රටේ සුබසිද්ධියට යන ගමන ආපස්සට හරවන්න කිසිවෙකුට බැහැ- ජනපති කියයි

දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් සමඟ රටේ සුබසිද්ධිය සඳහා යන ගමන නවතා දැමීමට කිසිවකුට නොහැකි බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ජනතාව බලයෙන් පහ කළ පිරිස නැවත බලයට ඒමට සිහින දකිමින් විවිධ ක්‍රමන්ත්‍රණ දියත් කළද වත්මන් රජය පෙරළා දැමීමට කිසිවකුට නොහැකි බව ජනාධිපතිතුමා පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය අනුව රජයේ කටයුතු ඉදිරියට කරගෙන යන අතර දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් සමඟ රටේ සුබසිද්ධිය සඳහා යන ගමන නවතා දැමීමට කිසිවෙකුට නොහැකි බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ (26) පස්වරුවේ ඉබ්බාගමුව, කුඹල්අංග හමීදියා මුස්ලිම් විද්‍යාලයේ ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරව පැවැති ජන හමුව අමතමිනි. තෙල් සංස්ථාවේ සේවකයන්ගේ වර්ජනය පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ඒ හේතුවෙන් රටේ පොදු ජනතාව දැඩී අසීරුතාවට පත්ව ඇති බවයි. ඕනෑම ගැටලුවක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට අවස්ථාව පවතින බවත් වැඩවර්ජන නතර කර වහාම සේවයට වාර්තා කරන ලෙස තමා ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් පැවසූ ජනාධිපතිතුමා වෛද්‍යවරුන්ට ද අද වැඩ වර්ජන ක්‍රිඩාවක් බවට පත්ව ඇති අතර එහිදී මිනිස් ජීවිතවලට කිසිඳු වටිනාකමක් හිමි නොවීම කනගාටුවට කරුණක් බව ද සඳහන් කළේය.
හම්බන්තොට වරාය පිළිබඳ රජය චීන සමාගමක් සමඟ ඇති කර ගැනීමට යෝජිත ගිවිසුම පිළිබඳ තිබෙන්නේ ඉතා වැරදි අවබෝධයක් බව සඳහන් කළ ජනාධිපතිතුමා රටේ භූමියෙන් බිම් අඟලක්වත් ලෝකයේ කිසිදු රටකට හෝ සමාගමකට ඔප්පුවකින් හෝ සින්නක්කරව පවරා දීමට තමා ඉඩ නොතබන බව ද අවධාරණය කළේය.
ඉතිහාසයේ කිසිදු පාලකයකු සිදු නොකළ අයුරින් රටේ භූමිය වෙනත් රටවලට පවරා දුන්නේ පසුගිය පාලන සමයේ බව පැවසූ ජනාධිපතිතුමා කොළඹ පෝට්සිටි ව්‍යාපෘතිය සඳහා අක්කර 200ක් සින්නක්කරව චීන සමාගමකට පවරා දී තිබූ අතර එම තත්ත්වය වෙනස්කර එය බදු ක්‍රමයකට පත්කරන ලද්දේ වත්මන් රජය බව ද පැවසීය. එදා කිසිවකු මේ සඳහා වර්ජන සහ උද්ඝෝෂණවල නිරත නොවූ අතර අද ඒ සියලුදෙනාට නිදහස ලැබී තිබෙන්නේ වත්මන් රජය යටතේ බව පැවසූ ජනාධිපතිතුමා එසේ නමුත් සුළු පිරිසකගේ කටයුතු හේතුවෙන් අති බහුතර ජනතාවක් පීඩාවට පත් කිරීමට ඉඩ දිය නොහැකි බව ද අවධාරණය කළේය.
පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා වසර දෙකක් සපිරෙන ලබන මාසයේ දී රජය ඉදිරි වසර කිහිපය තුළ ජනතාව වෙනුවෙන් ලබාදීමට නියමිත සුබසාධන කටයුතු රැසක් පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
මේ අතර හිරියාල, මිගහඇළ ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකළ ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි. තිත්තවැල්ල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම කටයුතු නිමවා කොළඹ බලා පැමිණෙන අතරතුර ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ සංවර්ධන කටයුතු සොයා බැලීමට ද එක් වූ ජනාධිපතිතුමා විදුහල්පතිනිය සමඟ කෙටි කථා බහක නිරතවෙමින් එම සංවර්ධන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීය.
අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ, වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික, කුරුණෑගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක එම්.එස්.එම්. ෆාහීම් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *