සයිටම්වලට එරෙහිව වෛද්‍ය සංගමය ජාත්‍යන්තරයට

සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය නිත්‍යානුකූල කිරීමට ආණ්‌ඩුව දරන උත්සාහය පරාජය කිරීම සඳහා ජාත්‍යන්තරය හමුවට හෝ යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා පෙරේදා (03 දා) ප්‍රකාශ කළේය.
ජාතික මට්‌ටමින් හැකියාවක්‌ නැත්නම් අපි ජාත්‍යන්තරයට හෝ ගිහින් සයිටම් ආයතනය පිළිබඳ තත්ත්වය ආපස්‌සට හරවනව යෑයි වෛද්‍ය සොයිසා මහතා පෙරේදා (03 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.
සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ගුණාත්මකභාවය වෙනුවෙන් පෙරට එන සයිටම් විරෝධී සටනට ආණ්‌ඩුව කඳුළු ගෑස්‌ වලින් ප්‍රතිචාර දක්‌වනවා නම් අපි ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. ඉතිහාසයේ ම්ලේච්ඡතම ප්‍රහාරය වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය සිසුන්ට කොටුවේදී එල්ල කළා. සෞඛ්‍ය ඇමැතිවරයා කියනවා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක්‌ ලබාදීමේදී එහි ගුණාත්මකභාවය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රශ්න නොකළ බව. එම වෛද්‍ය පීඨයට එදා වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබුණා. සයිටම් සම්බන්ධව වෛද්‍ය සභාවේ අනුමැතියක්‌ නෑ. රටේ සියලුම වෛද්‍ය විද්‍යාල සහ වෛද්‍යවරුන්ගේ ගුණාත්මකභාවය නියාමනය කරන ස්‌වාධීන ආයතනය වෛද්‍ය සභාවයි. වෛද්‍ය සභාවේ අනුමැතියකින් තොරව වෛද්‍ය විද්‍යාලයක්‌ හෝ වෛද්‍යවරයෙක්‌ බිහි වෙන්න බෑ. රටක වෛද්‍ය සභාවේ අනුමැතිය නැති වෛද්‍ය විද්‍යාලයක්‌ ලොව කොහේවත් නෑ. එවැනි වෛද්‍ය විද්‍යාල කිසිදු රටක්‌ පිළිගන්නේත් නෑ. නීතිඥ වෘත්තියත් එහෙමයි.
මාලබේ සයිටම් ගැන රටේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ සහතික දිය හැකි ඉහළම මණ්‌ඩල තුනකින් දීර්ඝ අධ්‍යයනයක්‌ කර ස්‌වාධීන වාර්තා තුනක්‌ ඉදිරිපත් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පත් කළ ස්‌වාධීන පංච පුද්ගල විද්වත් කමිටුව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පත් කළ ස්‌වාධීන විද්වත් මණ්‌ඩලය සහ ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල පීඨාධිපතිවරුන්ගෙන් සැදුම්ලත් මණ්‌ඩලය ඒ තුනයි. මේ මණ්‌ඩල තුනම වාර්තා කළේ මාලබේ සයිටම් ආයතනයට වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු අවම ප්‍රමිතියවත් නැතැයි කියා. එනිසා ප්‍රමිතියකින් යුත් වෛද්‍යවරුන් එම ආයතනයෙන් බිහිවිය නොහැකි බවත් එම ඉහළම විද්වත් මණ්‌ඩලය වාර්තා කළා. රෝගී ජීවිත අනතුරේ හෙලිය නොහැකි බව බලධාරීන් තේරුම්ගත යුතුයි.
මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ද ඊයේ තීරණය කළේ මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්‌කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යැමටය.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක්‌ ගොනු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පැවති සාකච්ඡාවේදී තීරණය විය. මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ටෙරන්ස්‌ ගාමිණී යන මහත්වරු ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලය, වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, ලංකා ගුරු සංගමය ඇතුළු සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ ද මෙම සාකච්ඡාවට එක්‌ව සිටියහ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *