බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් වැඩ තහනම් වූ අධ්‍යක්ෂක CIDය හමුවට

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්‍ෂවරයකු වන සමන් කුමාර මහතා ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (11 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේ රහස්‌ පොලිස්‌ අංශය හමුවට කැඳවා තිබිණි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමන් කුමාර මහතාගේ වැඩ තහනම් කර ඇති බව ජනාධිපති බැඳුම්කර කොමිසමට සහය වන නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ කණ්‌ඩායම් නායක ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් ඊයේ කොමිසමට දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා (සාමාජික) විසින් කළ විමසුමකට පිළිතුරු දෙමින් ලිවේරා මහතා මේ බව කීවේය. මෙහිදී විනිසුරු ජයවර්ධන ප්‍රකාශ කළේ සමන් කුමාර මේ දිනවල ‘තරු චරිතය’ බවයි.
කොමිසමේ සාක්‍ෂි විභාගයෙන් පසු සමන් කුමාර මහතා ඊයේ බැඳුම්කර ජනාධිපති කොමිසමට පැමිණ සිටිනු දක්‌නට ලැබිණි.
පෑන් ඒෂියා බැංකුව විසින් අතරමැදියකු වශයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම හා අර්ථසාධක අරමුදල අතර සිදුකළ භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලදී හැම විටම මහ බැංකුවේ අර්ථසාධක අරමුදලෙන් සම්බන්ධ වූයේ සමන් කුමාර මහතා බව පෑන් ඒෂියා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (භාණ්‌ඩාගාර අංශය) අරුණ ඩයස්‌ මහතා කොමිසමට සාක්‍ෂි දෙමින් පවසා තිබිණි.
කලින් සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ කළමනාකරුවකු ලෙස කටයුතු කළ සමන් කුමාර මහතා වැඩතහනමට ලක්‌වන විට මහ බැංකුවේ පහසුකම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.