මරණ සංඛ්‍යාව තවත් ඉහළ යයි!

නායයාම් සහ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය කියා සිටියේ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 110 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. එසේම තවත් 112 දෙනෙකු තුවාල ලබා ඇත.
මේ වන විට වර්ෂාපතනයත් සමග ඇති වූ ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් පවුල් 153,303 ට අයත් පුද්ගලයින් 588,082 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ අතර ජල ගැලීමෙන් විපතට පත් ප්‍රදේශවල ජනතාවට බෙදා දීමට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ලංකා සතොස ශාඛාවලින් සහ තොග ගබඩාවලින් හිඟයකින් තොරව නොමිලේ ලබා ගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මෙම භාණ්ඩ නිකුත් කිරීමට කටයුතු යොදා ඇති අතර අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ විපතට පත්ව සිටින ජනතාවට කඩිනමින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම පහසු කිරීම සඳහා බව ද අමාත්‍යවරයා විසින් අද නිවේදනය කර තිබේ.
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රීක්කයේ සියලුම පාසල් සිකුරාදා දිනය වන තෙක් වසා තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
පවත්නා ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ(29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
මේ අතර විනාශයට පත් විදුලි මීටර් පුවරු හා නිවෙස් නැවත වරක් වයරින් කර පරීක්ෂා කර ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් වන බවත්, මෙතෙක් බිල්පත් ගෙවා දමා නොමැති විපතට පත් නිවෙස් සඳහා අදාළ හිඟ බිල්පත් ගෙවා දැමීම සඳහා මාස 6 ක සහන කාලයක් ලබා දෙන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *