තිළිණ ගමගේ ඇපෙන් බේරෙයි! අධිකරණය අවමානයට ලක්වෙයි!

Thilina-Gamage-Apaබලපත්‍ර නොමැතිව නීති විරෝධීව ඇත් පැටවකු ලඟ තබා ගැනීමේ චෝදනාවට ලක්ව අධිකරණය මඟ හරිමින් කට්ටි පනිමින් සිට දින 20 කට පසු අධිකරණයට භාර වූ තිළිණ ගමගේට ඊයේ(02) පැය කිහිපයක් ඇතුලත ඇප ලැබීම මේ වන විට දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් නොවී දින 20ක පමණ කාලයක් අතුරුදන්ව සිටි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ඊයේ(02 වැනිදා) ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට භාරවූ අතර, ඔහු ඇප මත මුදාහැරීමට මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න තීරණය කළේය.

සැකකාර මහේස්ත‍්‍රාත්වරයාට පොදු දේපළ පනත යටතේ චෝදනා නැගීමට ප‍්‍රමාණවත් සාක්ෂි තිබෙන බැවින් ඔහුගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා සීඅයිඞීයට උපදෙස් දී තිබුණු නමුත් ගංගොඩවිල මහේස්ත‍්‍රාත්වරයාගේ තීරණය වූයේ අලි පැටියා පොදු දේපළ පනත යටතට නොවැටෙන බවය. ඒ අනුව රුපියල් ලක්ෂ 25ක පෞද්ගලික බැඳුම්කර හතරක් හා ලක්ෂ 5ක මුදල් ඇපයක් මත සැකකාර මහේස්ත‍්‍රාත්වරයා මුදාහැරිණි.

ඇප ලබාදීම සම්බන්ධව මහේස්ත‍්‍රාත්වරයා සිය තීරණය දුන්නේ සවස 6.45ට පමණ වන අතර, ඉන් පැය භාගයක වැනි කාලයක් තුළ තිළිණ ගමගේ මහතා ඇපද තැන්පත් කර අධිකරණ භූමියෙන් පිටව යනු දක්නට ලැබිණි. සාමාන්‍යයෙන් සිදු නොවන පරිදි අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා මෙදින සවස 07 දක්වාද සේවයේ යෙදී සිටිනු දක්නට ලැබීම විශේෂය.

ඇප විමසීම ආරම්භයේදීම රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් මහේස්ත‍්‍රාත්වරයා අමතමින්, ‘ඔබතුමාට සැකකාර මහේස්ත‍්‍රාත්වරයා සමග රාජකාරිමය සම්බන්ධතාවක් පමණක් තිබේ නම් ගැටලූවක් නැති නමුත් කිසියම් හෝ පෞද්ගලික සම්බන්ධතාවක් තිබේ නම් මේ විමසීම ඔබ විසින් කිරීම සුදුසුදැයි තීරණය කරන ලෙස ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් විමසීම දිගටම කිරීමට මහේස්ත‍්‍රාත්වරයා කටයුතු කළේය. ගංගොඩවිල මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න හා සැකකාර මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ සමීප මිතුරන් බව නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධය.

මේ නිසාමදෝ මෙම විමසීම මුලින් විභාගයට ගැනුණු මැයි 30 වැනිදා තමා මේ විමසීම කරනවාට විරෝධයක් ඇත්දැයි මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න විවෘත අධිකරණයේදී විමසූ අතර ඒ පිළිබඳ තීරණය කරුණු සලකා බලා ඔබතුමාම ගන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා පිළිතුරු දී තිබුණි.

ප‍්‍රකාශයක් සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී දින 20ක් ගතවනතුරුත් තිළිණ ගමගේ මහතා ඊට ඉදිරිපත් නොවී කට්ටි පනිමින් සිටි අතර, සීඅයිඩියේ කණ්ඩායම් දෙකක් ඔහු සෙවූ නමුත් සොයාගැනීමට ලැබුණේ නැත. එහෙත් ඔහුගේ නිවසට දිගින් දිගටම පොලිස් ආරක්ෂාව යොදා තිබෙනු දක්නට ලැබිණි.

-රාවය ඇසුරින්-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.