අසිරිමත් ඇසළ පුන් පොහොය දිනය අදයි

අද ඇසළ පුනු පොහෝ දිනයයි. බුද්ධ, ධම්ම සහ සංඝ යන රත්නත්‍රය ලොව පහළ වූ දිනය අදයි. ඇසළ පුර පොහෝ දිනය ලෝකයේ සම්‍යක් දර්ශනය පහළ වූ දිනය වනවා මතු නොව මධ්‍යම ප්‍රතිපදාව නම් වූ උතුම් ජීවන මාර්ගය ලොවට දේශනා කළ දිනය ද වන්නේය. ඒමතු ද නොව දුකත්, දුකට හේතුවත්, නිර්වාණයත්, එය ලබාගන්නා පිළිවෙතත් ලොවට දේශනා කළ දිනය ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයයි. ලෝකයාත් සත්වයාත් හේතු ප්‍රත්‍යයන්ගෙන්ම හට ගන්නා බව ප්‍රකාශිත හේතු- ඵල වාදය නම් වූ උතුම් ඉගැන්වීම ලොව පහළ වූ දිනය මේ දිනයයි. එපමණක් නොව ලෝකයේ ඤාණය පහළ වූ දිනය වශයෙන් ද ප්‍රඥාව පහළ වූ දිනය වශයෙන් ද විද්‍යාව උපන් දිනය වශයෙන් ද ආලෝකය පහළ වූ දිනය වශයෙන් ද සකල බෞද්ධ ලෝකයාටම අද දිනය ඉතා වැදගත් වනු ඇත.
ඇසළ පුන් පොහෝ දිනයෙහි සිදුව ඇති ඉතා උතුම් සිදුවීම් රාශියක් පිළිබඳ අපේ ධර්ම සාහිත්‍යයේ ඉතා මැනැවින් විස්තර කොට තිබේ. තුසිත දෙව්ලොව දී දේවතාරාධනයෙන් පසු පස්මහ බැලුම් බලන ලද බෝසතාණන් වහන්සේ දඹදිව මධ්‍ය දේශයෙහි කපිල වස්තු පුරයෙහි සුද්ධෝදන රජතුමාගේ අගමෙහෙසිය වූ මහාමායා දේවිය කුස පිළිසිඳ ගන්නා ලද්දේ අද වැනි ඇසළ පුර පොහෝ දිනයක ය.
එමෙන්ම ගිහි ගෙය පිළිබඳ දැඩි කලකිරීමට හේතු වූ සතරපෙර නිමිති දැක අභිනිෂ්ක්‍රමණය කිරීම සිදුවූයේ ද ඇසළ පුර පොහෝ දිනයකය. සිද්ධාර්ථ කුමරුවන්ගේ පුතණුවන් වූ රාහුල කුමරාගේ උපත සිදුවූ දිනය ද ඇසළ පුර පොහෝ දිනය වනවා මතු නොව බුදුරජාණන් වහන්සේ තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගණ්ඩබ්බ රුක්ඛ මූලයේ දී යමා මහ පෙළහර පෑම සිදුකළේ ද අද වැනි දිනයකදී ය. එසේ පෙළහර පා තමන් වහන්සේගේ සත්වැනි වස ගතකිරීම සඳහා තව්තිසා දෙව්ලොවට වැඩමවා වස් එළැඹ වැඩ සිටි තථාගතයන් වහන්සේ විසින් මාතෘ දිව්‍යරාජයා ප්‍රධාන දෙවියන්ට විජම්බණ දේශනය සිදුකරන ලද්දේත් ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයකදීය. බුදුරජාණන් වහන්සේගේ චරිතයෙහි ඉතා සුවිශේෂී අවස්ථා ඇසළ පොහෝ දිනයෙහි සිදුවී ඇති ආකාරය ඉහත තොරතුරුවලින් මනාව අනාවරණය වී ඇති ආකාරය සැබැවින්ම සිත්ගන්නාසුළුය.
මෙම ඇසළ පුර පොහෝ දිනයෙහි බුද්ධචරිතය හා සම්බන්ධ ඉහත සිදුවීම්වලට අමතරව ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් ඓතිහාසික සිදුවීම් රාශියක් ද සිදුවී ඇති බවට තොරතුරු දක්නට ලැබේ. ඒ අනුව, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තෙමසක් ඉක්ම ගිය විට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන 500ක් පමණ වූ මහරහතන් වහන්සේගේ සහභාගිත්වයෙන් යුතුව අජාසත් රජුගේ දායකත්වය ඇතිව ප්‍රථම ධර්ම සංගායනාව සිදු කරනු ලද්දේ ද ඇසළ පුරපොහෝ දිනයේය.
එමෙන්ම බුද්ධ වර්ෂ 236 දී මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා වහන්සේ විසින් සම්මත කරන ලද සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කරන ලද්දේ ද ඇසළ පොහෝ දිනයකදීය. එම වර්ෂයේම ප්‍රථම සිංහල බෞද්ධ භික්‍ෂුව වශයෙන් මහණ උපසම්පදාව ලැබූ අරිට්ඨ කුමරුන් ප්‍රධාන සිංහල කුමාරවරුන් 56 දෙනාගේ මහණ උපසම්පදාව සිදුවී ඇත්තේ ද ඇසළ පුර පොහෝ දිනයකය. එමෙන්ම දෙවනපෑතිස් රජතුමා විසින් ඛණ්ඨක චෛත්‍යය වටා ඉදිකරවන ලද අටසැට ලෙන් පූජාව සහ මහරහතන් වහන්සේ සැටදෙනමක් ප්‍රථම වරට ලක් පොළොවෙහි වස් එළැඹීම සිදුවී ඇත්තේ ද ඇසළ පුන් පොහෝ දිනයකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.
බුද්ධ වර්ෂ 382 දී දුටුගැමුණු මහරජතුමා විසින් රුවන්මැලි මහා සෑ රදුන් ඉදිකරවීම සඳහා මුල්ගල තබන ලද්දේ ද ඇසළ පොහෝ දිනයකදී බව සඳහන් වේ. එසේම විවිධ ප්‍රාතිහාර්යයන් මැද එම මහාසෑයෙහි සර්වඥ ධාතු නිධානය සිදුකරන ලද්දේ ද ඇසළ පුර පොහෝ දිනයකදී බව ඉතිහාසය මඟින් අනාවරණය කරනු ලැබේ. බුද්ධ වර්ෂ 847 දී කිත්සිරිමෙවන් රජ සමයෙහි හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් වඩමවන ලද දන්තධාතුන් වහන්සේ වෙනුවෙන් සිදුකෙරෙන දළදා පෙරහර ආරම්භ කරන ලද්දේ ද ඇසළ පුර පොහෝ දිනයක බව අපේ ඉතිහාසය මගින් තවදුරටත් අනාවරණය කරනු ලැබේ. මෙසේ ශාසනික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන් ද ඉතා වැදගත් දිනයක් වන ඇසළ පුර පොහෝ දිනය වඩාත් අර්ථවත් දිනයක් බවට පත්කර ගැනීම සඳහා කැපවී ක්‍රියා කළ මනා බව සිහිපත් කළ යුතුව ඇත.
කොළඹ ආනන්ද විද්‍යාලයෙහි
හිටපු සහකාර විදුහල්පති
බෙල්ලන්විල රාජමහා විහාරවාසී
ශාස්ත්‍රපති
අතපත්තුකන්දේ ආනන්ද හිමි
(උපුටා ගැනීම බුදුසරණ පුවත්පත)

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *