රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය තීරණාත්මක තීන්දු 05ක් ගනියි

ඊයේ (09) රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඉදිරියට ගනු ලබන ක්‍රියාමාර්ග ගැන තීන්දු තීරණ පහකට පැමිණ තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සගමය එම තීන්දු තීරණ දැනුම්දෙමින් ඊයේ (09) මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර සුරක්ෂිත වෛද්‍යවරයකුගෙන් ප‍්‍රතිකාර ගැනීමේ අයිතිවාසිකම රෝගීන් සතු බවත් එම අයිතිවාසිකම ආරක්ෂාකර දීම රජයක් සතු අත්හැරිය නොහැකි වගකීමක් හා ඒ සඳහා බලපාන අවම ප‍්‍රමිතියෙන් යුතු ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනයක් ලබා දීම රජය සතු කාර්යභාරයක් බවත් ඔවුන් සඳහන් කරයි.
එමෙන්ම ලෝකයේ අනිකුත් රටවල ද අධ්‍යාපනය ලබාදීම රජය හරහා සිදුකරන අතර ශ‍්‍රී ලංකාවේ ඒ සඳහා වගකීම ඇති ආයතන දෙක නම් උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය බවත් ඒ සඳහා විශ්ව විද්‍යාල පනත හා වෛද්‍ය ආඥා පනත පවතින බවත් ඔවුන් පවසයි.
ලෝකයේ මෙන්ම ශ‍්‍රී ලංකාවේද වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතිය රැකගැනීමේ වගකීම පැවරි ඇති උත්තරීතර, ස්වාධීන ආයතනය ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව බව මෙහිදී පවසා තිබේ. ඒ අනුව ඉහත පනත් දෙකෙන්ම වෛද්‍ය සභාවට බලය ලබා දී ඇති අතර සයිටම් ආයතනයට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැති අතරම එම ආයතනයට නියම ක‍්‍රමවේදයට අනුව ලබා දුන් උපාධි ප‍්‍රදානය කිරීමේ අවසරයද ලැබී නොමැති බව පවසන ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ සයිටම් ආයතනය තුළින් ප‍්‍රමිතියෙන් යුතු වෛද්‍යවරුන් බිහිවිය නොහැකි බවය.
එමෙන්ම එවන් පුද්ගලයන්ට රෝගීන්ගේ ජීවිත බාරදීම අති භයානක කටයුත්තක් අතරම එය ඕනෑම කෙනෙකුට පැහැදිළිවන කරුණක් බැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් අර්බුදය සම්බන්ධ කාරණයේදී රෝගී අයිතිවාසිකම් සුරැකීම සඳහා දැඩිව ක‍්‍රියාත්මක වන බව ද පවසා සිටියේය.
මේ අර්බුදය සම්බන්ධයෙන් ඊයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස් වී මධ්‍යම කාරක සභාව මඟින් පහත තීන්දු තීරණ ලබාගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.
එම තීන්දු තීරණ පහත පරිදි වේ,
1. දැනට සිදු කරන දැනුවත් කිරීමේ වැඩසටහන් හා විරෝධතා වැඩසටහන් අඛණ්ඩව වඩාත් තිව‍්‍ර ලෙස සිදු කිරීම.
2. මීට අදාළ අමාත්‍යවරුන් තිදෙනාගේ දේශපාලන උන්මත්තකභාවය පිළිබඳ ලිඛිත පැමිණිල්ලක් අතිගරු ජනාධිපතිතුමා වෙත යොමු කිරීම.
3.වෛද්‍ය සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියාචනාවක් යොමු කිරීමට සමගාමීව නව නඩු කටයුතු ආරම්භ කිරීමට කටයුතු කිරීම.
4. ජනාධිපති කමිටුව වෙත අප විසින් ලිඛිතව ඉදිරිපත් කළ යෝජනා පිලිබඳ අවසන් තීන්දු තීරණ ඉදිරි සතියක කාලය තුළ එම කමිටුව මඟින් ප‍්‍රකාශයට පත් කිරීම.
5.එම කාල සීමාව තුළ සතුටුදායක හා සාධාරණ විසදුමක් නොලදහොත් අවශ්‍ය ඕනෑම ආකාරයක දැඩි වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ග ගැනීම.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.