ජනපති උපදෙසින් මැති ඇමැතින්ට වාහන ගෙන්වීම මේ වසරේ නවතී

රටේ පවතින හදිසි ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන, මේ වසරේදී මැති ඇමැතිවරුන් සඳහා වාහන මිලදී ගැනීම් හෝ ආනයනය කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝග කරයි.
තමා පාවිච්චි කරන වාහන දෙකෙන් එක් වාහනයක් පමණක් කාටත් ආදර්ශයක් වන පරිදි ඊයේ 30දා සිටම පාවිච්චියෙන් ඉවත් කරන බවද කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
මැති ඇමැතිවරුන් සඳහා වාහන මිලදී ගැනීමට ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරිණි. මීට මාස කිහිපයකට ඉහතදීත් ඒ සඳහා තවත් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනු ලැබීය. පීඩාවට පත්ව සිටින ජනතාව මානසික වශයෙන් වැටී ඇති තත්ත්වය හොඳින් තේරුම් ගෙන ඔවුන් සඳහා රජයෙන් ඉටුවිය යුතු සියලු මෙහෙවර නොපිරිහෙළා ඉටු කිරීමේ වගකීම අප සියලු දෙනාම කරට ගෙන ක්‍රියා කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.
ඉදිරියේදී මෙවැනි ව්‍යසනයක් ඇති වුවහොත් කිසිවකුට හෝ අවතැන් කඳවුරක ගත කිරීමට ඉඩ නොලැබෙන පරිදි, සැලසුම් සකස් කර ක්‍රියාවට නැංවිය යුතු බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.
අවතැන් වූ අය නැවත පදිංචි කිරීමේදී ගං වතුරෙන් හෝ නාය යෑමකදී අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් නිවාස හානි සිදු නොවන ස්ථාන තෝරා, නිවාස ඉදිකිරීමට පියවර ගන්නා ලෙසත්, පූර්ණ හානි වූ නිවෙසක් සඳහා රජයෙන් ලබාදෙන මුදල රුපියල් විසිපන් ලක්ෂය දක්වා ඉහළ නැංවිය යුතු බවද ජනාධිපතිවරයා ඇමැති මණ්ඩලය හමුවේ පවසා ඇත.
රජය නිවාස ඉදිකිරීමට ලබාදෙන ස්ථානය වෙත යෑමට අකැමැත්ත පළ කරන අය වෙතොත්, ඔවුන්ට යථාර්ථය හොඳින් වටහාදී යළිත් මෙවැනි ව්‍යසනයකට ගොදුරු නොවීම සඳහා මෙම වැඩපිළිවෙළ සකස් කරන බව ඒත්තු ගැන්විය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
නිවාස ඉදිකිරීමේදී, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය හා නිවාස සංවර්ධන අධිකාරිය සම්බන්ධ කරගත යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.