ජල විදුලිය නිපදවීම විශාල අභියෝගයක්-ඇමැති රංජිත් සියඹලාපිටිය

නියඟයෙන් ජල විදුලි බලාගාරවල ජල මට්‌ටම ශීඝ්‍රයෙන් පහළ යැම නිසා ජල විදුලිය නිපදවීම විශාල අභියෝගයක්‌ වී තිබෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (28 දා) පෙරවරුවේ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති බලශක්‌ති කළමනාකරුවන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනය අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද කීවේය.
“මම හැමදාම උදේට අපේ විදුලිබල මණ්‌ඩලය සතු ජලාශවල ජල මට්‌ටම බලනවා. උදේ ආපු ගමන් වාඩි වෙලා ඒ වාර්තාව තමයි ගන්නේ. දැන් ගංවතුරත් නිමාවෙලා ගංවතුර ආධාර ගණන් හදමින් ඉන්නේ. හැබැයි අප ළඟ වතුර තියෙන්නේ 36.4% යි. රටේ ජලාශ තුළ වික්‌ටෝරියා, රන්දෙණිගල ඉතාම පහළ මට්‌ටමක තියෙන්නේ. වර්ෂාව ලැබිලා නෑ. ඉතින් මම කැබිනට්‌ මණ්‌ඩලයටත් වාර්තාවක්‌ ඉදිරිපත් කළා.
පෙබරවාරි මාසේදී මෙවැනි තත්ත්වයකදී අපට කොච්චර අමතර වියදමක්‌ දරන්න වෙයිද කියලා. මේ රටේ 100% ක්‌ විදුලිය දීලා තියෙනවා. අප විදුලිය මොහොතක්‌වත් කපන්න සූදානම් නෑ. දැන් පසුගිය දවස්‌ 2 ක්‌ තාක්‌ෂණික පැත්තෙන් මට යෝජනාවක්‌ ආවා. පීක්‌ ටයිම් එකේ පැය 2 ක්‌වත් විදුලිය කපන්න වෙයි. මේ ඩීසල් ප්‍රශ්ණෙ නිසා කියා. හැබැයි රටේ අවශ්‍යතාවන් කළමනාකරණය ඔක්‌කෝම කරලා අප ඇඟට නොදැනී එය කළමනාකරණය කර ගත්තා. ඉතින් මේ අඛණ්‌ඩව විදුලිය ලබාදෙන්න මම කැබිනට්‌ මණ්‌ඩලයට කරුණු ඉදිරිපත් කළා අපට කොච්චරක්‌ වියදම් දරන්න සිද්ධ වෙයිද කියලා. අපි සාමාන්‍යයෙන් ගණනය කළා බිලියන 52 ක්‌ අපට අලුතෙන් වියදම් කරන්න වෙයි කියලා. හොඳ වෙලාවට කාසල්රියෙන් ටිකක්‌ ලැබිච්ච නිසා ඒක අඩු කරලා දැන් බිලියන 38 ක්‌ දක්‌වා වියදම අඩු කරගන්න අපට ලැබිලා තියෙනවා.
කැබිනට්‌ මණ්‌ඩලය මට උදව් කරන්නම් කියලා කිව්වා. නමුත් මේ අඩු සම්පත් ප්‍රමාණය කොහොමද රටේ අවශ්‍යතාවත් එක්‌ක ගලපන්නේ කියලා අප හිතන්න ඕන යුගයක්‌ මේක. ඒ නිසා ඔබතුමාලගේ මඟපෙන්වීම, දැක්‌ම අපට හරිම වැදගත් වෙනවා. ඒ නිසා මෙවැනි සම්මේලන, මෙවැනි කමිටු, සංවිධාන මේ රටේ අනාගතයට ඉතාම වැදගත්.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.