ජනපති නව දේශපාලන ප්‍රවේශයකට සැරසෙයි!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව දේශපාලන ගමනක් සඳහා වූ ප්‍රවේශයක් ගන්නා වූ බවට ඉඟියක් ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක් සමඟ සිදුකළ සංවාදයකින් අනාවරණයවේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාද වන අතර එම සංවාදයේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ශක්තිමත් ඉදිරි ගමනක් සඳහා ප්‍රධාන අවශ්‍යතාවක් ලෙස සලකා කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කරන අතර රජයට එල්ල වන ඇතැම් චෝදනා නිවැරැදි කිරීමට එයම ප්‍රමාණවත් නොවන හෙයින් තවත් පියවර කිහිපයක්ම ගන්නා බවත්ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අලුත් අවුරුදු උදාවත් සමඟ අඩුපාඩු ප්‍රමාදදෝෂ ඉවත්කර රට ඉදිරියට ගන්නා ශක්තිමත් වැඩ පිළිවෙළකට තමන් අවතීර්ණ වන බවත් තමා බලයට පත්කළ ජනතාව මේ ආණ්ඩුවෙන් ප්‍රශ්න විසඳා ගැනීම කෙරෙහි තවදුරටත් විශ්වාසය තබා සිටින අතර ඒ විශ්වාසය කඩ වෙන්නට පෙර නව වැඩපිළිවෙළකින් අලුත් ගමනක් අරඹන බවත්ය.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිළිබඳව වූ බලාපොරොත්තු උද්දීපනය කරමින් ශ්‍රීලනිපයේ නායකයාද වන වත්මන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක පිපාසයෙන් ශ්‍රී ලංකාව පෙළෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තරුණ ජවය එක්කොට ශ්‍රී ලනිප ආණ්ඩුවක් පිහිටුවීම උදෙසා නායකත්වය දෙන බවත්ය.
එසේම වත්මන් රජය මුහුණදී ඇති අභියෝග සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, අතීතය සම්බන්ධයෙන් කිසිවෙකුට ඇඟිල්ල දිඟුකිරීමෙන් පලක් නොමැති බවත්, එම ප්‍රශ්න කෙතරම් කටුක වුවත් ඒවා විසඳීම තම රජයේ යුතුකම සහ වගකීම වන බවත්ය. එම නිසා ඒ වෙනුවෙන් වූ ජනතා බලාපොරොත්තු ඉටු කරන්න සම්මුතිවාදී ආණ්ඩුව විදියට කැපවෙන බවත් පවසා ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *