බැඳුම්කර කොමිසම ඇවිලෙයි! කුප්‍රකට කොල්ලකරු අර්ජුන්ව බේරාගැනීමට මෙහෙයුමක්!

ජනාධිපති බැඳුම්කර කොමිසමේ ඊයේ සාක්‌ෂි විභාගය අතරතුර රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ කණ්‌ඩායමේ නායක ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා සහ සෙසු සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අතර උණුසුම් වචන හුවමාරුවීම් සහ කරුණු දැක්‌වීම් දිගින් දිගටම සිදුවීම නිසා කොමිසමේ සාක්‌ෂි විභාගය එකම ගාලගෝට්‌ටියක්‌ බවට පත්විය.කොමිසම හමුවේ ඉදිරිපත් වන සාක්‌ෂි සහ වෙනත් විමර්ශනවලින් හෙළිවන කරුණු අනුව වැරදි කර ඇති බව පෙනී යන අයට එරෙහිව ඉදිරියේදී අපරාධ නීතිය යටතේ නඩු පවරන බව ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි මෙහෙයවන නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ මණ්‌ඩලයේ නායක ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඊයේ (05 දා) පැවසීය.
චෝදනා එල්ල වී ඇති භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවලදී රජයට මූල්‍යමය වශයෙන් පාඩු සිදුව ඇත්නම් ඒ සියල්ල වගකිව යුතු අයගෙන් අයකර ගැනීම සඳහා සිවිල් නීතිය යටතේ ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්‌ෂා කරන බව ලිවේරා මහතා කොමිසම හමුවේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්‌වමින් කියා සිටියේය.
කොමිසම විසින් පවත්වනු ලබන මෙම පරීක්‌ෂණයට නීතිපති සහාය වනවා පමණක්‌ නොව එකී අරමුණු දෙකම සපුරාගැනීම ඔහුගේ අපේක්‌ෂාව බවත්, හොඳම සාක්‌ෂි ඉදිරිපත් කරමින් කිසිදු අඩුපාඩුවකින් තොර ඉතා හොඳම නඩුවක්‌ උසාවියට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා කැපවී ක්‍රියාකරන බව ද කිසිවකුගේ බලපෑමකට යටත් නොවී ස්‌වාධීනව කටයුතු කරමින් එම පියවර ගැනීමට නීතිපතිවරයාට බලය තිබෙන බවත් ලිවේරා මහතා කීවේය.
මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සහ ටෙන්ඩර් මණ්‌ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පී. සමරසිරි මහතා සිය රාජකාරී නිසිලෙස ඉටුකිරීමට අසමත් වී ඇති බව කොමිසම මෙතෙක්‌ විභාග කළ සාක්‌ෂි අනුව පෙනී ගිය කරුණක්‌ බවත් ටෙන්ඩර් මණ්‌ඩලයේ අනෙකුත් සාමාජිකයන් කොමිසම හමුවේ දුන් සාක්‌ෂිවලට මුළුමනින්ම පරස්‌පර සාක්‌ෂි සමරසිරි මහතා කොමිසමට ලබාදී ඇති බවත් ලිවේරා මහතා කීවේය.
මේ කොමිසමට සහාය වීමට අමතරව අවසානයේ මේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ යුක්‌තිය ඉටුකර දීම නීතිපතිවරයාගේ අරමුණ බව ද ඔහු සඳහන් කළේය.
අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එසේ පැවසුවේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සහ ටෙන්ඩර් මණ්‌ඩලයේ හිටපු සභාපති පී. සමරසිරි මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හර්ෂ ප්‍රනාන්දු මහතා විසින් නීතිපතිවරයාට එරෙහිව එල්ල කළ සියලු චෝදනා ප්‍රතික්‌ෂේප කරමින් ඊට දීර්ග වශයෙන් පිළිතුරු සපයමිනි.
හර්ෂ ප්‍රනාන්දු මහතා කියා සිටියේ නීතිපතිට මෙහිදී පැවරී ඇති කාර්ය කොමිසමට සහාය වීම නමුත් නීතිපතිවරයා පක්‌ෂග්‍රාහීව ක්‍රියා කරන බවයි. මෙය තොරතුරු සෙවීමේ පරීක්‌ෂණයක්‌ පමණක්‌ බව ද ඔහු කීවේය.
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ෂහීඩා බාරි මහත්මිය මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සාක්‌ෂිය මෙහෙයවමින් සිටියදී මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටන නීතිඥ චානක ද සිල්වා මහතා සහ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හර්ෂ ප්‍රනාන්දු මහතා කිහිප අවස්‌ථාවකදී ම නැගී සිටිමින් නීතිපතිවරයාට ද විවිධ චෝදනා එල්ලකරමින් විරෝධතා දැක්‌වීම නිසා එම චෝදනාවලට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පිළිතුරු දෙන්නට විය. එහිදී ද අනෙකුත් නීතිඥවරු නැඟී සිටිමින් එකවර ශබ්ද නගා අදහස්‌ දැක්‌වීමට යැම නිසාත් එකිනෙකාට චෝදනා එල්ලකර ගැනීම නිසාත් කොමිසමේ සාක්‌ෂි විභාගය එකම ගාලගෝට්‌ටියක්‌ බවට පත්විය. කිසිවකු දක්‌වන අදහස්‌ පැහැදිලිව නොඇසෙන තත්ත්වයක්‌ මතුවිය. මෙහිදී කොමිසමේ විනිසුරුවරු මැදිහත් වී නීතිඥවරුන්ට වෙන වෙනම තම අදහස්‌ දැක්‌වීමට අවස්‌ථාව සලසා දෙන ලදී.
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් දප්පුල ද ලිවේරා මහතා, පී. සමරසිරි මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ හර්ෂ ප්‍රනාන්දු මහතා, අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු යන මහත්වරුන් කොමිසම හමුවේ දක්‌වන ලද කරුණු සලකා බලා කොමිසවේ විනිසුරුවරු වෙනුවෙන් කොමිසමේ නියෝග ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න සී. ජයවර්ධන මහතා කීවේ පී. සමරසිරි මහතා සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ප්‍රකාශ කළ අදහස්‌ කොමිසම ඔහුගේ පුද්ගලික අදහස්‌ ලෙස සලකන බවත්, තවමත් කොමිසම සාක්‌ෂි විභාග කරමින් සිටින නිසා කොමිසම කිසිදු අවසන් නිගමනයකට පැමිණ නොමැති බව සහ කොමිසම එයට බලය පවරා ඇති විෂය පථය යටතේ පමණක්‌ කටයුතු කරන බවත්ය.
එම නියෝග ප්‍රකාශයට පත්කිරීමෙන් පසු මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් සාක්‌ෂි විමසීම යළි ආරම්භ විය.
කොමිසම යළි සඳුදා (08 දා) උදේ 10.00 ට රැස්‌වේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *