරුණු කීමට අවස්ථාව ඇත. මෑතක ගාල්ලට පත් කළ එක් දිස්ත්‍රික් ලේකම්වරයකුට එරෙහි බරපතළ විනය පරීක්‍ෂණයක් සිදු කෙරිණි. එහි තින්දුව සදාචාර සම්පන්න නොවන හෙයින් මෙහි සටහන් නොකෙරයි. ඒ නිලධාරියා නිදොස් කොට නිදහස් කළේ රනුග්ගේ වාර්තාව අනුවය. රණවකලා පැල්පිටලා බේරා ගැනිමට ගාමිණි සෙනෙවිරත්න දඩල්ලගේට ලාම්පුව ඇල්ලුවේ නැති නම් ඒ බව ඔහු රටට පැහැදිලි කළ යුතුවේ. එසේ නොවේ නම් රාජ්‍ය සේවා කොමිසම මේ ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් වාර්තාවක් කැඳවිය යුතුව තිබිණ. ගමන් වියදම් වංචාවක් මතු නොව, නිවාඩු නොගෙන සේවා ස්ථානයෙන් බැහැර වීම ගැන පවා තදින් ක්‍රියා කළ රාජ්‍ය සේවය අද පල් හොරුන් කළ තක්කඩිකම් හොරකම් රාජකාරි බව කියමින් ආණ්ඩුවට තර්ජනය කරයි.

රාජපක්‍ෂ පාලන යුගය බිහිසුණුය. ඒ කාලයේ රාජ්‍ය නිලධාරින් පවා සිටියේ බයෙන් මිරිකිලාය. එහෙත් සත්‍ය වශයෙන් තම නියාමනය රාජ්‍ය සේවය සඳහා සැපයූ නිලධාරිහු එදා වූහ. විමල් විරවංශ තම ගෝලයකු ලවා බිය ගන්වා පලවා හැරියේ එවන් ලේකම් වරයෙකි. අද විමල් විරවංශ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම ගැන උසාවි යන්නේ කටඋත්තර දෙන්නේ අර ලේකම් එළවා දැමිමේ සහ එහෙයියකු ලේකම් කමට පත් කිරීමේ පාපය නිසාය.

විගණන පනතේ අධීභාරය ගැන ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ජල්ලි අල්ලමින් සිටියි. අධිභාරය යහ පාලනය ඉන්දියාවෙන් ආනයනය කළ එකක් නොවේ. මුදල් පරිපාලනය සඳහා හැමදාම පැවති විධිවිධානයකි. මුදල් අවභාවිතයකට අදාළව අධිභාරය අය කරනවාද නැද්ද තවමත් තීරණය කරනු ලබන්නේ ලේකම්වරුන් හෝ ප්‍රධාන ගිණුම් නිලධාරින් විසිනි. එහෙත් මේ ඊනියා පරිපාලන සේවා නිලධාරීන් මේ වන විට අධිභාර රීතිය කටුගෙට යවා හමාරය. විගණන පනත අනුව අධිභාර විධිවිධානය අනුව රාජ්‍ය සේවයාට දේශපාලනඥයා ඉක්මවා යෑමට ලැබෙන්නේ සුපිරි අධිකාරියකි. ඒ රාජ්‍ය මුදල් ආරක්‍ෂාව සහ අවභාවිත කිරිමේ අවස්ථා අවම කිරීම සඳහාය. පරිපාලන සංගමය ඊට එරෙහිව සටන් කරන්නේ එක්වී සොරකම් කිරිමට නොවේද? මේ රාජ්‍ය නිලධාරි පැළැන්තියට ආණ්ඩුව බිය වන්නේ ඇයි? සකල රාජ්‍ය සේවයෙන් මේ තක්කඩින් ප්‍රමාණය ගත් විට සියයට 7කටත් අඩුය සිවිල් සමාජය ආණ්ඩුවෙන් අසන්නේ ජයරත්න නම් චුදිත නිලධාරිනිය රට පටවා, අනුෂ පැල්පිට ඒ පුටුවට ගෙන එමින් දූෂිතයන් රකින මේ පාර විවෘත කළේ වජිර අබේවර්ධනද? නැතහොත් වජිර අබේවර්ධන දමා මේ සෙල්ලම අත්හදා බැලුවාද? යන්නය. මේ ප්‍රශ්න දෙකම යොමු වන්නේ ජනාධිපති වරයාටය. වජිර විවෘත කළ පාරේ ලොක්කන් ගියද, ලොක්කන් විවෘත කර දුන් පාරේ වජිර ගියත් සිද්ධ වන්නේ රාජපක්‍ෂලා කෙළින්වීම හෙවත් දූෂණය හොරකම රටේ සහතික වීම පමණකි. ජනතාව අපේක්‍ෂා කළ සුපිළිපන්න රට බිහි කිරිමට රටට සපත කළේ මෛත්‍රීපාල මිස රනිල් නොවේ. මහින්ද රාජපක්‍ෂට එරෙහිව අතපය පමණක් ගෙන පැමිණි මෛත්‍රීපාල පල් හොරුන් කිහිප දෙනකුට බියවීම විශ්වාස කළ හැකිද?

පරිපාලන සේවා තර්ජනය හමුවේ මෛත්‍රී කල් මරනු දුටු ජෝන් සෙනෙවිරත්න ගෝඨාභය නායකයා කළ යුතු බව කියයි. ඒ නොකියා කියන්නේ මෛත්‍රීට නායකත්වයක් නැති බව ය. ජෝන්ගේ හැසිරිම මෛත්‍රී නොව මෛත්‍රී දිනවූ සිවිල් සමාජය සවුත්තු කිරිමකි. ජෝන්ට හොඳ වුණාට, රාජපක්‍ෂ යුගයේ මර්වින් සිල්වා පවා ගෝඨාභයට මිනිමරුවා කීය.

ලංකාව බෞද්ධයෝ බණ අසති. භාවනා කරති. දන් දෙති. පන්සල් හදති. එහෙත් නො රැක්කාට හාමුදුරුවරු උදහස් නොවෙති. නැවත නැවත පන්සිල් දෙති. එහෙත් යහපාලන පංච ශීලය සමඟ හුරතල් නොවිය යුතුය. යහපාලන පොරොන්දුව කැඩුවොත් ජනවාරි ජයග්‍රහණය සමග, සිවිල් සමාජ බලවේගය රාජපක්‍ෂලා විසින් අඩි පහක් පොළොව යට මිහිදන් කරනවාය. ජනාධිපති මෛත්‍රීපාල මෙය නිතර සිහිපත් කරමින් සිටියි. එහෙත් අවාසනාව මෛත්‍රීගේ නායකත්වය නිර්මාණය කළ සිවිල් ජනතාව ගැන මෛත්‍රී විශ්වාසය නොතැබීමය. අඩි පහක් පොළොව යට වැළලෙනවාද රටේ යහපාලනය ස්ථාපිත කරනවාද මේ අභියෝගය හැට දෙලක්‍ෂයක් දූෂණ විරෝධි සිවිල් ජනතාවගේ හිසට ඉහළින් කඩුවක් සේ එල්ලෙමින් පවතී.

-නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *