රජය ආපදා සහන වෙනුවෙන් කෝටි 700ක් ගෙවයි

මේ වසර ඇතුළත සිදු වුණු නියඟය හා ගංවතුර, නාය යෑම් වැනි ආපදාවලින් හා මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම හේතුවෙන් පීඩාවට පත් පවුල් ලක්ෂ හය හමාරක පුද්ගලයන් ලක්ෂ 30ක් සඳහා මේ වන විට රජය රුපියල් කෝටි 700කට ආසන්න මුදලක් වන්දි ලෙස ගෙවා ඇතැයි කෘෂි හා ගොවිජන සේවා මණ්ඩලය සහ ආපදා කළමනා කරණ අමාත්‍යාංශය පවසයි‍‍.
මේ අනුව අප්‍රේල් මාසයේ මෙරට දිස්ත්‍රික් 18ක ඇති වූ නියඟය සඳහා ගොවි පවුල් 510000කට රුපියල් කෝටි 450ක මුදලක් වගා වන්දි ලෙස ලබා දී තිබෙන බව කෘෂි හා ගොවිජන සේවා මණ්ඩලයේ සභාපති සිඩ්නි ගජනායක මහතා පවසයි.
පසුගිය දිනවල සිදු වූ ගංවතුර හා නාය යෑම් නිසා පීඩාවට පත් පළාත් වෙනුවෙන් රජය රුපියල් කෝටි 150ක සහන ලබා දී ඇතැයි ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
මේ යටතේ ආපදා සහන ලෙස පුද්ගලයන් ලක්ෂ 6කට කෙළින්ම රුපියල් දස ලක්ෂ 622ක් වියදම් කර ඇති බවද ඇමැතිවරයා පවසයි.
මීට අමතරව විනාශ ව‍ූ නිවාස ස‍ෑදීමට සෑම නිවාසයකට ම රුපියල් ලක්ෂ 25 දක්වා වන්දි ලබාදීමට ජාතික රක්ෂණ භාරකාර අරමුදල පියවර ගෙන ඇත. මෙහිදී සම්පූර්ණයෙන් විනාශයට පත් නිවාස ගණන 2672ක් වන අතර, අර්ධ හානි නිවාස ගණන 18068කි. මේ අතර මීතොටමුල්ලේ පදිංචිකරුවන්ට වන්දි සමඟ නව නිවාස ලබාදීමට කොළඹ නගර සභාව හා මහ නගර සභා හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව වියදම් කළ මුදල රුපියල් කෝටි 5කට ආසන්න බව ඉහත ආයතන පවසයි.
මීට අමතරව මෙවර ගංවතුරින් හා නායයෑම්වලින් වී වගා හානි සිදුවී ඇත. ගොවි ජනතාවට බිත්තර වී හා පොහොර නොමිලේ ලබාදීමේ වැඩසටහනක්ද කෘෂි රක්ෂණ මණ්ඩලය ක්‍රියාවට නංවන බව එහි සභාපති සිඩ්නි රත්නායක මහතා කියා සිටී.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.