ආණ්ඩුවේ අර්බුදය (රාම්ගේ විග්‍රහය)

එක්සත් ජාතික පක්ෂය යනු මේ රටට නිදහස දිනා දීමට පුරෝගාමී වූ, ගොවි ජනපද බිහිකරමින් ආර්ථික අතින් රට සරුසාර කිරීමට උරදුන් අභිමානවත් පක්ෂයකි. එ් පිළිබඳ විවාදයක් නැත. අදත් තනි පක්ෂයක් ලෙසින් දැවැන්ත ඡන්ද පදනමක් එම පක්ෂයට හිමිව තිබේ. එසේම මේ රටේ යූ. ඇන්. පී. විරෝධී ප‍්‍රගතිශීලී ඡුන්ද පදනම ද එ් තරමටම දැවැන්තය. එම ඡන්දයට නායකත්‍වය දෙනු ලබන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි. මේ රටේ විධායක ජනාධිපති ධුරයක් බිහි කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයට වාසිදායක වේ යැයි සිතාගෙන නමුදු මේ වනවිට එම ධූරය වැඩිම කාලයක් හිමිකර ගෙන සිටින්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අය බව පැහැදිලිය. අදටත් එය එසේමය. ඊට හේතුව යූ.ඇන්.පී. විරෝධී ප‍්‍රගතිශීලී හා සිංහල බෞද්ධ බහුතර ඡන්දය මෙන්ම සුළුජන ඡන්ද යම් ප‍්‍රමාණයකට වුවද හිමිකර ගැනීමට ද එම පක්ෂය ශක්තිමත් වීමයි.

2010 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශී‍්‍ර.ල.නි.ප.ය එම පක්ෂය මෙතෙක් පාර්ලිමේන්තුවේ තනි පක්ෂයක් ලෙසින් අත්පත් කරගත් වැඩිම ඡුන්ද සංඛ්‍යාව හිමිකර ගෙන තිබුණි. එහෙත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී මේ ප‍්‍රධාන පක්ෂ දෙකම එම පක්ෂවල අනන්‍යතාවය කප්පාදුකරගෙන තිබුණි. ආසන මට්ටමින් පැවැතියේ සමාන මන්තී‍්‍ර ආසන සංඛ්‍යාවකි. එනම් එක් පක්ෂයකට මන්තී‍්‍රවරුන් 82 බැගිනි. මෙහි යථාර්ථය ප‍්‍රධාන ධාරාවේ පක්ෂ දෙකෙන්ම එම පක්ෂවලට අනන්‍ය වූ ඡුන්දදායකයින් ඉවත් වීමයි. මේ වන විට පවතින දේශපාලන අනන්‍යතාවය ප‍්‍රධාන පක්ෂවලින් ඉවත් වූ ඡන්ද තීරුවක් නිර්මාණය වී තිබීම හා වාර්ගික පදනමින් කුඩා පක්ෂ සැලකිය යුතු ඡන්ද හා මන්තී‍්‍රන් සංඛ්‍යාවක් හිමි කර ගැනීමයි. එසේම ජනතා විමුක්ති පෙරමුණ ඕනෑම ආණ්ඩුවකට බලපෑමක් කළ හැකි කණ්ඩායමක් ලෙසින් ඉස්මතු වීමය.

පසුගිය ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්‍ෂකයෙකුට ජයගත හැකිව තිබුණි නම් කිසි විටෙකත් ඔවුන් වෙනත් අපේක්‍ෂකයෙකුට සහයෝගය දීමේ තීන්දුවකට එළඹෙන්නේ නැත. එසේම එ් සඳහා ඉඩක් තිබුණේ කවුරුත් පිළිගන්නා පොදු අපේක්‍ෂකයෙකුට පමණි. එ් බව තේරුම් ගැනීමට එ.ජා.ප. නායකත්වයට දැනුමක් හා දැක්මක් තිබුණි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් වත්මන් ජනාධිපති මෛතී‍්‍ර ඊට ගැලපෙන එ් මොහොතේ සිටි හොඳම සුදුස්සා විය. වසර දෙකක් ඇවෑමෙන් අදත් එ් සුදුසුකම නොවෙනස්ව පවතී. ඔහු එදා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය නොගැනීමටත්, පසුව හෝ ගන්නා බවට පොරොන්දු නොවීමටත්, ශී‍්‍ර ලංකා කාරයෙකු ලෙසින් දිගින් දිගටම කටයුතු කිරීමටත් වගබලාගත්හ. එසේම යූ.ඇන්.පී. කාරයෝ දෙවරක් කල්පනා කිරීමෙන් තොරව මෛතී‍්‍රගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවූහ. සාමාන්‍ය පාක්‍ෂිකයා තුළ සටකපට “දේශපාලන ගේම්” නොමැති බවට මෙය හොඳම සාක්ෂියකි.

එහෙත් ජනාධිපති හා පාර්ලිමේන්තු මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසු ආණ්ඩුව මේ යථාර්ථයෙන් ඈත් වී රටේ මතු වී පවතින නව ප‍්‍රවනතා අමතක කර කටයුතු කරන බව පෙනේ. මේ වන විට වසර දෙකක් කල්ගත වී ඇති මෛතී‍්‍රගේ ජයග‍්‍රහණය එක් පක්ෂයක වික‍්‍රමයක් නොවේ. එය කුඩා පක්ෂ, කල්ලි කණ්ඩායම්, සිවිල් ව්‍යාපාර හා නිදහස් ලෙස කල්පනා කරන මිනිසුන්ගේ මෙන්ම සුළු ජනවාර්ගික ප‍්‍රජාවේ ජයග‍්‍රහණයකි. ජනාධිපතිවරණයේ තීරණාත්මක ඡන්දය තීන්දු කරනු ලැබුවේ ඔවුහුය. ඔවුහු මේ වනවිට ආණ්ඩුවෙන් ඈත්වෙමින් සිටිති. එසේම මොන ප‍්‍රශ්න තිබුණත් ආණ්ඩුව තුළත් පිටත් ”දේශීය මිනිසා” ලෙසින් මෛතී‍්‍ර තම විකට්ටුව රැකගෙන සිටී. ඔහු ”බැට්” කරන්නේ නැතත් විකට්ටුව අල්ලාගෙන සිටින බව පෙනේ. එසේම අහකයන බෝලවලට ලෑල්ල දාන්න යන්නේ ද නැත. අනෙක් අයට ”බැට්” කරන්නාට ඉඩදී බලාගෙන සිටී. දක්ෂ නායකයෙකුගේ හැටි එහෙමය. එහෙත් ‘බැට්’ කරන්නා ලකුණු රැස්කර ගැනීමෙන් තොරව නිස්කාරනේ විකට් එක කඩා ගැනීමට සූදානම් නම් ඊට ඉඩක් දීමට ද මෛතී‍්‍රගේ සූදානමක් නැති පාටය. අවසානේ කණ්ඩායමේ පරාජය රටේ පරාජයක් ලෙසින් සටන් වීමට ඉඩනොදී මෛතී‍්‍ර අවශ්‍ය මොහොතේ ‘බැට්’කර ලකුණු අතරට යෑමටද සූදානමින් වාගේය. එසේම විකට්ටුව රැකගෙන සිටිමින්ම අවුට් වීමට ඔහුගේ සූදානමක් ද නැත. මේ අතර ඔහු බැට් කරන්න පටන් ගන්නේ කවදා දැයි කියන්න දන්නේ නැත. කණ්ඩායමේ කී‍්‍රඩකයෝ මෙය තේරුම් ගත යුතුය. එසේම ඔහු දැන් 2015වේ ජනවාරි 8 වැනිදා සිටි ‘තනි මිනිසා’ නම් නොවේ. දැන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ද නායකයාය.

පැරණි ආණ්ඩුව කල වැරදි මේ ආණ්ඩුවත් කරනවා නම් හෝ ගෙඩිය පිටින් ”නව ලිබරල් චින්තනය” බලහත්කාරයෙන් වාගේ මේ රටට ගිල්ලවීමට සූදානම් වනවා නම්, මේ ආණ්ඩුව කපෝතිය. එය මේ ආණ්ඩුව තුළ වඩාත් හොඳින් තේරුම් ගනිමින් සිටින නායකයා ද මෛතී‍්‍රය. ජාත්‍යන්තරයේ නූතන ප‍්‍රවනතා අවබෝධ කරගනිමින් මහ පොළොවේ මුල් බැසගත් දේශීය චින්තනයකින් තොරව ගෝලීයකරණයට මුහුණ දීමට මේ රට සූදානම් නැත්නම් නැවත නැවත සිදුවන්නේ අසාර්ථක වීම හා රට අවුලකට ඇද දැමීම පමණි. මේ අතර ජාත්‍යන්තරයෙන් ශී‍්‍ර ලංකාව කොන් වූ හිටපු ජනාධිපතිවරයා හිතුවක්කාර ලෙසින් ගෙනගිය ”ගල්ගුහා චින්තනය” නිවැරැුදි යැයි මින් අදහස් නොවේ. මෛතී‍්‍ර එළියට පැමිණියේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට හෝ මහින්ද චින්තනයට එරෙහිව නොව එම හිතුවක්කාරී ”ගල්ගුහා චින්තනය”ට එරෙහිවය. එසේම 2003දී මේ රට ප‍්‍රතික්ෂේප කළ ”යළි පුබුදමු ශී‍්‍ර ලංකා” වැඩසටහන අත්හදා බලැමට ද නොවේ.

“ඔළුවෙන් සිටගත් සංවර්ධනයේ ප‍්‍රමුඛතා දෙපයින් සිටුවීමට මම කටයුතු කරමි. නාස්තිකාර වැඩ සියල්ල අත් හිටුවා රටේ ස්වාභාවික හා මානව සම්පත් මත පදනම් වූ සැබෑ තිරසර ආර්ථික සංවර්ධනයක් ඉලක්ක කරගත් වැඩ පිළිවෙළක් සකස් කිරීම උදෙසා මුදලට නොව රටට සැබෑ ලෙසම ආදරය කරන විද්වතුන් ඇතුලත් ජාතික ආර්ථික සැලසුම් මණ්ඩලයක් ස්ථාපිත කරන්නෙමි. එම මණ්ඩලයේ නිර්දේශ මත ධන කුවේරයන්ගේ නොව දුක් විදින දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය සැබෑ ලෙසම නංවාලන වැඩ පිළිවෙලක් ඉදිරි වසර 6 තුළදී මේ මහපොළොවේ කි‍්‍රයාවට නංවන්නෙමි.” (උපුටාගැනීම: මෛතී‍්‍ර පාලනයක් ස්ථාවර රටක්)

අසූවයි විස්සට රාජ්‍ය ආයතන විකිණීම හෝ අක්කර දහස් ගණනක ඉඩම් යායවල් බහු ජාතික සමාගම්වලට වැට මායිම් ගසා වෙන්කර දීම හෝ ඕනෑම අමාත්‍යාංශයක් සතු ආයතනවලට බලපෑම් කළ හැකි සුපිරි ඇමැතිවරයෙකු ගොඩනඟා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්‍ව පාලන ලේබලය යටතේ ලාභ ලබන රාජ්‍ය ආයතන ද විකිණීම මෛතී‍්‍ර යෝජනා කරන “තිරසර සංවර්ධන පිළිවෙත” නොවේ. එය අමු අමුවේ ඇති නැති පරතරය වැඩිකළ, දුප්පතා වඩාත්ම දුප්පත්කළ නව ලිබරල් චින්තනයේ අංගෝපාංග යි. මේ චින්තනය අසාර්ථකය. දැනට ලොවෙන් ම ප‍්‍රතික්ෂේප වෙමින් පවතී. එහෙත් අපට උඩුගං බලා පීනිය නොහැක. ගල්ගුහාවක මෙන් ජීවත්විය නොහැක. යම් මැද තැනක දේශීයත්‍වය සහිත චින්තනයක් මේ අර්බුදවලින් ගොඩ එ්මට සකසාගත යුතුය. මෛතී‍්‍ර යෝජනා කරන “තිරසර සංවර්ධනය” එය බව පැහැදිලිය. එය කීප දෙනෙකුගේ මිත‍්‍ර සමාගමකින් බිහිකළ නොහැකිය.

අද මේ රට තුළ ආර්ථිකය හා ආර්ථික ගමන සම්බන්ධයෙන් නව අර්බුදයක් නිර්මාණය වී තිබෙන්නේ සාකච්ඡුාවෙන්, සම්මන්ත‍්‍රණයෙන් හා ජනතාව දැනුවත් කිරීමෙන් තොරව වෙනස් ගමනක් යෑමට මෙ රජය සූදානම් වීමත් සමඟය. ආරම්භයේ සිටම මේ ආණ්ඩුව දේශාපලන සටන් පාඨයක් ලෙසින් පාවිච්චි කරනු ලබන මහින්ද රාජපක්‍ෂ යුගයේ ආදායමක් නොලබන ව්‍යාපෘති වෙනුවෙන් වැයකලායි ගණන් බලා ඇති මුදලේ වටිනාකම රු. බිලියන 248කි. එහෙත් රුපියල බාල්දු වීම නිසා එක් අවුරුද්දකට පමණක් වැඩි වී තිබෙන ණය බර රු. බිලියන 285කි. දල වශයෙන් රටට ලැබෙන ආදායම ඇ. ඩොලර් බිලියන 10කි. පිටරටින් භාණ්ඩ ගෙන්වීමට වැය කරනු ලබන මුදල ඇ. ඩොලර් බිලියන 20කි. අපනයන ආදායම මෙන් දෙගුණයක් ආනයනය වෙනුවෙන් වැය කරති. රටේ ආදායමේ ප‍්‍රතිශතය දල දේශීය නිෂ්පාදිතයෙන් 12%ක් තරම් වන විට මීට ඉහත 33%ක් තරම් වූ අපනයන ආදායම 15%ක් තරමට අඩුකර ගෙන තිබේ. මීට රාජපක්‍ෂ පාලනයද වගකිව යුතුය. මෙම අර්බුදය නිමාණය වෙමින් පවතින්නේ එම පාලනයේ අවසාන භාගයේ සිටය. එහෙත් බටහිර ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමක් ඇති වත්මන් රජය යටතේ වුවද බටහිරින් ආයෝජන ලැබෙන පාටක් නොපෙනේ. 2015 රටට ලැබුණු ඍජු විදේශ ආයෝජනවල වටිනාකම ඇ. ඩොලර් මිලියන 970කි. එය රාජපක්‍ෂ යුගයේ 2014දී 1616කි. 2016 මුල් කාර්තුවේ ලැබී ඇත්තේ ඇ. ඩොලර් 336කි. නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදයේ තරම පැහැදිලිය. පුළුල් කථිකාවතකින් විසඳුමක් සොයාගත යුත්තේ මේ සඳහාය.

මේ නිසා ”නැත අන් සරනා චීනය මිස අපටා…” තත්ත්වයට ශී‍්‍ර ලංකාව පත්ව ඇත. එහෙත් චීනය සමඟ කරන්නට යන ගණුදෙනුව අවාසිසහගත බව පෙනේ. අසූවයි විස්සට අනුනව අවුරුද්දට ආයතන පැවරීම චීනයට සින්නක්කර දුන්නා හා සමානය. එහෙත් චීන කොමියුනිස් පක්ෂයෙන් දේශපාලනය පටන් ගත් චීනයට අතිශයින් කිට්ටු මිතුරෙක් මේ රටේ ජනාධිපති වී සිටී. ඔහු සමඟ මේ ගිවිසුම් සාකච්ඡුා කර තිබේ දැයි කියන්න දන්නේ නැත. අඩු තරමින් වරාය ඇමතිවරයාවත් නොදන්නවා නම් සිදු වන දේ පැහැදිලිය.

එහෙම නම් ජනාධිපතිවරයා බලාගෙන සිටින්නේ ඇයි ? ඔහුට වගකීමක් නැද්ද? වගකිමක් තිබෙන නිසාම අභ්‍යන්තර සාකච්ඡුාවකින් ආණ්ඩුව හදාගන්නවා මිසක මේ මොහොතේ කඩා ගැනීමට ඔහු සූදානම් නැත. ඊට හේතුව මේ ආණ්ඩුව තුලින් ඉටුකරවා ගැනීමට එතුමා ජනතාවට පොරොන්දු වූ කාරනා රැුසක් තිබේ. ”මෛතී‍්‍රපාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ එය පැහැදිලිව සඳහන් වේ. එසේ ම ජනවාරී 8 වැනිදා ජනාධිපතිවරයාගේ ධුරකාලයට දෙවසරක් සම්පූරණ වේ. මේ නිසා ඉදිරයේ පැමිණි ගමන ගැන යම් සමාලෝචනයකට යෑමට ඔහුට සිදු වේ. මේ නිසා 2017 වසර ආණ්ඩුකරණ කාටත් තීරණාත්මකය.

අද රට මුහුණ දී තිබෙන අර්බුදයට විසඳුම් සෙවීම පමණක් නොව සමාජ, ආර්ථික හා ජනවාර්ගික ප‍්‍රශ්න විස‘දීම තනිපක්ෂයක ආණ්ඩුවකට කල නොහැකිය. එසේම ප‍්‍රධාන ධාරාවේ දේශපාලන බලවේග දෙකටම තනිබලයක් ජනතාව විසින් ලබා දී නොමැත. මේ අතර ආණ්ඩුවේ කාටත් පිළිගත හැකි ජනාධිපතිවරයෙක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ද සහිතව මේ ආණ්ඩුවට ලැබී තිබේ. එසේ නම් කිම බැදිවල යන්නේ කියන කාරනය ජනතාවට ප‍්‍රශ්න කිරීමට සිදුවේ. බැදිවල යන්නේ දේශපාලන ”ගේමක්” සඳහා නම් ඊට සූදානම් වන අය හෙට දවසේ බරපතල වරද්දා ගැනීමක් සිදුකර ගනු ඇත.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනාධිපතිවරයා ස්වාධීන වී, හිටපු ජනාධිපතිවරයාට අගමැතිකම නොදෙන බවට පොරොන්දු වී, එක්සත් ජාතික පක්ෂයට සුළුතර හෝ රජයක් ලැබී, කුඩා පක්ෂ කණ්ඩායම් රැුසකගේ සහාය එක්සත් ජාතික පක්ෂයට ලැබී වුවද පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගත හැකිවූයේ මන්තී‍්‍ර ආසන 106කි. මේ වන විට එහි අඩුවීමක් මිස වැඩිවීමක් නම් නොපෙනේ. ආසන 106ක් යනු 113නේ බහුතරය නොවේ. එසේම ලබාගත හැකි උපරිමය සේ ද පෙනේ. 2015 ජනවාරි 8 වැනිදා පරාජයට පත්වූයේ පාර්ලිමේන්තුවේ ආසන 160ක බලයක් සහිත ආණ්ඩුවකි. දේශපාලනයේ හැටි එහෙමය. වැදගත්වන්නේ එ් පිළිබඳ අවබෝධයකින් ආණ්ඩු කිරීමය. ජනතා තීන්දුව විනිවිද පෙනෙන අලූත් වැඩපිළිවෙලක් ඔස්සේ පසුගිය ආණ්ඩුව කල වැරදි නොකර යන අළුත් ගමනකටය.

එසේ නොමැතිව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය පාවිච්චි කර ආණ්ඩුව නියෝජනය කරන එම පක්ෂයේ කණ්ඩායම අසරණ කරමින් පැරණි දේශපාලන පිළිවෙතේම යෑමට සූදානම් වන්නේ නම් එය ද බරපතල වරද්දා ගැනීමක් වනු ඇත. ඊට හේතුව යූ.ඇන්.පී. විරෝධී ප‍්‍රගතිශීලී ඡුන්දයේ හැසිරීම පුද්ගල සාධක හෙවත් මහින්ද, මෛතී‍්‍ර කාරනා මත හැමදාම නොපවතින බව ඊට එහෙිව දේශපාලන කරන අය තේරුම් ගත යුතුය.

-වසන්තපි‍්‍රය රාමනායක-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *