අඛිලගෙන් අලුත් චක්‍රලේඛනයක්

පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කැර ගැනීමේදී සිදු කරන වැරදි අවම කිරීම සඳහා 2018 වසරේදී නව චක්‍රලේඛයක් යටතේ පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කැර ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම වැනි වැරදි ක්‍රියා ලබන වසරේදී ද සිදු වුවහොත් එම පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පවසයි.
පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැවති ගැටලු විසඳීම සඳහා වසර ගණනාවක් තිස්සේ නොගත් අන්දමේ තීන්දු තීරණ පසුගිය වසර දෙක ඇතුළත ක්‍රියාත්මක කළ බවත් ඇමැතිවරයා පවසයි. ‍කොළඹ රාජකීය විද්‍යාලයට මේ වසරේ 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කැර ගැනීමේදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම හේතුවෙන් සිසුන් 31 දෙනකු ඉවත් කිරීමට පියවර ගත් බවත් ඇමැතිවරයා කියයි.
මේ සිසුන් වෙනුවට පෙරොත්තු ලේඛනයේ ඉදිරියෙන් සිටින වඩාත් සුදුසු සිසුන් ඇතුළත් කර ගැනීමට කටයුතු කරන ලෙස රාජකීය විදුහල්පතිවරයා වෙත උපදෙස් දී ඇතැයි පැවසූ ඇමැතිවරයා, එම කටයුතුවල යම් ප්‍රමාදයක් සිදුවූයේ පොරොත්තු ලේඛනයට ‍ඇතුළත්ව සිටින සිසුන්ගේ තොරතුරුවල නිවැරදිභාවය පරීක්ෂා කිරීමට සිදුවීම නිසා බවත්,එහිදී නව දෙනකු වෙනුවෙන් වැරදි තොරතුරු ලබා දී ඇති බව අනාවරණයවූ බවත් කියයි. ‍ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරීවරුන් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මාර්ගයෙන් අවශ්‍ය පියවර ගැනීමටත්, ඒවා පාසල්වලට ඉදිරිපත් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටත් කටයුතු කරන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මේ සම්බන්ධයෙන් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
-දිනමිණ-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.