නව ව්‍යවස්‌ථාවෙන් 13 ට එහා ගිය බලය බෙදීමක්‌ !

13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට එහා ගිය බලය බෙදීමක්‌ අවශ්‍ය බවට එදා මහින්ද රාජපක්‍ෂ මහතා විසින් දුන් පොරොන්දුව වත්මන් රජය ඉටු කරන බව උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.උතුරේ ප්‍රශ්නයට තේරීම් කාරක සභාවෙන් ලබාදෙන ඕනෑම විසඳුමක්‌ පිළිගැනීමට එදා මහින්ද රාජපක්‍ෂ මහතා සූදානමින් සිටි බව ද හෙතෙම කීවේය.

යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා බත්තරමුල්ල පිහිටි එම අමාත්‍යාංශයේ ඊයේ (18 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී එසේ කී ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.

නව ව්‍යවස්‌ථාවේ වගන්ති ගැන විවිධ මත ප්‍රකාශ වෙනවා. දැනට ව්‍යවස්‌ථාවේ එක වගන්තියක්‌වත් හදලා නැහැ. නව ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුව හරහා වාර්තා 7 ක්‌ හදලා තිබෙනවා. එහි තිබෙන්නේ අපට ඉදිරිපත් කළ විවිධ යෝජනා පමණයි. ඒවා අවසන් යෝජනා නෙමෙයි. මේ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුව තුළ විවෘතව සාකච්ඡා කරනවා. කිසිවක්‌ හොරෙන් කරන්නේ නැහැ. රටේ දෙවතාවක්‌ ව්‍යවස්‌ථා සංශෝධනය වුණා. ඒ හැම දේටම වඩා විවෘතවයි මෙවර නව ව්‍යවස්‌ථා සංශෝධනය සිදු වෙන්නේ. මේක පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කිරීමෙන් පසු අවසන් තීරණයක්‌ ගන්නවා.

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ බලය බෙදුවා. නමුත් 13 යටතේ බලය බෙදීම ප්‍රමාණවත් නැහැ කී පළමු රාජ්‍ය නායකයා තමයි මහින්ද රාජපක්‍ෂ. එතුමා නිරන්තරයෙන්ම ප්‍රකාශ කළා යුද්ධය යන කාලයේ. ඉන්දියාවට ගිහින් පවා කිව්වා. ප්‍රසිද්ධියේ පැහැදිලිව කිව්වා 13 ට එහා යන විසඳුමකට කැමතියි කියලා. ඒ ඉන්දියාව සමනය කර ගන්න. ඔහුගේ හිතේ තිබුණා ඉන්දීය මැදිහත් වීමක්‌ සිදුවෙයි කියලා යුද්ධය යන කාලයේ. අපි රට බෙදන්නේ නැහැ. නමුත් එදා කී විසඳුමට අපි යා යුතුයි. එතුමා අවංකවම ඒ දේ කිව්ව ද දන්නේ නැහැ. නමුත් ඔහු කියා තිබෙනවා. යුද්ධය යන කාලයේ එහෙම ප්‍රකාශ කළත්, යුද්ධය අවසන් වීමෙන් පසුව ඇහැව්වා 13 ට එහා යන විසඳුම කෝ කියලා. එවිට එතුමා කිව්වා මට ඒක කරන්න බැහැ කියලා. ඒක කළ යුත්තේ පාර්ලිමේන්තුවෙන් කිව්වා. උතුරේ ප්‍රශ්නයට තේරීම් කාරක සභාවෙන් ලබා දෙන ඕනෑම විසඳුමක්‌ ලබා දෙන්න සූදානම් බව කිව්වා. නමුත් ඔහුට තේරීම් කාරක සභාවක්‌ පත් කරන්න බැරි වුණා. සුළු දේශපාලන පක්‍ෂවලට ඔහු ගැන විශ්වාසයක්‌ තිබුණේ නැහැ.

අද එජාපය කරන්නේ එදා මහින්ද රාජපක්‍ෂ කී සහ මුළු ලංකාවටම පොරොන්දු වූ 13 ට එහා ගිය බලය බෙදීමක්‌ ලබා දෙන්නේ. දැන් මේ සාකච්ඡා කරගෙන යන්නේ 13 ට වැඩි යමක්‌ දෙන්න. නමුත් අවසන් තීරණයකට ඇවිත් නැහැ. අපට පුළුවන්කම ලැබුණා තේරීම් කාරක සභාවක්‌ පත් කරන්න. අද විශාල පිළිගැනීමක්‌ තිබෙනවා අලුත් ව්‍යවස්‌ථාවක්‌ රටට අවශ්‍යයි කියලා. අපේ රටට අලුත් ආරම්භයක්‌ අවශ්‍යයි. එදා මහින්ද රාජපක්‍ෂ පොරොන්දු වූ දේ අපි කරනවා. ඇයි දැන් මේකට අකුල් හෙළන්නේ. මේ ක්‍රියාදාමයට එරෙහිව වැරදි ප්‍රචාර ලබා දෙන්නේ ඇයි? අපට තේරෙන්නේ නැහැ. අපට ජනවරමක්‌ ලැබිලා තිබෙනවා. විසඳුමක්‌ සෙවීමට. ඒක දැන් අපි කරගෙන යනවා. රජය වෙනුවෙන් අපි ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉල්ලීමක්‌ කරනවා මේකට සහාය දෙන්න.

-දිවයින-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *