බැඳුම්කරේ කළු සල්ලි සුදු කරගන්න දැඩි සටනක

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ සීමාසහිත පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සහ තවත් මූල්‍ය සමාගම් දෙකක ගනුදෙනු සීමා කරමින් මහා බැංකුවේ මූල්‍ය මණ්‌ඩලය පැනවූ නියෝග ඉවත් කරන්නැයි ඉල්ලා එම සමාගම් තුන ගොනු කළ රිට්‌ පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු 03 දා උසාවිය හමුවේ කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (20 දා) තීරණය කළේය.
පෙත්සම පිළිබඳ සම්පූර්ණ විභාගයක්‌ පැවැත්වීමට නියෝග කරනවද පෙත්සම ප්‍රතික්‍ෂේප කරනවද යන්න එදිනට තීරණයක්‌ කරන බවද අභියාචනාධිකරණය සඳහන් කළේය.
පෙත්සම පිළිබඳව දැනුවත් කිරීම සඳහා එහි පිටපතක්‌ පෙත්සමේ නම් සඳහන් සියලුම වගඋත්තරකරුවන්ට යවා එදින උසාවියට විත් පෙත්සමේ කරුණු තහවුරු කරන ලෙස ද අභියාචනාධිකරණය පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.
පෙත්සම පිළිබඳව විභාගයක්‌ පැවැත්වීමට නියම කරන්නැයි පෙත්සම්කරුවන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දැඩිව ඉල්ලීමක්‌ කළ නමුත් නීතිපති සහ මහා බැංකුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා එම ඉල්ලීමට විරෝධය පළ කළේය.
පෙත්සම උසාවිය හමුවේ ඊයේ කැඳවන බව නීතිපතිවරයාටවත් දැනුම් දී නැතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඔබේසේකර මහතා කීය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ඇතුළු සමාගම් තුනට මහා බැංකුවේ මූල්‍ය මණ්‌ඩලය නොවැම්බර් 06 දා එකී නියෝගය පැනවූවේ කිසියම් වැදගත් හේතුවක්‌ නිසා විය හැකි බවයි. එනිසා පෙත්සම ගැන විභාගයක්‌ පැවැත්වීමට නියම කිරීමට පෙර මහා බැංකුවේ අධිපති හා මූල්‍ය මණ්‌ඩලයෙන් අදහස්‌ විමසිය යුතු බවත් ඔහු කීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.