තොරතුරු දැන ගැනීමේ පනත මාධ්‍යවලට නොවෙයි… ජනතාවටයි…

RTinformationතොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනත අද (23 වනදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය දැන් සියල්ල සූදානම් කර අවසන්ය. මේ පනත පිළිබදව පසුගිය දිනවල රටේ ලොකු කතිකාවක්‌ද ඇතිවිය. විවිධ පාර්ශව විවිධ ආකාරයට මේ පනත අර්ථ දක්‌වන්නට වීම නිසා රටේ පොදු ජනතාව තුළ මේ ගැන නිරවුල් අවබෝධයක්‌ නොවීය. අප මෙරට සිටින අග්‍රගන්‍ය ව්‍යවස්‌ථා විශාරදයෙකු ලෙස සැළකෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න හමුවූයේ මේ සම්බන්ධයෙන් සමාජයේ වූ අනවබෝධයන් සාකච්ඡා කිරීමටය. එහිදී අප ඇසූ ප්‍රශ්න හා ඊට ඔහු දුන් පිළිතුරු මේ ලිපියේ ඇතුළත්ය.

ප්‍රශ්නය – ඔබ කොහොමද මේ පනත අප හමුවේ හදුන්වා දෙන්න ප්‍රවේශයක්‌ ගන්නේ.

පිළිතුර – මේ ආණ්‌ඩුව බලයට පත්වීමෙන් පසුව ඇතිකරපු 19 වන ව්‍යවස්‌ථා සංශෝaධනයේ දී අපි මූලික වශයෙන් පිළිගත්තා ‘තොරතුරු වලට ප්‍රවේශවීමේ අයිතිය’ මහජනතාවට තිබෙනවාය කියන කාරණය. නමුත් මේක එදා සිටම ක්‍රියාත්මක වීම පටන් ගත්තේ නැහැ. ඒ මොකද.. එහෙම දෙයක්‌ සමාජයේ බලාත්මක වෙලා ක්‍රියාත්මක වෙන්න නම් ඒකට පාර්ලිමේන්තුවේ වෙනම පනතක්‌ සකස්‌ කරලා සම්මත කරගත යුතුයි. අන්න ඒ සදහා වන පනත තමයි ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබ`ද පනත’ ලෙස ලබන 23 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ.

ප්‍රශ්නය – මෙවන් පනතක්‌ පාර්ලිමේන්තුවට ගේන්න පෙර එය සම්පූර්ණ ම පනත හැටියට අපේ පුළුල් සමාජයේ සාකච්ඡාවට බදුන් වන්නට ඉඩ හැරිය යුතුයි. ඒක මේ සම්බන්ධයෙන් වුණාද කියන ප්‍රශ්නය අපට තියනවා.

පිළිතුර – මොකද නැත්තේ… අපි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනත මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා අවශ්‍ය අධ්‍යයන හා විමර්ශන කටයුතු සදහා… ඊළඟට අපි මෙය ජනමාධ්‍ය තුළින් මහජනතාව අතරට යෑව්වා. වෙබ් අඩවිවල පළ කරලා තියනවා. ජනතාව අතරට යෑව්වේ නැහැ කියන එක වැරැදියි. කොටින්ම ඔයගොල්ලන්ගේ පත්තරය ‘දිවයින’ ඊට එරෙහිව කතුවැකියක්‌ පවා ලිව්වා…

ප්‍රශ්නය – සම්පූර්ණ පනතම එහෙම ඉදිරිපත් කරලා තිබුණද…?

පිළිතුර – ඔව්. සම්පූර්ණ පනතම ජනතාව අතරට සාකච්ඡාව සදහා යෑව්වා. මම දන්නවා පුළුල් ලෙස සාකච්ඡාවට බදුන් වුණා.

ප්‍රශ්නය – ජනතාවට නිවැරැදි තොරතුරු ලබාදීම තමයි ජනමාධ්‍යයක වගකීම.. නමුත් මේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබ`ද පනත තුළින් අපේ වෘත්තියේ අභිවෘද්ධියට ඉහළ සේවයක්‌ සැලසෙනවා කියන එක අපි පිළිගන්නේ නෑ…

පිළිතුර – එහෙම පිළිගන්න අවශ්‍ය නෑ… මෙකද මේ පනත බලාත්මක වුණාම ඉන් සෙත සැලසෙන්නේ රටේ පොදු ජනතාවට. ඔයගොල්ලන්ට නොවෙයි… රටේ පුරවැසියන් විදියට ඔයගොල්ලන්ටත් මේ පනත තුළින් යම් ආවරණයක්‌ ලැබෙයි. ඒත් මෙයින් සෘජු සේවය සැලසෙන්නේ රටේ පොදු ජනතාවට… රාජ්‍ය මහජන සේවයේ පවතින, සාමාන්‍යයෙන් පොදු ජනතාවට නොලැබෙන තොරතුරු මහජනතාව සදහා විවෘත කිරීමක්‌ තමයි මෙතනින් වෙන්නේ. යහපත් ආණ්‌ඩුකරණයකට, පාරදෘශ්‍ය ආණ්‌ඩුකරණයකට රටකට මෙය අවශ්‍යයි. රජය විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යැමට මේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනත මහෝපකාරී වේවි.

අන්න ඒ මූලික අයිතිවාසිකම ක්‍රියාත්මක කරන්න තමයි මේ පනත ඉදිරිපත් කරන්නේ. මේ පනත රටේ සියලුම ‘පොදු අධිකාරීන්’ වලට බලපානවා. පොදු අධිකාරීන් කියන්නේ මූලිකවම ආණ්‌ඩුව, ආණ්‌ඩුවේ සියලුම ආයතන, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්‌ථා ආදී සියලු ව්‍යවස්‌ථාපිත ආයතන, පළාත් සභා, ප්‍රාදේශීය සභා වගේ පළාත් පාලන ආයතන. මහජන සම්බන්ධතා පවත්වාගෙන යනවා නම් පුද්ගලික ආයතන වුණත් ගැනෙනවා. ඒ වගේම රජයෙන් හෝ ජාත්‍යන්තර ආයතන වලින් අරමුදල් රැගෙන මහජන සේවය පවත්වාගෙන යනවා නම් රාජ්‍ය නොවන සංවිධාන වලට වුණත් මේ විෂය පථය අදාළයි. මේ පනතට අනුව මේ කියාපු ආයතන මූලික වශයෙන් බැඳී ඉන්නවා එම ආයතනවල පවතින තොරතුරු ‘ඉල්ලන අයට’ ලබා දෙන්න.

ප්‍රශ්නය – කාටද එතකොට මේ තොරතුරු ඉල්ලා සිටින්න අයිතිය තියෙන්නේ…?

පිළිතුර – පුරවැසියන්ට… පුරවැසි සංවිධානවලට මේ අයිතිය තියනවා. පනත් කෙටුම් පතක්‌ වුණත් අභියෝගයට ලක්‌ කරන්න පුරවැසියන්ට හා පුරවැසි සංවිධානවලට පුළුවන්නේ…

ප්‍රශ්නය – මාධ්‍යවලට නැද්ද…?

පිළිතුර – තියනවා… මාධ්‍යවලත් ඉන්නේ ඉතින් පුරවැසියොනේ…

ප්‍රශ්නය – රජයේ හා ඔබ ඉහත කී ආයතනවල නොයෙකුත් දූෂණ, අක්‍රමිකතා, වැරැදි, සොරකම් අනන්තවත් සිදුවන බව අපි දන්නවා… මාධ්‍ය වලටත් මෙතෙක්‌ ලොකු අයිතියක්‌ තිබුණා එම තොරතුරු හොයලා මහජනතාව වෙනුවෙන් හෙළිදරව් කරන්න. මේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනත තුළින් පොලීසියට හෝ වෙනයම් ආයතනයකට බලයක්‌ ලැබෙනවද එම තොරතුරු ලැබුණේ කොහොමද කියලා මාධ්‍යවලින් ප්‍රශ්න කරන්න…?

පිළිතුර – නැහැ… වැරැදියි… යම්කිසි කෙනෙක්‌ ඉල්ලා සිටියේ නැතත්, මහජන සුබ සිද්ධිය ස`දහා ඉවහල් වනවා කියලා මෙම පනත මගින් නම් කරලා තියන වර්ගයේ තොරතුරක්‌ කවුරු හෝ සොයාගෙන පළ කළාට කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. ඒ විතරක්‌ නොවෙයි. දැන් තියනවානේ නීතියක්‌ රාජ්‍ය ආයතනයක තොරතුරක්‌ පිටට දිය නොහැකියි කියලා. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබ`ද පනත ආවාම එහෙම ප්‍රශ්න නැහැ. පනත මගින් නම් කරලා තියන වර්ගයේ කාණ්‌ඩයට අයත් තොරතුරු මහජනයා ඉල්ලා සිටියේ නැතත් පිටට දීමට රාජ්‍ය සේවකයාට අයිතියක්‌ ලැබෙනවා මෙම පනත අනුව….

ප්‍රශ්නය – හොදයි…. මොනවද ඔය තොරතුරු එළියට දිය හැකි කාණ්‌ඩ…?

පිළිතුර – ඊට ඉස්‌සර වෙලා මොනවද තොරතුරු පිටට දෙන්න බැරි කාණ්‌ඩයන් කියලා කතා කරලා ඉමු.

පළමුව රාජ්‍ය ආරක්‍ෂාවට, භෞමික අඛණ්‌ඩතාවයට, ජාතික ආරක්‍ෂාවට බරපතළ ලෙස අනතුරුදායක තොරතුරු දිය නොහැකියි. ඒ වගේම අන්තර් ජාතික ගිවිසුමක්‌ යටතේ හෝ ජාත්‍යන්තර නීතියක්‌ යටතේ ආරක්‍ෂා කළ යුතු රහසිගත තොරතුරු දිය නොහැකියි. ඒ වගේම යමෙකුගේ පුද්ගලික තොරතුරු වෙනත් අයෙකුට දිය නොහැකියි. රටේ ආර්ථිකයට අගතිගාමී ලෙස බලපෑ හැකි තොරතුරු දිය නොහැකියි. වෘත්තීය මට්‌ටමේ තොරතුරු දිය නොහැකියි. යම්කිසි අපරාධයක්‌ වැලැක්‌වීමට අගතිගාමී ලෙස මැදිහත් වේ යෑයි සිතිය හැකි තොරතුරක්‌ වේ නම් එය දිය නොහැකියි. අධිකරණයට අපහාසයක්‌ වනවා නම් හෝ පාර්ලිමේන්තු වරප්‍රසාදයක්‌ උල්ලංඝනය වනවා නම් නොදී සිටිය හැකියි. මේ වගේ විශේෂිත කාණ්‌ඩ කිහිපයක්‌ හැරුණාම අනිත් ඕනෑම ගනයේ තොරතුරක්‌ පිළිබදව ප්‍රශ්න කිසිවක්‌ම නැහැ. හැබැයි මේ පනතට වහං වෙලා රජයට හැමදාමත් තොරතුරු නොදී සිටිය නොහැකියි. අවුරුදු 10 කට පසුව මේ තොරතුරු දිය යුතුයි. එහෙම වත් දිය නොහැකි තොරතුරු වර්ග තියනවා ඔය පුද්ගලික තොරතුරු හා ආරක්‍ෂක තොරතුරු වගේ…

ප්‍රශ්නය – මොනවද ඔය තොරතුරු එළියට දිය හැකි කාණ්‌ඩ…?

පිළිතුර – ඔබ පාසලකට ළමයෙක්‌ ඇතුල් කරවන්න අයදුම් කරනවා. අල්ලපු ගෙදර ළමයා තේරෙනවා. ඔබේ ළමයා තේරෙන්නේ නෑ. මෙහිදී ඔබට පුළුවන් ඔබේ දරුවාට වඩා අනිත් දරුවා සුදුසු වුණේ කොහොමද කියලා ප්‍රශ්න කරන්න. දැන් ඒක කරන්න බැහැනේ.. මේ පනත ආවාට පස්‌සේ පුළුවන්. ඒ වගේම තමයි ඔබ විභාගයකට ලියනවා. ඔබ රැකියාවකට අයදුම් කරනවා. ඔබ රජයේ ටෙන්ඩරයකට අයදුම් කරනවා.. මේ වගේ තැන් වලදී සමාජයේ හැම කෙනෙක්‌ ම සෑහීමකට පත් කරන්න අමාරුයි. ඒ මොකද අද සමාජයේ අයුතු බලපෑම්වලින් මේ දේවල් සිදුවන බව සමාජය දන්නවා. ඒවා වෙන්නේ සමාජයේ කිසිම තැනක විනිවිද බවක්‌ නැති නිසයි. මේ පනත ආවාට පස්‌සේ මහජනයාට ලැබෙනවා අයිතියක්‌ සියල්ල ප්‍රශ්න කරන්න. එවිට කිසිවෙකුට බෑ වැරදි කරන්න. කිසි තැනක්‌ නෑ අයථා මාර්ගවලින් ඉදිරියට යන්න ඉඩක්‌.. අනිත් එක තමයි අසල්වැසි ඉන්දියාවේ, බංග්ලාදේශයේ පවා මේ පනත ක්‍රියාත්මකයි. අඩුපාඩු ඇති. ඒත් කොතනින් හෝ අපි පටන් ගන්නයි අවශ්‍ය…

ප්‍රශ්නය – මාධ්‍යවේදියා විවිධ ක්‍රම මගින් රජයේ හෝ රාජ්‍ය ආයතනවල තොරතුරු ලබා ගන්නවා. ජනතාවගේ දැනගැනීම ස`දහා පළ කරනවා. සමහර ප්‍රවෘත්ති නිසා සමහර විට මාධ්‍යවේදීන්ට විවිධ තර්ජන ගර්ජනවලට ලක්‌වන්නට වෙනවා.

පිළිතුර – ඔයගොල්ලන්ගේ එම කටයුතු වලට මේ පනතෙන් නම් කිසිදු බාධාවක්‌ නෑ.. රටේ පවතින නීතියට අනුව ඒවා බලාගන්නා එක ඔයගොල්ලන්ට අයිති වැඩක්‌…. මේ පනතෙන් ඒවාට බාධා නෑ.

ප්‍රශ්නය – පසුගිය කාලේ මේ රජයේ ඉන්න සමහර දේශපාලනඥයෝ කිව්වා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනත ආවාට පස්‌සේ මාධ්‍යවලටත් හොද දසාවක්‌ උදාවෙයි කියලා. නමුත් ඔබතුමා කියනවා මේ පනතින් මාධ්‍ය වලට සේවයක්‌ නෑ කියලා..

පිළිතුර – සම්පූර්ණයෙන්ම වැරැදියි. ඔබ වැරැදි විදියටම තමයි මම කියපු දේ අර්ථ නිරූපනය කරන්නේ. මම කියන්නේ මේ පනත මහජනයාටයි. මාධ්‍යවලටත් මෙයින් යම් වාසියක්‌ වෙයි. මේ පනතට පිටින් ගිහින් ඔයගොල්ලා සාමාන්‍ය විදියට තොරතුරු ලබාගෙන ප්‍රසිද්ධ කළාට මේ පනතින් ඊට කිසි බාධාවක්‌ එල්ල වන්නේ නෑ.

ප්‍රශ්නය – ඇයි මේකට ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනත’ නොවෙයි, තොරතුරු වහං කිරීමේ පනත කියලා විපක්‍ෂය කියන්නේ…?

පිළිතුර – ඒක ඔබ විපක්‍ෂයෙන්ම අහන්න..මම කියන්නේ මෙච්චරයි.. මේ පනත සම්මත වෙලා ක්‍රියාත්මක වුණොත් අපේ රට තමයි ලොව රටවල් අතර 7 වන තැනට ගැනෙන ශක්‌තිමත්ම ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනත’ ක්‍රියාත්මක වෙන රට. එච්චරයි. රටක ආණ්‌ඩුකරණයක්‌ විවෘත කරන්න මේ වගේ පනතක්‌ අවශ්‍යයි.

-දිවයින-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *