කෝටි 200ක කුඩු ඇල්ලූ අද්විතීය මෙහෙයුමක්!

ප්‍රධාන පෙළේ පාතාල නායකයකු සේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘මාකඳුරේ මදුෂ්’ නමැත්තා විසින් වයඹ මුහුදු තීරය ඔස්සේ මෙරටට එවූ බවට සැක පළකරන රුපියල් කෝටි දෙසීයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් ඩිෆෙන්ඩර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරුවකු සමඟ හලාවත, අංනයිඑලුන්දාව, කුරුලු අභය භූමියේදී පුත්තලම දිසා බුද්ධි අංශය මඟින් ඊයේ (11දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. මෑතකදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය මෙය වන බවද පොලිසිය සඳහන් කරයි.
පිළියන්දල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධිය ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවූ බවට සැක කරන මාකඳුරේ මදුෂ් නමැත්තාට මෙම හෙරොයින් තොගය අයත් බවටද පොලිසියට තොරතුරු ලැබී තිබේ. වයඹ මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් මෙම මහාපරිමාණ හෙරොයින් ජාවාරම සිදු වී ඇති බවත් හෙරොයින් තොග ප්ලාස්ටික් උර 198ක බහා තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.
අධික මිලකින් යුත් වයිට් සුගර් වර්ගයේ හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කියා සිටී. පෞද්ගලික ඔත්තුකරුවකු විසින් නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා වෙත මාස 03කට පමණ පෙර ලබාදෙන ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇත. මෙම හෙරොයින් ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ විශේෂ උපදෙස් අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පුත්තලම දිසා බුද්ධි නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබ ඇත.
මෙම හෙරෝයින් තොගය පකිස්තානයේ සිට නැවකින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ගෙනැවිත් පසුව බහුදින යාත්‍රාවකට බාර දී ඇති අතර ඉන්පසුව නැවත එක් දින යාත්‍රාවකට මෙම කුඩු තොගය බාර දී තිබේ. පසුව එම තොගය මුතුපංතිය වෙරළට ගෙනැවිත් ගොඩබා ඩිපෙන්ඩරයට බාර දී පලා ගිය බවත් පොලිස් පරීක්ෂණ අනුව අනාවරණය වි ඇත. මෙම ඩිපෙන්ඩර් රථය අඳුරැ වීදුරැ සහිත එකකි. සැකකරැ කලින් දින රාත්‍රි හලාවත පැමිණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක ලැඟුම් ගෙන පසුව ගොස් හෙරෝයින් තොගය ලබා ගත් බවත් කියයි.
කන්ටේනරයක් තුළ ග්‍රීස් පෙට්ටි අතර සඟවා මෙරටට ආනයනය කරනු ලැබීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් කිලෝග්‍රෑම් 260ක ප්‍රමාණයට පසුව අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය මෙය වේ. මෙම වැටලීම පුත්තලම දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ පෞද්ගලික අධීක්ෂණය හා මෙහෙයවීම මත දිසා බුද්ධි අංශ අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ජයලත්, උප පොලිස් පරීක්ෂකවරුන් වන එදිරිසිංහ, අනුරශාන්ත සහ පොලිස් සැරයන් විජේසිංහ (31740) සහ පියදාස (31780), පොලිස් කොස්තාපල්වරුන් වන හේරත් (29945), රත්නායක 55183, මොලගොඩ (62091), පත්මකුමාර (67882), දේශප්‍රිය (82239), පොලිස් කොස්තාපල් රියදුරු කෘස් 6788 යන නිලධාරින්ගේ දායකත්වයෙන් මෙම වැටලීම සිදුකර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *