ජනපති මෛත්‍රිගෙන් සැර කතාවක්! (විශේෂ)

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්නට තමා තීරණය කෙළේ වැරැදි කළ පුද්ගලයන් සොයා නඩු පවරා හරියට වැඩේ අවසන් කරන්නට බවත් පාර්ලිමේන්තුවේ බැඳුම්කර විවාදයේදී සිදු වූයේ දෙගොල්ලොම හිතේ හැටියට නා ගැනීම බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (25දා) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී ප්‍රකාශ කළේය.

මම ආණ්ඩුවෙන් එළියට ආවේ එදා ආණ්ඩුවේ වංචා, දූෂණවලට විරුද්ධවයි. මේ ආණ්ඩුවේ වංචා, දූෂණ සිදු වෙනවා නම් ඒවා යට ගහන්න මට කිසිම වුවමනාවක් නැහැ. වංචාවට, හොරකමට විරුද්ධ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේ සිටිනවා නම් මට සහාය දෙන ලෙස ඉල්ලනවා යැයිද ජනපති පැවැසීය.

අර්ජුන් මහේන්ද්‍රන් එළියට දැම්මේ මම. කුමාරස්වාමි පත්කළේ මම. විගණකාධිපති පත් කළේත් මම. වැරැදි කරන අය රකින්න මම සූදානම් නෑ. මම කිසි කෙනකුට නැවෙන්නෙ නැහැ. ජනතාවට පමණක් හිස නවනවා යැයිද ජනපති පැවැසීය.

කෝප් කමිටුවේ වාර්තාව පිළිබඳව පැවැත්වූ විවාදය පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට එම වාර්තාව යවා තිබෙනවා. පොලිස්පතිවරයාටත් යවා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ පවත්වන්න. ඒවා අවුරුදු දෙක තුන ඇදෙන නිසයි තුන් මසක් කල් දී කොමිසමක් පත්කළේ යැයිද ජනපති පැවැසීය.

මේ බැඳුම්කර නාඩගම පසුගිය ආණ්ඩු කාලෙත් සිදුවී තිබෙනවා. තවත් ජනාධිපති කොමිසමක් පත්කර ඒ ගැනත් සොයා වැරැදි කළ අයට දඬුවම් දෙන බවද ජනපති පැවැසීය.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ 74 වැනි ජන්ම දිනය නිමිත්තෙන් නාරාහේන්පිට අභයාරාමයේ ඉදිකළ අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව නිරාවරණය නිමිත්තෙන් එම විහාරස්ථානයේදී ඊයේ (25දා) පස්වරුවේ මේ විශේෂ උත්සවය පැවැත්විණි.

එහිදී විශේෂ අනුශාසනාවක් පැවැත්වූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ රටට කෝටි ගණනක් පාඩු වූ විශාල හොරකමක් සිදුව තිබෙනවා. කුඩා ළමයා පවා ඒ ගැන දන්නවා. ඔබතුමා ජනාධිපති කොමිසමක් පත්කර මෙය යට ගහන්න හදනවා යැයි මිනිස්සු කතා වෙනවා.

ඔබතුමා හිර වෙලා ඉන්න බවක් පෙනෙනවා යැයි ජනාධිපතිවරයා හමුවේ පැවැසූහ.

උන් වහන්සේගේ දේශනයෙන් පසු සභාව අමතමින් ජනාධිපතිවරයා ඉහත ප්‍රකාශ සිදු කෙළේය.

[youtube yGJA34nTKvo]

Ad Widget

Recommended For You

About the Author: Editor

1 Comment

  1. ජනවාරි 8 බොහෝ මිනිසුන් ජීවිත කැප කිරීමෙන් ලබාගත් වෙනසට අගය දෙන්න ඕන ඔබ තුමා. අප විශ්වාස කලේ 29 වාරයක් පරාජය ලැබූ රනිල් වික්‍රමසිංහ මහත්මයා නොවෙයි. නිර්පාක්ශික ලෙසින් අප විශ්වාස කල දූශිත යන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්නට බලයක් ඉල්ලූ ඔබ ගැනයි.
    දැනටමත් බැඳුම්කර මගඩි නාඩගම පිළුණුවූ ව්‍යංජනයක් බවට පත් වී හමාරයි. එය සම්පුර්ණයෙන් පිරිසිදු කර නැවත සුවඳවුත්, ගුණවන්ත වුත් භෝජනයක් වූ “යහපාලනය “රට වැසියන් වෙනුවෙන් සකස් කිරීම ඔබතුමාගේ යුතුකමයි. මිනිසුන්ගේ හිත්වල ඇතිවන කළකිරීම නිසා මේ යන ක්‍රමයට, තව දුරටත් ඔබ තුමාගේ ගමන යතොත් කණගාටුවෙන් හෝ ඊළඟ චන්දයෙදී ඔබව විශ්වාස කල අයගෙන් ප්‍රතික්ෂෙප වන්නට සිදුවෙවි.

    පොරොන්දු ඉටු කරන්න! . දූෂිතයින්ට දඩුවම් දෙන්න!. විශ්වාසය රැකගන්න!. කවුරු මොන විදියට විරයන් වෙන්නට හැදුවත්, දුෂණය තුරන් කරන ඔබතුමාව, පොදුජනතාවගේ හදවතේ මිනිසා , දූෂණයට එරෙහිව යහපාලනය ජයගත් විරුවා වනු නොඅනුමානයි. ! මහා විශාල දේහයක් නොතිබුනාට , වක්කඩක් කැඩුවාක් මෙන් ගලාඑන සීනිබෝල වචන වලින් රටේ මහජනතාව නොඇන්දුවාට., කිසිම පක්ෂයකට උපතින්ම කඩේ නොයන වැඩිමනත් වූ නිර්පාක්ෂික උගත් තරුණ පිරිස හා ඇන්දිය නොහැකි උපතින්ම නුවණලත් ගැමි පිරිස, කුඩා සිරුරක් හිමි ඔබතුමාව, නොයෙක් වහසි බස් දොඩන දුශිතයින්ට යටත් නොවූ ඔබ තුමාව හදවතින්ම වැළඳ ගන්නා බව සක්සුදක් සේ පැහැදිලියි.
    බය නොවී එඩිතර තිරණ ගන්න. බහුතරයක් වූ දූෂණයට එරෙහි මහජනතාව ඔබතුමා සමඟ සිටගන්නා බව විශ්වාස කරන්න.

Leave a Reply

Your email address will not be published.