මොරගහකන්ද සමඟ යළි උදාවන කෘෂිකාර්මික පුනර්ජීවන යුගය (VIDEO)

“මම රජ රටටත්, රජරැටියන්ටත් ආදරය කරමි. ඔවුහු මගේ ඥාතීන් ද අසල්වැසියන් ද, හිතවතුන් ද වෙති. එහෙයින් මම ඔවුන්ටත්, ඔවුනගේ නිජ බිමටත් ආදරය කරමි. වැව් තාවුල්ලෙන්, අස්වනු නෙලාගත් කෙත්යායේ ඉපනැල්ල අතරත් මගේ බාලවිය ගෙවුණු අයුරු මා අදත් සිහිපත් කරන්නේ මහත් ආශ්වාදයෙනි. අප නිවස අසලින් ගලා ගිය පරාක‍්‍රම සමුද්‍ර මහ ඇළෙහි සිසිල පිළිබඳ මතකය අදත් මගේ සිරුර ප‍්‍රබෝධමත් කරයි. මා පියාව ඔහුට රජයෙන් ලැබී තිබූ කුඹුරු අක්කර පහෙන් එකක් මගේ ළමාවිය ගෙවෙත්ම මට පවරා දුන්නේය. මා පාසලට ගියේ අලුයම අවදිව, මගේ කුඹුරෙහි කළ යුතු කටයුතු නිම කිරීමෙන් පසුවය.
තුරුණු වියට පත්වත්ම මගේ සිත රජරට පරිසරයෙන් ලබන ආශ්වාදයට වඩා යොමු වූයේ රජරැටියාගේ දුෂ්කර දිවි පෙවෙත කෙරෙහිය. ඉදහිට අස්වනු යහපත් වූ කල සතුට ඔවුන් වසාගත් නමුත් දිවියෙහි වැඩි කොටසක් මහත් දුෂ්කරතා මැද ගෙවීමට සිදුව තිබිණ. නිරන්තරයෙන් පැමිණි නියං සායත්, ජල හිඟයත් ඔවුන් මුහුණ දුන් ප‍්‍රධාන ගැටලුව විය. නියං සාය පැමිණි කල ජලය සිදී වැව පත්ල ඉරිතැලී ගොස් පැවති අයුරු කිසිදා මගේ මතකයෙන් ඈත් නොවනු ඇත. එදා රජරට නිසි සෞඛ්‍ය හෝ අධ්‍යාපන පහසුකම් නොවීය. ගමෙන් ගම සම්බන්ධ කළ ගුරු පාර අබලන් වී තිබිණ. පසළොස් වැනි වියේ දී ළමා විය ගෙවා තුරුණු වියට පා තබන මා තුළ ඇති වූයේ රජරට ජනතාව මේ දුෂ්කරතාවන්ගෙන් කෙසේ හෝ මුද්‍රගත යුතුය යන අධිෂ්ඨානයයි. එවක් පටන්, ඒ අධිෂ්ඨානය සාක්ෂාත් කර ගැනීමට මගේ ජීවිතය කැප කළ ආකාරය අද මට සිහිපත් කළ හැක්කේ මහත් සන්තෝෂයෙනි”
මෙම අසිරිමත් ප‍්‍රකාශය උපුටා ගත්තේ 2007 ජනවාරී 25 වැනිදා මොරගහකන්ද – කලූගඟ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවය වෙනුවෙන් නිකුත් කළ ‘මහවැලි මහවිකුම’ නමැති සමරු කලාපයෙනි. ප‍්‍රකාශය සිදුකරනු ලැබුවේ එවකට කෘෂිකර්ම, වාරිමාර්ග, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසිනි.
මොරගහනක්ද ජලාශ ව්‍යාපෘතිය සැලකෙන්නේ ලංකාවේ සුවිශේෂතම වාරි ව්‍යාපෘතියක් වශයෙකනි. ඊට හේතු කිහිපයක් වේ. එයින් ප‍්‍රධානතම හේතුව වන්නේ එය ලංකාවේ විශාලතම වාරි ව්‍යාපෘතිය වීමයි. දෙවැන්න යම් යම් දෛවෝපගත කාරණා එය කෙරෙහි විටින් විට බලපෑමයි. උදාහරණයක් වශයෙන් කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ‘පංච මහා ජලාශ’ අතර ඉතා ඉහළ වැදගත්කමකින් යුතුව සඳහන් වූ ‘මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ’යම් කිසි කරුණක් හේතුවෙන් පස් පිඩැල්ලක් කැපීමකින් පවා තොරව අත්හැර දමන්නේය.
මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් කැපී ගිය මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යළි 2007 ජනවාරී 25 වැනිදා මංගල පස් පිඩැල්ල කපා මහත් උත්කර්ෂවත් ආකාරයෙන් ආරම්භ වුවත් තවත් නොබෝ දිනකින් එවකට පැවැති ආණ්ඩුව ඒ සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීම ක‍්‍රමයෙන් කපා හරිනවා පමණක් නොව ව්‍යාපෘතිය වෙනුවෙන් ඇපකැප වූ ඇමැති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් මහවැලි සංවර්ධන අමාත්‍යාංශය ඉවත් කරන්නේය. ඊට පසුව ඇමැති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අමාත්‍යාංශ විෂය පඨය සම්පූර්ණයෙන් වෙනස් කිරීමකට ලක් වන අතර ‘මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය’ ඉතිහාසයේ හමස් පෙට්ටියට ’ වැටුණේ උතුරු මැද ඇතුළු ලංකාවේ වියළි කලාපීය ජල අවශ්‍යතාව මුළුමනින්ට සපුරාලිය හැකි මෙම දැවැන්ත ව්‍යාපෘතිය තවත් එක් මුල් ගලක් බවට පත් කරමිනි.
මොරගහකන්ද පුනර්ජීවනය
පුරා වසර අටකට ආසන්න කාලයක් හුදු සිහිනයක් පමණක් වෙමින් පැවැති මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යළි දෛවෝපගත ප‍්‍රවේශයක් ගන්නේ 2015 ජනාධිපතිවරණය සඳහා මෛත‍්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීම සමගනි. පසුගිය දශක කිහිපයක් පුරා කෘෂිකාර්මික සංවර්ධනය පසෙක ලා සිංගප්පූරු පන්නයේ කාර්මික හා සේවා අංශයේ සංවර්ධන උපායන් පිටපස හබාගිය යුගය වෙනුවට කාර්මික, කෘෂිකාර්මික හා සේවා අංශයන්හි තිරසර සංවර්ධන ප‍්‍රවේශයක් වෙත නැඹුරු වූ යුගයක් නිර්මාණය කිරීමේ අභිලාෂයක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට තිබුණේය. එහිදී විශේෂයෙන් ගෙවී ගිය දහක කිහිපය තුළ මුළුමනින්ම නොතලා හැර තිබූ වාර් මාර්ග සංවර්ධනයට ප‍්‍රමුඛතාව ලබාදීමේ ප‍්‍රමුඛ වුවමනාවක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට තිබූ හෙයින් එතුමා විසින් ජනපතිවරණය ඉදිරිපත් කළ ‘මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක්’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ වාරි සංවර්ධනය පිළිබඳ ඉතා පැහැදිලි සඳහනක් තිබුණේය.
‘වැස්සෙන් වැටෙන ජලය සුරක්ෂිත කර ගැනීමට ද දේශගුණික විපර්යාසයට මුහුණදීමට ච උපකාරී වන පරිදි ඇහිරී ඇති වාරි පද්ධති යළි ප‍්‍රතිසංස්කරණය කිරීම හා ගොඩවී ඇති වැව් වල රෙන්මඩ ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන්නෙමි’ (උපුටා ගැනීම – මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය. පිටුව 30, 2015 ජනපතිවරණය)
2015 ජනවාරී 08 වැනිදා පැවැති ජනපතිවරණයෙන් විජයග‍්‍රහණය කළ මෛත‍්‍රීපාල සිරිසේන මහතා නව යොවුන් වියේදී තමා දුටු සිහිනය අනුව යමින් ද, මහවැලි සංවර්ධන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් සිටියදී තමා විසින් මහත් කැපවීමකින් යුතුව ආරම්භ කළ ‘මොරගහකන්ද කලුගඟ ජලාශ ව්‍යාපෘතිය’ පමණක් නොව රටට බල සපයන රජරට ගොවියා වෙනුවෙන් ජාතියක් වශයෙන් ඉටුවිය යුතු යුතුකම වහාම ක‍්‍රියාවට නැඟීමට පියවර ගත්තේය.
ඒ අනුව දශක හතරකට ආසන්න කාලයක් පුරා සැලසුම්වලට, දේශපාලන නොසලකා හැරීම්වලට ලක් වෙමින් පැවැති මොරගහකන්ද කලුගඟ ජලාශ ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු රජයේ ප‍්‍රමුඛ කාර්යයක් වශයෙන් සලකා කඩිනම් කිරීමට අවස්ථාව ලැබුණේ දශක තුනකට අධික කාලයක් පුරා නොතකා හැර තිබූ රජරට වාරි කාර්මාන්තය යළි පුනර්ජීවනය කිරීම සඳහා වන ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වැඩපිළිවෙළේ ප‍්‍රමුඛ පියවරක් වශයෙනි.
මොරගහකන්ද ඉතිහාසයෙන් බිඳක්
ලංකාවේ වාරි ශිෂ්ටාචාරයේ තිඹිරිගෙය අනුරාධපුරයයි. අනුරාධපුර රාජධානිය බිහිවීමේදී ‘මල්වතු ඔය’ ප‍්‍රමුඛ සාධකය වූවා මෙන් පුලතිසි පුරය හෙවත් පොළොන්නරුව රාජධානිය තුළ වඩාත් ප‍්‍රමුඛ වන්නේ ‘අඹන්ගඟ’ හෙවත් ‘කාර ගඟ’යි.
අඹන්ගඟ මහවැලි ගංඟාවේ ප‍්‍රධාන අතු ගංඟාව වශයෙන් සැලකේ. එය ආරම්භ වන්නේ මාතලේ ‘පාවුළු කඳුවලින් ගලා එන ජලධාරාවලිනි ( දුම්බර / නකල්ස් කඳුකරයෙනි) මෙසේ දුම්බර කඳුකරයේ සිට ගලා එන අඹන් ගඟ වස්ගමුව ජාතික උද්‍යාන මායිමේ දී දුම්බර කඳුකරයේ ‘කළුපහන’ කඳුවලින් ( තුස්හිස්ගල) ආරම්භ වන තවත් ගංඟාවක් වන ‘කලුගඟ’ හා එක්වන අතර ( අඹන් ගඟේ ප‍්‍රධාන අතු ගංඟාව වන්නේ කලුගඟයි) ඊට පසුව තවත් අතු ගංඟාවක් වන ‘කිරිඔය’ ද අඹන් ගඟ හා එක්වෙයි. මෙසේ තම ජල ධාරිතාව තව දුරටත් වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් ගන්නා අඹන් ගඟ මනම්පිටිය ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේදී පිහිටි ‘තුන්මෝදර’ දී මහවැලි ගංඟාව හා එක්වෙයි.
අඹන්ගඟ හරස් කර අමුණු බැඳ එහි ජලයෙන් රජරට වැව් පෝෂණය කිරීමේ සමාරම්භක යුගය වශයෙන් සැලකෙන්නේ ක‍්‍රිස්තු වර්ෂ 67 සිට 111 දක්වා අනුරාධපුරයේ රාජ්‍ය කළ ‘වසභ’ රජුගේ කාලය බව ඉතිහාසඥයින්ගේ අදහසයි. වසභ රජතුමා විසින් අඹන්ගංඟාවේ ජලය රජරට වැව් වෙත ගෙනයාම සඳහා ‘යෝධ ඇළ’ යනුවෙන් හැඳින්වෙන වාරි ඇළක් ඉදිකළ බව වංශකතාවල සඳහන් වෙයි. වසභ රජු විසින් ඉදිකළ යෝධ ඇළ වර්තමානයේ පවා ක‍්‍රියාකාරීව පවතින අතර පොළොන්නරුව සහ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයට ජලය ගෙන යාම සඳහා එය මහෝපකාරී වෙයි.
ශ‍්‍රී ලංකාවේ වාරි කර්මාන්තයේ විශිෂ්ඨතම යුගයක් වශයෙන් සැලකෙන ‘මහසෙන් රජ සමයේදී’ අඹන්ගඟ හරස් කර අමුණක් බැඳ ලබාගත් ජලයෙන් මින්නේරිය වැවට ( මිනිහිරි වැව) පෝෂණය කළ බව ‘පූජාවලියේ’ සඳහන් වෙයි. වත්මන් වාරි විශේෂඥයින්ගේ අදහස වන්නේ අඹන්ගඟ හරස් කර අමුණක් බැඳ ජලය ලබාගත් ස්ථානය වන්නේ ‘අළහැර අමුණ’ බවයි.
මහා පරාක‍්‍රමබාහු රජු විසින් අඹන්ගඟ හෙවත් කාර ගංඟව හරස් කරමින් ’අගමැඩිල්ල’ අමුණ ඉදිකළ අතර එමගින් ලබාගත් ජලයෙන් ( ආකාශ ගංඟාව නම් ඇළකින්) පරාක‍්‍රම සමුද්‍රය පෝෂණය කළ බව ‘චූලවංශයේ’ සඳහන් වෙයි. මෙම ඓතිහාසික තොරතුරු අනුව සනාථ වන්නේ අඹන්ගඟ මෙරට වාරි ඉතිහාසයේ සුවිශේෂ ලකුණක් සනිටුහන් කළ ගංඟාවක් වන බවයි.
[youtube 5yf1Xv6yU5E]
මතු සම්බන්ධයි…
සටහන: තුෂාල් විතානගේ

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *