මම ජනාධිපති වෙලා ඉන්නකම් කුණු අදින්න හමුදාව යොදවන්නේ නෑ – ජනපති

තමා ජනාධිපතිවරයා ලෙස සිටින තාක් හමුදාව කුණු අදින්න යොදා නොගන්නා බවත්, එසේ කරන්නට අදහසක්වත් තමාට නොතිබූ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
කුණු ප්‍රශ්නය ඇතුළු ජනතාවට පොදුවේ බලපාන උග්‍ර ප්‍රශ්න විසඳීම සඳහා අදාළ ආයතනයන්ට උපදෙස් දී තිබෙන අතර එම උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කෙරෙන්නේ දැයි අධීක්ෂණය කිරීම සඳහා පමණක් හමුදාව යොදාගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ ඊයේ (20) පස්වරුවේ මහරගම තරුණ සේවා ශ‍්‍රවණාගාරයේ පැවති කොළඹ දිස්ති‍්‍රක් විශේෂ පරිසර සමුළුව අමතමිනි.
කැළි කසළ බැහැර කිරීමේදී පැවැත්වෙන මහජන විරෝධතාවලදී මැති ඇමතිවරුන් ද අනවබෝධයෙන් සහ වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබෙන බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා කසළ කළමනාකරණයේදී සහ ඩෙංගු මර්ධනයේ දී සියලුදෙනා තමන් වෙනුවෙන් සේම සමස්ථ රට වෙනුවෙන්ම තම වගකීම් ඉටු කළ යුතු බව ද අවධාරණය කළේය.
කැළි කසළ කළමනාකරණය සහ ප‍්‍රතිචකී‍්‍රකරණයේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ඉදිරියේදී කි‍්‍රයාවට නංවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
කුණු ගෙනයාම භාරනොගන්නා බවට යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ යැයි පසුගියදා පුවත්පතක පළ වී තිබූ වාර්තාව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා එවන් ප‍්‍රකාශයක් සිදු කර නොමැති අතරම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමා කිසිසේත්ම කුණු ඇදීමට යුද හමුදාවට නියෝග කර නොමැති බවයි.
කැළි කසළ කළමනාකරණය හා ඉවත් කිරීම් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන එම වගකීම් නිසි ලෙස ඉටුකරනවාදැයි අධීක්ෂණය කිරීමේ වගකීම පමණක් යුද හමුදාව වෙත භාර දී තිබෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
කැළි කසළ කළමනාකරණය සහ ඩෙංගු මර්ධනය පිළිබඳ ප‍්‍රමුඛත්වය දී කටයුතු කරමින් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කරන පණිවිඩකරුවෙකු ලෙස කටයුතු කරන ලෙස ද මෙහිදී සියලු අමාත්‍යවරුන්ගෙන්, සංස්ථා, අධිකාරි සහ දෙපාර්තමේන්තු ප‍්‍රධානින් ඇතුළු රාජ්‍ය නිලධාරින්ගෙන් මෙන්ම විදුහල්පතිවරුන්ගෙන් ද ඉල්ලා සිටි ජනාධිපතිතුමා කැළි කසළ සහ ඩෙංගු මර්ධනය පිළිබඳ මෙතෙක් ඒකක පිහිටුවා නොමැති සියලු ආයතනවල වහාම එම ඒකක පිහිටුවා එහි කි‍්‍රයාකාරකම් අධීක්ෂණය කරන ලෙස ද ආයතන ප‍්‍රධානින්ට උපදෙස් දුන්නේය.
උපදෙස් පති‍්‍රකා, චක‍්‍ර ලේඛ සහ නියෝගවලට වඩා මෙහිදි ඉතා වැදගත් වන්නේ මනුෂ්‍යත්වය සහ හෘද සාක්ෂිය අනුව තම වගකීම් ඉටුකිරීම බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
දිස්ති‍්‍රක් මට්ටමින් සංවිධානය කරන පරිසර සමුළු වැඩසටහන් මාලාවේ ප‍්‍රථම සමුළුව ලෙස “ඩෙංගු මර්ධනය සහ කැළි කසළ ප‍්‍රශ්නය” මැයෙන් මෙම සමුළුව සංවිධානය කර තිබුණි. මෙහි දෙවන සමුළුව පැවැත්වෙන්නේ ගම්පහ දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමිනි.
ඩෙංගු රෝගය වළකාලීම සහ පාලනය සඳහා වන කඩිනම් වැඩපිළිවෙළ පිළිබඳව විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා මෙහිදී විශේෂ දේශනයක් සිදුකරනු ලැබීය. මොරටුව විශ්වවිද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉංජිනේරු මහේෂ් ජයවීර මහතා ද කසළ කළමනාකරණය පිළිබඳ විශේෂ දේශනයක් සිදු කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *